හෙළ බිම සුරකින ශ්‍රී මහා විෂ්ණු දෙවියෝ

ඔක්තෝබර් 11, 2024

සිංහ දෙවි දේවතාවුන් වහන්සේලා අතර ශ්‍රී විෂ්ණු මහ දෙවියන්ට සුවිශේෂී තැනක් හිමි වී තිබේ. උපුල්වන් නමක් ද ඈඳී ඇත. ලංකාරක්ෂක දෙවියකු නිසා සෑම ජන ජීවිතයකට විෂ්ණු දෙවියන්ගේ රැකවරණය නිතැතින්ම ලැබේ. පොලොන්නරු යුගයේ දී මේ දෙවියන්ට සුවිශේෂී තැනක් එදා හිමි වී තිබිණ.

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ උපත ගැන අති උත්කෘෂ්ඨවත් කතාන්තර ගොතා තිබේ. මේ දරුවා උපන් මොහොතේදී මේඝ ගර්ජනා කරමින් මහ වැසි වැස්සේ ය. ගස්වල මල් පිපුණි. කුරුල්ලෝ ගී ගැයූහ. වනයේ සියලු සතුන්ම යහළු විය. සුවඳ දසත හමා ගියේ ය. මුහුදේ රළ නැගෙමින් අවට මීදුම් පටලයකින් වැසිණ. මහ වැසි අතර මල් වැසි ද විය. ලොව පුරාම විස්මිත දේවල් සිදු විය. සෞම්‍ය ගතිලක්ෂණ ඇති විෂ්ණු දෙවියන්ගේ පාදපරිචාරිකාව ශ්‍රී ලක්ෂ්මී දෙවඟනය. දැකුම්කලු ඇය ලැබීමට අධිපතිනිය වූවාය. බැතිමත්හු අදත් ශ්‍රී ලක්ෂ්මී දේවියට පුද පූජා තබති. වාලම්පුරියට දක්ෂිණාවෘත්ත සංඛයට අධිපතිය. එම සංඛයන් තමා සතුවේ නම් මිල මුදල්, ධන සම්පත් ඉබේම ලැබේ. ධනවත් වේ. පී‍්‍රතිමත් වේ.

ලක්දිව සියලුම ශාන්තිකර්මවලදී විෂ්ණු දෙවියන්ට මුල් තැනක් හිමිවේ. පූනාමඩුවේ පහන් දැල්වීමේ දී මුල් පහන විෂ්ණු දෙවියන් වෙනුවෙන් ය. විෂ්ණු දෙවියන්ගේ ඇඳුම දේවත්වයෙන් ආරෝපණය වීම නිසා උඩරට නැට්ටුවන්ගේ ඇඳුම ද මේ හා සමාන වන සේ සැකසිණ. දේව ඇඳුමක් ලෙසද වතගොත පවසා ඇත්තේ ඇස්. පණීභාරත ශූරීන් සහ නිත්තවෙල ගුණයා ශූරීන්ය.

සෙනසුරාදා දිනෙක මැදියම් රැයේ තඹ කාසියක් නිල් රෙදි කෑල්ලක ගැට ගසා බාරයක් වීමෙන් තමාගේ සියලුම අදහස් ඉටුවන්නේ ය. එය භක්තියෙන් කළ යුතු වේ. විෂ්ණු දෙවියන් උදෙසා විශාල ලෙස ශාන්තිකර්ම කරනු ලබන්නේ දේව පිහිට ලබා ගැනීමටයි. කුඩා දරුවන්ට විෂ්ණු දෙවියන්ගෙන් පිහිට ලැබේ. භාර හාර වීම ද අතිශයින්ම වැදගත් වන්නේ ය.

සිංහල දේව පුරාණයේ සඳහන් පරිදි උපුල්වන් දෙවිඳු ශ්‍රී විෂ්ණු, ආහලී රජී වාසුදේවතා, නළ දේවතා, දමෝරා, ගෝවින්ද, හරීහර රජී යනුවෙන් දක්වන්නේ විෂ්ණු දෙවියන්ය.

කෑරලකු, දියකාවෙකු, මැඩියෙකුගේ වෙස් ගනී. විවිධ යුගවලදී විවිධ වර්ණ ගන්නේ ය. ශක්‍රගේ නියමය පරිදි ලක්දිව බුදු සසුන රැකීමට බාර විය. අනාගතයේ දී රාම බුද්ධ නමින් බුදු වන්නේ ය. සමනල, මක්කම, කැලණිය, දිවාගුහාව, දළදා මන්දිරය, ජය ශ්‍රී මහා බෝධිය, දඹුලුගල ඇත්කඳ විහාරය ද විෂ්ණු දෙවියන්ට අයත් වන ස්ථානයන්ය. බෝධිසත්වයකු ලෙස දක්වන විෂ්ණු දෙවියන්ට පුද පූජා තබා තමාගේ දෛනික වැඩ ඉටුකර ගැනීමට හැකිවේ. විෂ්ණු දේව සංකල්පය ගැන අපේ සිංහල දේව පුරාණයේ වතගොත ඇතුළු විස්තර සමූහයක් ඇති බැව් දක්වමු.

ශ්‍රී මහා විෂ්ණු දෙවියන් තුන්කල්හිම අප රට රකින මහා බලගතුම දෙවියන් බැව් පිළගත්තකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.