වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
සුබසෙත සුවසෙත
පී.බී. රංජනී පොතුහැර
ප්රශ්නය -
වෛද්‍යතුමනි,
මගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු දහ අටකි. ඇගේ හිස පීරන විට මා දුටුවා හිස් මුදුනේ හිසකෙස් දෙකතුනක් සුදුවී ඇති බව. එමෙන්ම දකුණු කන පැත්තේ කෙස් රොදක්ම තැනින් තැන කැඩිලා. හිසේ මේ තත්ත්වය අඩුකර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන්න.
පිළිතුර -
අකලට හිසකෙස් සුදුවීම. කෙස් කැඩීයාම වගේම කෙස් සුදු වීම දරුවන් අතර බෙහෙවින් පවතිනවා. මෙය රෝගී තත්ත්වයක් හේතුවෙන් වගේම ගනු ලබන ආහාරවල පෝෂණය අඩුවීමෙන් ද සිදුවෙනවා. සමහර දරුවන්ට පීනස පැවතීම නිසාත් එසේ වනවා. නොදැනුවත්ව හිසේ හිස්හොරි තිබීමෙනුත් එසේ වනවා. එමෙන්ම යම් යම් වර්ගයේ සබන් ෂැම්පු වර්ග හිසේ ගෑම නිසාත් හිසකෙස් සුදුවීම මෙන්ම හිසකෙස් කැඩීයාමට පටන් ගන්නවා. ඒ වගේම ශරීරයේ පවතින උෂ්ණත්වය හේතුවෙනුත් හිසකෙස් සුදුවීම, කැඩීයාම වගේම හිසකෙස් දුර්වර්ණවීමත් ඇතිවනවා. එබැවින් හිස සෝදන විට දෙහි ඇඹුල් ටිකක් මිශ්‍රකර එම ජලයෙන් හිස සෝදන්න. හැකියාවක් ඇත්නම් නෙල්ලි, වෙරළු, පේර, මුද්දරප්පලම්, පෙයාස්, ඇපල් වැනි පලතුරු කෑමට ලබා දෙන්න. ජලය පානය කිරීමත් වැදගත්. කීකිරිඳිය, මුකුණුවැන්න මුල්, අමු නෙල්ලි ටික ටික ගෙන වෙන වෙනම කොටා යුෂ එක පමණට ගෙන එළකිරි ද එක් ප්‍රමාණයකට ගෙන තල තෙල්, එරඬු තෙල් බෙහෙත් එක ප්‍රමාණයකට ගෙන යුෂට දමා යුෂ භාගයක් පමණ ගෙන තෙල් කලවම් කර ලිප තබා හොඳට උණු කර එම තෙල් නිවා ටික ටික හිසේ ගාන්න. දෙහි ගැට තුන හතරක් ගෙන කපා උළුහාල් සමඟ තම්බා අඹරා නිවුණ පසු හිසේ ගා ටික වේලාවකින් ස්නානය කරන්න. තවදුරටත් ප්‍රතිකාර කළ යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය. මෙසේ බෙහෙත් නියම කරනු ලබන්නේ රෝගියා පරීක්ෂා නොකර බැවින් රෝගියා පරීක්ෂාකර ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය.
ටී.කේ.එස්. පෙරේරා - ගොඩගම
ප්රශ්නය -
වෛද්‍යතුමනි, මගේ දරුවාගේ වයස අවුරුදු නමයක් හොඳට ආහාර ගනිමින් සිටි දරුවා දැන් කෑමට බීමට පි‍්‍රයක් දක්වන්නේ නැහැ. කිසිම දේකට උනන්දුවක් දක්වන්නේ නැහැ. කම්මැළි කියා කියනවා. අඩු තරමින් ගේ ළඟ කඩේකටවත් යවා ගන්න බැහැ. ඒ තරම්ම කම්මැළි වෙලා. දවස තිස්සේම නිදාගන්නයි බලන්නේ. ඇති වී ඇත්තේ රෝගයක්ද? පිළිතුරක් ලබාදෙන්න.
පිළිතුර -
දරුවා යකඩ ඌනතාවයෙන් පෙළේ. පාසල් යනවා නම් ඒකටත් බාධා විය හැකිය. එබැවින් පෝෂදායී යකඩ මිශ්‍ර කෑම ලබාදීම කළ යුතුය. මස්, මාළු, කරවල, හාල්මැස්සන් ආහාරයට ලබාදිය යුතුය. කතුරුමුරුංගා, සාරණ, නිවිති, ගොටුකොළ, තම්පලා වැනි තද කොළ පැහැති පලාවර්ගත්, බෝංචි, සෝයා බෝංචි, කඩල, මුං ඇට, කවුපි, පරිප්පු, උඳු, බිත්තර කෑම වේලට වරින්වර ලබාදිය යුතුය. තේ, කෝපි, පිටිකිරි බීමට නොදිය යුතුය. කෑමට සූදානම් කරන මස්, මාළු, එළවළුවලට සලාදවලට, දෙහි, සියඹලා, තක්කාලි මිශ්‍ර කිරීමෙන් කෑමවල ගුණාත්මක භාවය වැඩිවේ. මේ ආහාර දීමෙන් දරුවාගේ රෝගය සුව අතට පත්වේ.
එස්.කේ.එල්. රුද්‍රිගු - තිහගොඩ
ප්රශ්නය -
වෛද්‍යතුමනි,
වයස අවුරුදු පනස් තුනක් වන මම බෙහෙවින් තරබාරු අයෙකි. රැකියාවක් නොකරන මා දූ දරුවන්ගෙන් යැපෙන අයෙකි. ඉඳහිට හිසරදයක් එනවා. ඒ වෙලාවට කරකැවිල්ලක් වගේ දැනෙනවා. ඒ අවස්ථාවට ඇඳට ගියාම ඒක නැතිව යනවා. සමහර වෙලාවට වමනය එන්න වගේ. වමනය දමන්නේ නැහැ. මෙයට ප්‍රතිකාරයක් දෙන්න.
