වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
දුකම උරුම කරන ශකට යෝගය
ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී විවිධ යෝග හඳුනාගත හැකිය. එකී යෝග අතුරින් දුර්ලභ ග්‍රහ යෝගයක් ලෙස යෙදෙන යෝගයක් වනුයේ ශකට යෝගය වේ. එලෙසම ඡ්‍යොතිෂයේ ‘සකට’ නමින් තවත් යෝගයක් ද පවතී. එකම අයුරින් ශබ්ද කළද ‘සකට’ හා ‘ශකට’ යනු දෙයාකාරක යෝග දෙකක් වේ. කේන්දරයක මේ යෝග දෙක පිහිටන ආකාරය වෙනස් ය. මේ යෝගය බහුලව දක්නට නොලැබේ.
සාමාන්‍යයෙන් සකට ලෙස ප්‍රචලිත යෝගය යෙදෙනුයේ චන්ද්‍රයාගෙන් 6, 8, 12 යන ස්ථානවල ගුරු සිටීම තුළින් ඇතිවන තත්ත්වය හේතුවෙනි. මෙකී ‘සකට’ යෝගය රෝග බය ඇති කරන යෝගයක් වන අතර එය භංග වන අවස්ථා කේන්දර තුළ දක්නට ලැබේ.
එහෙත් මෙවර අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඉහත කී ‘සකට’ යෝගය පිළිබඳව නොවේ. ශකට යෝගය පිළිබඳවය. එය ‘සකට’ යෝගයට හාත්පසින්ම වෙනස් යෝගයකි.
ශකට යෝගයේ යෙදීම
‘ශකට’ යනු කරත්තය යන්නයි. ශකට යෝගය යම් ජන්මියකුට යෙදෙන්නේ සියලුම ග්‍රහයෝ ලග්නයේ හෙවත් පළමු වැන්නේ සහ හත් වැන්න යන ස්ථාන දෙකෙහි පමණක් යෙදීමෙනි. මෙහිදී රාහු, කේතු යන ග්‍රහයන් ගණන් ගනු නොලැබේ. කේන්ද්‍රයේ සෙසු ග්‍රහයෝ ලග්නය (1) හා 7 යන ස්ථාන දෙකෙහි පමණක් යෙදීමෙන් ශකට යෝගය උදාකරන බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ.
ශකට යෝගයේ ප්‍රතිපල
ශකට යෝගයට අනුව මේ යෝගය යෙදුණු පුද්ගලයා අප්‍රසන්න ආකාරයෙන් යුක්තය. මේ ජන්මියාගේ නියපොතු දුර්වර්ණය. අප්රසන්නය. ඔහු බුද්ධිහීන අයකු වෙයි. ඔහුට මිතුරන් හිතවතුන් පවා නොමැත. පවුලේ අය වුවද ඔහු සමඟ විශේෂ සම්බන්ධයක් ඇතිකර නොගනියි.
පැරැණි ඡ්‍යොතිෂ පත පොතට අනුව ශකට යෝගය යෙදුණු තැනැත්තා කරත්තයක් තල්ලු කරන්නෙකැයි දක්වා ඇත. මෙහිදී අදට සාපේක්ෂව කරත්තය තල්ලු කිරීම කෙසේ වෙතත් ඉතා දුක් මහන්සියෙන් වැඩ කරන්නත්, අපිරිසුදු දේවල් සමඟ නිරන්තර ගැටෙන්නන්, දුක් මහන්සියෙන් ධනය උපයා සපයා ගන්නන්, වෙත ශකට යෝගය යෙදී ඇති බව හඳුනා ගත හැකිය. සමාජීය වශයෙන් පිළිගැනීමක් හෝ ගරුත්වයක් නැති වටිනාකමින් අඩු අයකු ලෙස සමාජය සලකන තත්ත්වයට පත්වන්නේ යැයි ප්‍රකාශ කළ හැකිය.
මොවුන් කෙරෙන් ධනය හා වාසනාව වරින් වර ලැබී නොලැබී යන තත්ත්වය දැකිය හැකිය. දරිද්‍රතාවයෙන් අග හිඟකම්වලින් පෙළීමට මොවුනට සිදුවේ. ජීවිතයේ සැප පහසු බව අඩුවේ. නෑදෑ හිතවතුන් සමඟ මතභේද මත ගැටුම් ඇති වේ.
