සුබසෙත සුවසෙත

ඔක්තෝබර් 18, 2024

යූ.කේ. සිරිවර්ධන - අලව්ව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, සැලුන් එකක සේවය කරන මම හතළිස් හය හැවිරිදි අයෙක්මි. වැඩි වශයෙන් සැලුන් එකට එන්නේ කොණ්ඩා කැපීමට වඩා රැවුල කැපීමටයි. රැවුල කපන විට මගේ මුහුණත් රැවුල කපන අයගේ මුහුණත් එකට එක සමීපව පවතී. සමහරු රැවුල කපාගන්නා අතර කැස්ස වගේම කිවිසුම් ද යවති. විදුලිපංකා ක්‍රියාත්මක නිසා විෂබීජ පවා පිටත නොගොස් සැලුන් එක ඇතුළේම පවතී. මෑතකදී රැවුල කැපීමට ආ අයකු කිවිසුම් යවමින් කහින ගතියක්ද පැවතිණි. මේ තත්ත්වය බලාසිටි සැලුන් එකට ආ අයකු කියා සිටියේ ක්ෂය රෝගියකුගේ රෝග ලක්ෂණත් ඒ වගේ කියායි. කහින ගමන් කිවිසුම් යවන්නේ ක්ෂය රෝගියෙකුද මේ පිළිබඳ නිසි පිළිතුරක් ලබා දෙනු මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර

ඔබ සඳහන් කර ඇති ආකාරයට ක්ෂය රෝගී තත්ත්වයේ ලක්ෂණ පැවති බව පෙනී යනවා. ඔබගේ රැකියාවේ හැටියට වඩාත්ම ආරක්ෂා විය යුත්තේ මුහුණට මුහුණ ළංකොට කරන රැකියාවක් නිසයි. ක්ෂය රෝගය බෝවන්නේ රෝගී අයකුගේ කැස්සත් කිවිසුම් අරින විටත් සිනාසෙන විටත් කතා කරන විටත් මුඛයෙන් පිටවන සෙම බිඳිති වාතයට මුසු වී ආශ්වාස කිරීමෙන් බෝවේ. ශරීරගතවන විෂබීජය නිසා සති දෙකකට වඩා පවතින කැස්ස ප්‍රධානතම රෝග ලක්ෂණයයි. කෑමට පි‍්‍රයක් නොමැතිවීම බර අඩුවීම, රාත්‍රී කාලයේ දී ඇතිවන උණ ගතිය, දහඩිය දැමීම, අධික ලෙස දහඩිය දැමීම, පපුවේ වේදනාව හා සෙම සමඟ ලේ පිටවීම ද වේ. කුද්දැටි ඉදිමීම කොන්දේ ආබාධ වගේම සමේ රෝග ද වේ.

ක්ෂය රෝගයට වඩාත්ම ගොදුරු වන්නේ ප්‍රතිශක්තිය දුර්වල වූ අයයි. ඉහත කී ලක්ෂණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් සියල්ල නොසඟවා ප්‍රතිකාරවලට යොමුවීමෙන් රෝගය සුවපත් කරගත හැකිය. ඔබ සැලුන් එකේ රැකියාවේ නිරතවන විට අනිවාර්යයෙන් මුඛවැස්මක් පැලඳීම අමතක නොකරන්න.

 

නිමේෂ් වඩුගේ - වස්කඩුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

වයස හතළිහක්වන මා යතුරුපැදියෙන් යමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමක යෙදී සිටියි. ඒ සඳහා සෑහෙන වෙහෙසක් දැරුවත් මට බඩගින්නක් දැනෙන්නේ නැහැ. උදේට රැකියාවට යෑමට පෙර ආප්ප දෙක තුනක් කන්නේ හකුරු සමගයි. ඊට පස්සේ තේ එකක් හෝ කිසිම බීමක් බොන්න හිත කියන්නේ නැහැ. බත් කෑමටවත් පාන් කෑමටවත් හිත දෙන්නේ නැහැ. රෑට සමහර දාට කෝපි කෝප්පයක් බොනවා බිස්කට් දෙක තුනක් කාලා. උදේට ආප්පම තමයි කන්න හිත දෙන්නේ. දවල්ට බඩ ගින්නක් ඇති වෙන්නේම නැහැ. බඩගිනි වීමට අවශ්‍ය ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