පිළිතුර -
අධිරුධිර පීඩනයේ රෝග ලක්ෂණ බවයි පෙනෙන්නේ. ඒ අනුව ප්‍රතිකාර ගැනීම පසු නොකළ යුතුය. හෘද රෝග තත්ත්වයක් ඇතිවිය හැකියි. අධිරුධිර පීඩනය ගැන පරීක්ෂා කරවා ගත යුතුය. අධික ලුණු සහිත ආහාර ගැනීම, දුම් පානය, මත්පැන් පානය වහාම වැළකිය යුතුය. නිවුඩු හාලේ බත්, කඩල, කවුපි, මුං ඇට, සෝයා ආදිය මෙන්ම කෙඳි සහිත එළවළුත්, පලතුරුත් ආහාරයට ගන්න. පසුනොකර වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.
ජී.එස්. පුංචිබණ්ඩා - පෑලියගොඩ
ප්රශ්නය -
වෛද්‍යතුමනි, ලොරි රියැදුරෙකු ලෙස සේවය කරන මා ගල්, වැලි පටවන ලොරියක සේවය කරයි. ලොරියෙන් ගෙනයන ගල්වැලි බෑමෙන් පසු තද හිසරදයක් ඇතිවේ. ලොරියේ නොයන දිනවලදී එසේ නොවේ. පුරුද්දක් වශයෙන් දිනපතා සාමාන්‍ය තත්ත්වයෙන් මත්පැන් ටිකක් පානය කිරීම හා දුම් පානය කරයි.
පිළිතුර -
උදේට හටගන්නා ඔබේ හිසේ අමාරුව ඉරුවාරදයේ ලක්ෂණයයි. පහුවන විට ඉරුවාරදය සමඟ ඇස්වල දැවිල්ල හා නාසයේ බරගතියක් ඇතිවේ. දුම් පානය හා මත්පැන් පානයත් දිනපතා කිරීම සුදුසු නොවේ. දුම් පානය කිරීමෙන් හෘදයට වන හානිය බොහෝය. එමනිසා එය නතර කිරීම පියවරගන්න. හිසේ කැක්කුම පවතින විට අබ, එන්සාල්, වියළි කහ, වදකහ, සූදුරු, කොට්ටන්, කුරුඳු පොතු, කළු දුරු ටික ටික ගෙන කුඩුකර අඹරා පිරිසුදු රෙදි කෑල්ලක පහන් තිරයක් සේ කුඩු දමා ඔතා එය ගිනිකොට නිවා එයින් නිකුත් වෙන දුම නාසයට උරන්න. ඒ අතර ආයුර්වේද වෛද්‍යවරයකුට සියලු රෝග පවසා ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය.
ශි්රයාකාන්ති - වෑකඩ
ප්රශ්නය -
වෛද්‍යතුමනි, වයස හතළිස් දෙකක් වන මම දිනපතා පාසල් ළමයින් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක සේවය කරමි. දිනපතා පෙරවරු හයට වෑන් රථයට ගොඩ වුණාම අවසන් වී ගෙදරට එන්නේ සවස තුන හමාර පසුවෙලාය. ඒ වෙලාවට හරිම මහන්සියක් දැනෙනවා. කකුල් දෙකට කටුවකින් අනිනව වගේ දැනෙනවා. තුනටියත් රිදෙන්න ගන්නවා. මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.
පිළිතුර -
පළමුව කළ යුත්තේ රුධිර පරීක්ෂණයක් කරවා ගැනීමයි. ඒ කොලෙස්ටරෝල් තත්ත්වය ගැන බැලීමටයි. රුධිර පරීක්ෂණයට යෑමට පෙර පැය දාහතරක පමණ කාලයක් ආහාර ගැනීමෙන් වැළකී සිට යා යුතුයි. රුධිර වාර්තාවේ කොලෙස්ටරෝල් වැඩිබව සඳහන්ව ඇත්නම් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් වාර්තාව පෙන්නා ප්‍රතිකාර ගන්න. කොලෙස්ටරෝල් වැඩිනම් කරපිංචා කොළ කැඳ සාදා පානය කරන්න. කරපිංචා කොළ මැල්ලුමද ගුණදායකයි. උෂ්ණ ආහාර වර්ග හා උෂ්ණ මස් මාළුවලින් වැළකී සිටින්න.
එස්. සුමනා මාලඹේ
ප්රශ්නය -
වෛද්‍යතුමනි, පාසල් යන මගේ එක් දරුවකුගේ කටෙන් මහා ගඳක් පිටවෙනවා. ඇයට වැල්මී විකීමටත් කපුරු සුවඳැති ටොපි විකීමටත් දුන්නා. කටින් පිටවන ඒ ගඳ අඩු වෙලා නැහැ. එය අඩු කර ගැනීමට බෙහෙතක් සඳහන් කරන්න.
පිළිතුර -
උදේට, සවසට හොඳට දත් මදින්න කියන්න. උගුරත් දිවත් හොඳට සෝදන්න. එන්සාල් ඇට කීපයක්, කුරුඳු පොතු කෑල්ලක් සපන්න දෙන්න. කරාබු නැටිත් දෙන්න. කටේ ගඳ නැතිව යයි. උෂ්ණාධික ආහාර කෑම අඩුකරන්න. මේ ප්‍රතිකාරවලට අඩු නොවේ නම් ළඟම සිටින වෙද මහතාට පෙන්වා බෙහෙත් ගන්න.
ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර