වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආගමික ස්ථානවල වාස්තු පිහිටීම්
ආගමික ස්ථානයක් නිවහනකින් වෙනස් වන ආකාර ගණනාවකි. ඒවා අතර පදනම සපයනුයේ ආධ්‍යාත්මික පසුබිමක ආගමික ස්ථානය පැවතිය යුතු වීමෙනි. එසේ වීමට අවශ්‍ය වන්නේ නම් ලෞකික අපේක්ෂාවන් තුනී කර ගත් ලොවුතුරු අපේක්ෂාවන් පුබුදුවාලන ආකාරයක් එකී පරිසරයෙහි පැවතිය යුතු වේ.
යම් අයකුගේ ලෞකික අපේක්ෂාවන් සඳහා බලපානුයේ කවර දේද ලොවුතුරු අපේක්ෂාවන් කෙරෙහි බලපානුයේ කවර දේද යන්න මැනැවින් විමසා බැලීම පළමුව සිදුවිය යුතු වේ. මෙය විග්‍රහ කර ගැනීම සඳහා අප අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණු ඇතුළත් වනුයේ මනුෂ්‍යයාගේ භෞතික ශරීරය ආශ්‍රයේ පවත්නා ශක්ති ශරීරයේ බව ඉදිරියේදී වැටහෙනු ඇත.
උක්ත ශක්ති ශරීරය හා එයට බාහිරින් ශක්තිය ඇතුළු වන ස්ථාන පිළිබඳව භාරතීය පුරාණ ශාස්ත්‍රවල පවා විස්තර සහිතව දක්වා තිබේ. ඒ අනුව ශක්ති ශරීරයේ ඉහළ කොටස්වල හා ඒ ආශි‍්‍රත සහස්‍ර, අජ්න, විශුද්ධි ආදී ශක්ති ද්වාර හෙවත් චක්‍ර බලවත් වූ විට පුද්ගලයාගේ ආධ්‍යාත්මික ස්වභාවයන් වඩ වඩාත් බලවත් වේ. එසේම ශක්ති ශරීරයේ පහළ කොටස්වල හා ඒ ආශි‍්‍රත මූලාධාර, ස්වාධිස්ථාන, මනිපුරි ආදී වක්‍ර ලෞකික ස්වභාවයන් බලගන්වන බව පෙනේ.
එසේ නම් අප විසින් මනුෂ්‍ය ශරීරයේ ඒ ඒ ස්ථානයන් කෙරෙහි බලපවත්වන ශක්ති ක්‍රියාවලිය බලගැන්වීම පිළිබඳව සැලකිලිමත් වෙමින් අදාළ පරිශ්‍රය සකස් කර ගත යුතු වේ. මෙය සිදු කර ගන්නේ කෙසේද?
අපට බලපාන ශක්තීන් අතර මෙකී විෂයයට අදාළ ශක්තීන් වන්නේ පොළොව වටා පැවතී, පොළොවේ භ්‍රමණ ආදී චලනයන්හිදී ගැටී, පොළොවට ලැබෙන අන්තරීක්ෂ ශක්තියත්, (Cosmic) පොළොවේ ගබඩා වූ අන්තරීක්ෂ ශක්තියේ අතිරික්තයක් ලෙස පොළොවෙන් ඉහළට නිකුත් වන භූ ශක්තියත්, (Earth) ස්වභාවික ගොඩනැඟී ඇති චුම්භක ශක්තියත් (Magnetic) වේ. මේ අනුව ඉහත කරුණට අදාළව ආධ්‍යාත්මික කටයුතු සඳහා බලපාන ශක්තිය වන්නේ, අන්තරීක්ෂ ශක්තිය වුවත් ලෞකික කටයුතු සඳහා බලපානුයේ භූ ශක්තිය බව වටහා ගත යුතුව තිබේ. එසේ වුවත් චුම්භක ශක්තිය එතරම් බරපතළ ලෙස මනුෂ්‍යයා සිරස්ව සිටින අවස්ථාවලදී (තිරස්ව සිටින නින්දේදී හැර) බල නොපායි.
