වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සුවබර නින්දක් ලබන්න හොඳම උපදෙස්
නිදාගැනීමේදී උතුරු දිශාවට මෙන්ම ඊසාන දිශාවටද හිස දැමීම සුදුසු නොවේ. වයඹ හා ගිනිකොණ දිශාවන්ට ද හිස තබා නිදාගැනීමෙන් ජීවිතයට අසුබ ඵල උදා වේ. නින්දේදී හිස තබා ගැනීමට වඩාත්ම සුදුසු දිශාවන් වන්නේ පිළිවෙළින් දකුණ, නිරිත, නැගෙනහිර දිශාවන් බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ.
ඇතමුන් බටහිරට හිස දමා නිදා ගැනීම අශුභ යැයි පවසන්නේ මෘත දේහයක හිසද බටහිරට තබන නිසාවෙන් බව පැහැදිලිය. ඒ මතය ඔබේ මනසේ තදින්ම තැන්පත්ව තිබේ නම් බටහිර දිශාව මඟ හැර ශුභ දිශාවකට හිස දමා ඔබට නිදා ගත හැකිය. මන්ද හැමදේටම මූලික වන්නේ අපගේ මනස නිසාවෙනි. මේ අනුව ඔබගේ නිදන කාමරයද උතුරු පැත්තෙන් තිබීම එතරම් යෝග්‍ය නොවන අතර නිදන කාමරයේ ඇඳ ඉහත්ත දකුණ නිරිත හා නැගෙනහිර දිශාවට යොමු කර පිහිටුවා ගැනීම ඉතාම යහපත් ය. නින්දේදී හිස තැබීමට සුදුසු දිශාව ලෙස දැක්විය හැක්කේ දකුණ දිශාව බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ.
නිදන කාමරය සහ නිදියහන පිළිබඳ වැදගත් තොරතුරු
නිවසක උතුර, ඊසාන හා ගිණිකොන දිශාවේ නිදන කාමර පිහිටුවීම සුබ නොවන බව ඡ්‍යොතිෂ්‍ය මතයයි. මෙට්ටයක් මත හෝ පැදුරක් මත වුවත් උතුර ඊශාන, ගිණිකොණ දිශාවන්ට හිස දමා නිදා ගැනීම අසුබය. සුවබර නින්දක් ලබන්නට නම් නිදන යහන මත මෙන්ම යහන යටද ඉතාම පිරිසිදුව තිබීම අත්‍යවශ්‍ය තත්වයකි. සමහර නවීන නිවෙස්වල පවා විදුලි උපකරණ සහිතව හෝ රහිතව කාඩ්බෝඩ් පෙට්ටි හදිසියකදී භාවිතයට ගන්නා මෙවලම් සාස්පාන් ඉතිිරි වූ තීන්ත ටින් ප්ලාස්ටික් බඳුන් ආදිය නිදියහන යට තිබීමට හැකිය. සමහර නිවෙස් වල නිදන ඇඳයට තත්වය මීටත් වඩා භයානකය.තවමත් ග්‍රාමීය නිවෙස් වැඩි හරියක පරණ පෙට්ටගම්, ඇඳුම් පිරවූ සූට් කේස්, මුනින් නැවු පඩික්කම්, හට්ටි මුට්ටි, උදලු, නාරස්සන, තාච්චි ආදි මෙවලම් රාශියක්ම ගබඩා කර තබන්නේ නිදන ඇඳ යටයි. සමහර පැරණි නිවෙස් වල ඇඳ මත ඇදුම් පිරවූ සූට්කේස් හෝ කාඩ්බෝඩ් පෙට්ටි පවා තිබෙන බව පෙනීයයි. මේ තත්වය ඉතාම අශුභයි. අඩුම තරමින් කඩදාසි කැබැල්ලක තරම් නොගැළපෙන යමක් නිදි යහන මත නොතිබිය යුතුයි. සමහරු මේ බව දැන දැනත් හදිසි අවශ්‍යතාවයන්ට මුහුණ දීම සඳහා (පැරණි නවීන භේදයක් නොමැතිවම) ඇඳේ මෙට්ටය යට හෝ අඳ යට හෝ කඩු මුගුරු ආදිය පවා සඟවා තබයි. ඡ්‍යොතිෂ්‍යානුකූල බව කෙසේ වෙතත් හදිසි කෝපවීමකදී තම නිවසේම අයෙකු කඩු ප්‍රහාරයකට පොලු ප්‍රහාරයකට ලක්වීමේ ප්‍රවණතාවය හෝ සම්භාවිතාවය මෙවැනි තත්වයක් මත ඉහළයන බව බුද්ධිමත්ව ඔබ වටහා ගත යුතුය. කඩුවක් මුගුරක් සමහරවිට ගිනි අවියක් නිඳන ඇඳේ කොනක හෝ සඟවා තබාගෙන සිටින පුද්ගලයෙකුට කිසිම දවසක සුවබර පරිපූර්ණ නින්දක් ලැබේයැයි ඔබ සිතනවාද?
රඹුක්කන කීර්ති එස් .කුමාර