ඔබගේ ප්‍රශ්නය අනුව පෙනීයන්නේ ඔබට සෙම වර්ධනය වීමක් ඇති වී ඇති බවයි. ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුව ඇත. මේ තත්ත්වයට ප්‍රතිකාර ලබාදියයුතු වන්නේ ඔබ සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න. උදේට හකුරු සමඟ ආප්ප කෑමත් දිනපතා සිදුකිරීම සුදුසු නැත. ලුණු කැඳ, බැදිහාල් කැඳ, පාන් පෙති, දෙපැත්ත කර කර කෑමට ගැනීම. එළවළු සුප්ද ගුණදායකය. දිය කිරෙන් පිසින ලද, පතෝල, මුරුංගා, රාබු ආදී එළවළු ද ඉතා යහපත්ය. ඇල්දිය නෑම නිදි වැරීම, අධික ලෙස මහන්සිවීම, මළමුත්‍රා වැළැක්වීම සිදු නොකළ යුතුය. අධික ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිය යුතු ය.

 

නාලක යසරත්න - තෙලවල

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි, මට වයස අවුරුදු හතළිස් හතරක් වනවා. රැකියාවක් වශයෙන් කරන්නේ වෙළෙඳ සැලක වෙළෙඳාමේ යෙදීමයි. සතියක පමණ කාලයක සිට මගේ දකුණු කකුලේ විලුඹ වටේට ඉදිමිලා වරින් වර වේදනාවක් පවතිනවා. රාත්‍රී නින්දට ගොස් උදේට ඇඳෙන් නැඟිට පය බිමට තියෙන විටත් විලුඹ හිරිවැටිලා වගේ දැනෙනවා. ඒ දවස්වලට ඇවිදීමටත් අමාරුයි. මේ තත්ත්වය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

ශරීරගත යම් යම් රෝග පෙන්නුම් කිරීමේ ලක්ෂණයක් වශයෙන් ද විලුඹ ඉදිමුම හා වේදනාව ඇති කරනවා. හෘදරෝග, දියවැඩියාව යන රෝගවලට මෙන්ම කොලෙස්ටරෝල් වැඩි වුණාමත් විළුඹ ආශි‍්‍රත මාංශපේශී මෙන්ම අස්ථි පටකවල නිසි පෝෂණයක් නොලැබීම නිසාත් මේ තත්ත්වය පවතිනවා. ඇඳෙන් බැසීමට හෝ ඇඳෙන් බැස ඇවිදීමට නොහැකි වන්නේත් නිසි රුධිර සැපයුමක් නොලැබීම නිසයි. කෙසේ නමුත් අමාරුවන් හෝ උත්සාහ දරා ඇවිදීමෙන් රුධිර නාළ පළල් වී වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩුවී යයි. විලුඹේ වේදනාව අධික නම් ගුග්ගුලාදී හන්දිකාල පිණිතෙල ගෑමෙන්ද වේදනාව අඩු කර ගත හැකිය. මදරස්නය ඇති උණු වතුරට ලුණු ස්වල්පයක් දමා මිශ්‍රකර තෙල් ගෑමට පෙර විලුඹ තවා තෙල් ගෑම සුවදායකය. ආයුර්වේද වෛද්‍යවරයකු වෙතගොස් තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.

 

ලීලාවතී එස්. පෙරේරා - රද්දොළුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු පනස් හතරක්. මා සමඟ මගේ දූල පුතාලගෙ දරුවොත් ඉන්නවා. ඒ දරුවන්ට ඒ දෙමාපියන් එළවළු පලතුරු දිනපතාම ගෙනත් දෙනවා. ඒත් දරුවන්ගේ වැඩීම එතරම් සුබදායක නැහැ. එන්න එන්නම දරුවන් දුර්වල වෙනවා. එබැවින් දරුවන්ට නිසි පෝෂණයක් ලැබෙන විටමින් අන්තර්ගත එළවළු හා පලතුරු පිළිබඳ තොරතුරක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර

සමහර දරුවන්ගේ ශරීරය නිසි වයසට ගැළපෙන ලෙස වර්ධනය වන්නේ නැහැ. විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ කායික වර්ධනයට බලපාන ප්‍රෝටීන්, කැල්සියම් හා ඛනිජ ලවණ නිසි ලෙස නොගැනීමෙන් එවැනි තත්ත්වයන්ට මුහුණ පෑ හැකියි. දිනපතා ආහාරයට ගනු ලබන එළවළු සහ පලතුරුවල විටමින් ඒ අඩංගු වන අතර විශේෂයෙන් කහ පැහැති එළවළු හා කොළ පලාවර්ගවල ඒවායේ බහුලව අඩංගුය. ඒ විටමින් ශරීරයේ සම පැහැපත් කරයි. විටමින් ඒ ශරීරය තුළ අවශ්‍ය පමණ ක්‍රියාත්මක වීමෙන් ඇස් පෙනීම යහපත් වේ. හටගන්නා රෝගවලට ඔරොත්තුදෙන ප්‍රතිශක්තිය අස්ථි පද්ධතිය, දන්ත රුධිර මාංශ පේශී සහ පටකවල නීරෝගිතාවය ආරක්ෂා කරයි. මොළයේ ක්‍රියාකාරීත්වය හා මතක ශක්තියද ඇති කරයි.