පොළොවේ උස අනුව සැලකීමේ දී පහළ මට්ටම්වලදී (තැනිතලාවලදී) භූ ශක්තියත්, ඉහළ මට්ටම්වලදී (කඳුවලදී) අන්තරීක්ෂ ශක්තියත් ප්‍රබලවන බව කිය යුතු වේ. මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන ආකාරයක්ද පවතී. පොළොව තැනී ඇති ද්‍රව්‍ය අනුව භූ ශක්තියේ අඩු වැඩි වීමක්ද, පොළොව විසින් ශක්තිය උරා ගන්නවා වෙනුවට පොළොවෙන් පරාවර්තනය කිරීමක් ද සිදුවිය හැකියි. නිදසුනක් ලෙස යම් ගල් තලාවක් මත ආගමික ආයතනයක් පිහිටුවනු ලැබුවේ යැයි සිතමු. එවැනි ස්ථානයකදී පොළොවෙන් ඉහළට නිකුත් වන භූ ශක්තිය අවම වේ. එසේ භූ ශක්තිය අවම වීම නිසා ආධ්‍යාත්මික මාර්ගයක් වෙත වූ ලොවුතුරා පිවිසුමකට අවශ්‍ය වන අන්තරීක්ෂ ශක්තියේ මැදිහත්වීම ප්‍රමුඛ වනු ඇත.
මෙයට අමතරව ආගමික ආයතනයක් පිහිටුවීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් 'මඤ්ජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍ර' නම් කෘතියෙහි විස්තර කෙරේ. ඒ සියල්ල මෙහිලා විස්තර නොවූවත් භූමිය මධ්‍යයේ ඉදිකිරීම් සිදු නොකර හිස්ව තැබීම කළ යුතු වේ. අවම වශයෙන් ඉඩමේ මුළු වපසරියෙන් විසි පහෙන් එකක් පමණවත් මෙසේ හිස්ව තැබීම අව්‍යශය. ඒ කොටසේ අතු පතර විහිදුවා වැඩෙන ගසක් හෝ රෝපණයට ඉඩ දීම උචිත නොවේ.
ආගමික පරිශ්‍රයක අදාළ ඉදිකිරීම් දිශාගත කිරීමේ දීත් සැලකිය යුතු කරුණු බොහෝ ඇත. විශේෂයෙන් ඊශාන දිශාව ප්‍රධානව උතුර හා නැඟෙනහිර දිශාවන් ගහකොළ ගොඩනැඟිලි, තාප්ප ආදී කිසිවකින් ආවරණය නොවිය යුතුය. ස්වාභාවික ගල් මතු වී ඇත්නම් ඒවා පවා ඊශාන උතුර, නැඟෙනහිර දිශාවලින් ඉවත් කර හිරු රැසින් පවා රත් නොවන අයුරින් පසුබිම සකස් කොටගත යුතු වේ.
ආගමික ආයතනයේ ප්‍රධානියා හෝ කළමනාකරු (විහාරස්ථානයක නම් විහාරාධිපති ස්වාමීන් වහන්සේ) තම ආවාසය ගොඩනඟා ගත යුත්තේ නිරිත දිශාවට වන පරිදිය. එසේ වුවත් භාවනා වන්දනා ආදී ආධ්‍යාත්මික කටයුතු සඳහා නිරිත දිශාව භාවිත කළ යුතු වේ.
අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් අප වෙත ගෙන එන වෘක්ෂයක් වූ බෝ (ඇසතු) ගස පිහිටුවීම විහාරස්ථානයකට අතිශයින් ප්‍රතිපල දායක වූවකි. එහි පත්‍රවල හැඩයත් නිරතුරු එම පත්‍ර සෙලවීමත් නිසා ශක්ති උත්පාදනාගාරයක් ලෙස බෝධීන් වහන්සේ හඳුන්වාදිය හැකිය.
නිවෙසක මුළුතැන්ගෙය මෙන්ම විහාරස්ථානයක උයන ගෙයක් හෝ රත්වන ස්ථානයක් පිහිටුවීමේ දී ගිනිකොන භාවිත කිරීම උචිත වේ. එසේ නොහැකි අවස්ථාවකදී වයඹ දිශාව භාවිතයට ගැනීම කිසිදු ගැටලුවක් ඇති නොකරයි.
විහාරස්ථානයක් සැලකීමේදී තුඩක් සහිත වූ චෛත්‍යය විසින්ද ඉවතට යමින් ඇති අන්තරීක්ෂ ශක්තිය භූගත කිරීම සිදු කරනු ඇත. ඉහළින් ගමන් කරන වලාකුළු ආරෝපණය කරමින් වැසි ඇති කිරීමේ හැකියාවක්ද චෛත්‍යයක් සතු වේ. මේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තැනිතලා භූමිවල ළඟ ළඟ තැන්වල චෛත්‍ය ඉදිකිරීම සිදු කර ඇති යැයි සිතිය හැකිය.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න