බාධක බිඳ ඉදිරියටම යන කුම්භ ලග්න හිමියෝ

ඔක්තෝබර් 25, 2024

තාරකා ශාස්ත්‍රයට නැතිනම් ඡ්‍යොතිෂයට අනුව පුද්ගලයකුගේ දෛවය උත්පත්තිය සමඟ ලියැවෙනවා. කෙනෙකු ප්‍රකට හෝ ප්‍රබල පුද්ගලයකු වන්නේ මේ රාශි චක්‍රයේ බලපෑම මතයැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. අද ‘තරු ගැන කියන තරු’ තුළින් කතා කරන්නේ කුම්භ ලග්න හිමි ඔබ ගැනයි.

කුම්භ ලග්න හිමියන් ගැඹුරු දේ ඉගෙනීමට ආශා කරන්නන් වනවා. හොඳ මිතුරන් ආශ්‍රය කරන්නටත්, නියම මිතුරන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමටත් ඔවුන් සමත් වනවා. ධාරණ ශක්තිය හොඳීන් ඇති මොවුන්ගේ විශේෂ ලක්ෂණයක් වනනේ අවසන් මොහොතේ හෝ ජයග්‍රහණය ලැබීමයි. දර්ශනය, නීතිය ආදී ගැඹුරු ශාස්ත්‍රයන් ඉගෙනීමට මොවුන් ප්‍රිය කරනවා. ආත්ම ලාභයට මුල් තැන නොදෙන නිසාම මහජන ප්‍රසාදය දිනා ගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කුම්භ ලග්නයේ ජන්මය ලබා තිබෙනවා.

නිරන්තරයෙන්ම කතාබහට ලක්වන දේශපාලන ක්ෂේත්‍රයේ මහමොළකරුවන් බිහිකරන්නටද කුම්භ ලග්නයේ ආලෝකය ලැබී තිබෙනවා. දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජන්මය ලබන්නේත් කුම්භ ලග්නයෙන්. ඒ 1899 ජනවාරි මස 08 වැනිදා . බ්‍රිතාන්‍යයේ නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ නව ගමනක් ඇරඹුවා. මෙසේ දේශපාලනික වශයෙන් ඓතිහාසික ගමනක් යෑමට මෙතුමාට කුම්භ ලග්නයේ ඉදිරිගාමී ස්වභාවය බලපෑ බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

ඉන්දීය සිනමාව හැඩ කළ නළු නිළි චරිත තිර රාශියක් වූ කුම්භ ලග්නයෙන් ජන්මය ලබා තිබූ බව ඔබ මීට පෙර අසා තිබුණාද? බොලිවුඩ් සිනමාවේ ජනකාන්ත නළු අමිතාබ් භච්චන්ගේ පුතණුවන් වූ අභිශේක් භච්චන් ජන්මය ලබා ඇත්තේ කුම්භ ලග්නයෙන්. ඒ 1976 පෙබරවාරි මස 5 වැනිදා. වාණිජමය වශයෙන් සාර්ථක වූ ඩූම් 2, ඩූම් 3 , හැපි නිව් ඉයර්, ගුරු වැනි චිත්‍රපට රාශියක් තුළින් ඔහුගේ රංගන කෞශල්‍යය කැපී පෙනෙනවා. බොලිවුඩයේ සුන්දර තාරකාවියක වූ ‍ඓශ්වර්යා රායි ඔහුගේ ආදරණීය බිරිඳ කර ගැනීමට සමත් වූ කලා පවුලකින් පැවත එන ඔහුගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට කුම්භ ලග්නයෙන් ජන්මය ලැබීම භාග්‍යයක් බවයි ඔවුන්ගේ විශ්වාසය.

බොලිවුඩයේ සම්මානලාභී සිනමා තරුවක් වන ඌර්මිලා මතෝද්කාර් 90 දශකයේ තරුණ තරුණියන්ගේ හදවත් කුල්මත් කළ දක්ෂ රංගන ශිල්පිනියක්. රසාලිප්ත ගීත ඇතුළත් චිත්‍රපට රාශියක ඇගේ රංගන ප්‍රතිභාව දැක ගන්න පුළුවන්. 1974 පෙබරවාරි මස 04 වැනිදා කුම්භ ලග්නයෙන් උපන් ඇය තුළ එම ලග්න හිමිකාරිනියක සතු ඕනෑම අරමුණක් ළඟා කර ගන්නට උත්සාහයෙන් කටයුතු කිරීමේ ගුණය සාමාන්‍ය ජීවිතයේ පවා කැපී පෙනෙනවා. ඇය දේශපාලන ක්ෂේත්‍රයටත් සම්බන්ධ බවටයි පැවසෙන්නේ. ඇයට ද තම ජීවිතයේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට උත්පත්තිකාරක කුම්භ ලග්නය ආලෝකයක් වූ බව නිසැකයි.