 

එස්.ඒ. සුරංගනී - බටපොල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම තිස් දෙහැවිරිදි දරුවන් තිදෙනකුගේ මවක්මි. මා මැහුම් ආයතනයක සේවය කරමි. සමහර දිනවලදී මගේ දිව හා තොල් පැලී වේදනාවක් ඇතිවේ. කට දෙපැත්තේ කෙළවර ඉරක් ගියා වගේ පැලීම පේනවා. මෙය සුවකරගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

කට දිව දෙතොල් පැලී වේදනාවට පත්ව ප්‍රතිකාර ලබන අය බොහෝය. මේ තත්ත්වය ඇතිවීමට හේතු රැසක්ම පවතී. ආහාර ගැනීමේ දී වැඩියෙන් කුළුබඩු, ලුණු ඇඹුල් දැමීමත්, අච්චාරු, අන්නාසි, සැරබීම වර්ග මෙන්ම උෂ්ණාධික මස් වර්ග වැඩියෙන් ආහාරයට ගැනීමත් නිතර නිතර මළබද්ධය ඇතිවීමත් හේතුවේ. ආහාරගත් පසු සමහර තරුණ තරුණියෝ කටේ පාළුවට යයි කියමින් හුණු, දුම්කොළ, පුවක් සමඟ බුලත් විට කෑමටත් පුරුදුව සිටිති. මේ නිසා හුණුවල උෂ්ණත්වය නිසාත් කට දිව පැලී වේදනාව ගෙන දේ. කතුරුමුරුංගා මල්, කතුරුමුරුංගා කොළ, ගොටුකොළ, රතුලූනු සාරණ නිවිති පොල්කිරි සහිත ආහාර සකස්කර ආහාරයට ගත යුතුය. තේ කෝපි බීමෙන් වැළකී සිටින්න. ඉරමුසු, ගොටුකොළ, රණවරා, පොල්පලා තම්බා එම වතුර කිතුල් හකුරු සමඟ පානය කිරීම ගුණදායකය.

සමන් පිච්ච කොළ, ඉරමුසු තම්බා කට සේදීමත්, අමුකහ පෙති කීපයක් වතුරට දමා උණුකර කටසේදීමත් ගුණදායකය. කට දෙකොන පැලී ඇත්නම් වියළි කහ මී පැණියෙන් අඹරා ගාන්න. තවද ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා වැඩිදුරටත් ප්‍රතිකාර ගැනීම සුදුසුය.

 

රාජිත ඉලේපෙරුම

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි

මා පණස් එක් හැවිරිදි පාසල් ගුරුවරයෙකි. කලක පටන් මගේ යටිබඩේ වේදනාවක් එනවා. තුනටියේ රිදුමක් ද එනවා. නාභියේ සිට මූත්‍රමාර්ගය දක්වා කටුවකින් අනිනවා වගේ දැනෙනවා. සමහර දාට වමනයත් යනවා, කකුල්වල වේදනාවකුත් දැනෙනවා, ඇතැම්විට ඔක්කාරය සමඟ වමනයත් යනවා කරුණාකර මේ රෝගයට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

මෙය මූත්‍රාගල් ආබාධයේ ලක්ෂණයි. කැකිරි, පුහුල්, දියලබු නිතර කෑමට දෙන්න. කතුරුමුරුංගා ව්‍යාංජනයද ගුණදායකය. ආයුර්වේද වෛද්‍යවරයකුට සියලු රෝග විස්තර පවසා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. ඉවසිය නොහැකි වේදනාවක් යටිබඩේ පවතී නම් උණුබත් ටිකක් ගෙන පොට්ටනියක් බැඳ මඳ රස්නයෙන් යටිබඩ තවා සිද්ධාර්ථ, වාත විදුරංග වැනි බෙහෙත් තෙල් ගා හොඳ නින්දක් ලබා ගන්න.

 

සටහන - බී. ඇල්. ප්‍රේමරත්න

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.