ශකට යෝගය යෙදුණු බලවතුන් පවා අද දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති ආකාරය කේන්දර පරීක්ෂාවේදී කොතෙකුත් අත් දකින්නට ලැබේ. උසස් පවුලක උත්පත්තිය ලැබුවද ජන්මියාට අඳුරු සහගත ජීවිතයක් ගත කරන්නට මෙකී ශකට යෝගය යෙදුණු විට සිදුවේ.
ශකට යෝගයට පිළියම්
ශකට යෝගය යෙදුණු අය නිරතුරුවම තම ආගම ධර්මය කෙරෙහි යොමුවිය යුතු ය. ආගම කෙරෙහි භක්තිමත්ව කටයුතු කළ යුතුය. කෙසේ වුවත් කේන්දරයක ශකට යෝගය යෙදුණූු විට පිළියම් සෙවීම අති දුර්ලභ වේ. පෙර කරන ලද අකුසල කර්ම මත ඇතිවන යෝගයක් ලෙස ද මෙය පිළිගැනේ. මේ යෝගය සමඟ කේන්දරයක තවත් බලවත් සුබ යෝග යෙදී තිබුණ ද ශකට යෝගයේ ප්‍රතිඵල ජීවිත කාලයේ දී කෙසේ හෝ ජන්මියාට භුක්ති විඳීමට සිදුවනු ඇත.
ඒ අනුව කෙතරම් සැපවත් ජීවිතයක් ගත කළ ද මේ යෝගය යෙදුණු විට කිසියම් ආකාරයක දරිද්‍රතාවයෙන් පෙළෙමින් භාග්‍ය හීනව සිටින්නට සිදුවන බව ප්‍රකාශ කරන්නට සිදුවේ.
සමහරුන්ට ශකට යෝගයේ බලපෑම මත දුක් සහිත විවාහ ජීවිත ගෙවන්නට සිදුවන අවස්ථා ඇත. සමහරුනට විවාහය සිදු නොවන්නට ද ඉඩ තිබේ. යුගදිවිය ගත කරන්නෙකුට ශකට යෝගය යෙදුණහොත් නිතර අඬදබර ඇතිවී තුවාල පවා සිදුවිය හැකිය. ශකට යෝගය යෙදීම යමෙකුට දුර්විපාක ගෙන දෙන යෝගයක් ලෙස ඡ්‍යොතිෂයේ සඳහන් වේ.
පවුලේ අය පවා නොසලකා හරින තත්ත්වයකට මෙවැනි ශකට යෝගය යෙදුණු ජන්මීන් පත් වන බව පෙර සඳහන් කරන ලදී. එමෙන්ම තමා සතු දේපළ, වස්තුව, මුදල් හදල් අන්සතුවී තම නිවෙසින් පවා එළියට බහින්නට සිදුවන තත්ත්වයන් ඇතිවිය හැකිය. මේ යෝගයේ විපාක දීම එබඳුය. දිළිඳු බව, ඉදිරියට යාමට නොහැකි තත්ත්වය, කොන්වීම, තමා අවට ඇති පවුල් පරිසරය වරින්වර වෙනස් වීම ආදිය මේ යෝගයේ අනිටු ප්‍රතිඵල වේ. ජන්මියා පෙර ආත්මයන්වල කරන ලද අකුසල් නිසා කේන්දරයේ යෙදෙන මේ ශකට යෝගයෙන් ගැලවීමට නම් ජන්මියා මෙලොවදීම ඒ වෙනුවෙන් පින් රැස් කළ යුතු ය. මේ සඳහා තම වේලෙන් කොටසක් සතුන්ට දීම, කුරුල්ලන් නිදහස් කිරීම, මැණික් පැලඳීම, සෙත් ශාන්ති කරගැනීම ඇතුළු හැකි තරම් පුණ්‍ය කටයුතුවල යෙදීම සිදුකළ යුතු ය.
ආචාර්ය ජී. ඇම්. ගුණපාල
ආචාර්ය ජී. ඇම්. ගුණපාල