1957 පෙබරවාරි මස01 වැනිදා උපතලද ජැකි ෂෙරොෆ්ට ද හිමි වන්නේ ආකර්ෂණීය කුම්භ ලග්නයයි. ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ භාෂා ඇතුළත් චිත්‍රපට 250කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. 80, 90 දශකවල ඉන්දියානු සිනමාවේ ප්‍රකට නළුවෙකු වූ ඔහු කා අතරත් ජනප්‍රිය වුණා. සුදු කළු භේදයකින් තොරව විවිධ චරිත නිරූපණයෙහි නියැළුැණු ඔහුගේ බොහෝ චිත්‍රපට අදටත් ජනප්‍රියයි.

රාශි චක්‍රයේ කුම්භ ලග්නය බොලිවුඩ් තරුවල සාර්ථකත්වයට හේතු වූ බවට නම්රතා ෂිරෝද්කාර් තවත් නිදසුනක්. එම ලග්න හිමියෙකුට ආවේණික උසස් සිතිවිලිවලින් යුක්ත වූ ඇගේ ජන්ම පත්‍රය ඉතා බලවත් එකක් ලෙසයි පැවසෙන්නේ. ඉන්දියානු දෙමළ, හින්දි, බෙංගාල සිනමාරංගන ශිල්පිනියක ලෙසත් නිෂ්පාදකවරියක ලෙසත් ඇය සාර්ථකත්ත්වයට පත් වුණා.

බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක් වූ ප්‍රීතී සින්ටා1975 ජනවාරි මස 31 වැනිදා කුම්භ ලග්නයෙන් ජන්මය ලබා තිබෙනවා. ඉන්දියානු නිළියක, නිෂ්පාදකවරියක සහ ව්‍යවසායිකාවක වන ඇය හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය තරුවක් ද වනවා. ඇයගේද පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ බොහෝ සාර්ථකත්වයන් ළඟා කර කරගන්නට කුම්භ ලග්නයෙන් ඉපදීම ඉවහල් වන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

හොලිවුඩයේ ජනතා ආකර්ෂණය දිනා ගත් ඇමන්ඩා හෝල්ඩන් නිළියක මෙන්ම ගායිකාවක ද වනවා. ඇයත් ජන්මය ලබන්නේ කුම්භ ලග්නයෙන්. ඒ 1971 පෙබරවාරි මස 16 වැනිදා. ඇමන්ඩාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ බොහෝ දෙනකු පවසා ඇත්තේ එය ඉතා බලවත් එකක් යන්නයි. මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධව කටයුතු කරන ඇයට ජීවිතයේ බොහෝ අභියෝග ඉතා සාර්ථකව හසුරුවා ගන්නට හැකි වුණේ, කුම්භ ලග්නයේ ආශිර්වාදය ලැබූ නිසා යැයි ඡ්‍යොතිෂය පරිශීලනය කරන කාගේත් විශ්වාසයයි.

ක්‍රීඩාව කියන්නේ ලොකු කුඩා කොයි කවුරුත් ඉතා ආදරයෙන් වැලඳගත් දෙයක්. ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරියට ජන්මයෙන් හිමිව ඇත්තේද කුම්භ ලග්නය බව ඔබ සුබසෙත පුවත්පතින්ම දැක ඇති. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය අත්පත් කරගත් 1996 කාල සීමාව තුළදී එතුමා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවේ සිටි බවටයි සුබසෙතට සමීප ඡ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස මහතා පවසන්නේ. එහෙත් ඔහුට කුසලාන ජය ගැනීම පමණක් නොව ලොව අංක එකේ ක්‍රීඩකයන් අතරට යෑම එතරම් අපහසු කටයුත්තක් නොවුණේ ජන්ම ලග්නයේ හිමි ශක්තිමත් බව යන්නත් බොහෝ දෙනාගේ මතයයි.

ඉතින් ඔබත් කුම්භ ලග්න හිමියෙකු නම් තමන් යා යුතු මාර්ගය හඳුනා ගැනීමට කිසිවිට පසුබට වන්න එපා. ලොව ජයගත් මෙවැනි පුද්ගලයන් මෙන් ඔබත් ඔබේ ලග්නයට අනන්‍ය ලක්ෂණ හඳුනා ගෙන ජීවිතය දිනන්නට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න.

( ඡායාරූප අන්තර්ජාලයෙනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.