ශිව-ශක්ති-ජලය සහ ග්‍රහලෝක ගිලින තරු

මාර්තු 29, 2024

විශ්වය පිළිබඳ සොයාගෙන යන ගමන කෙතරම් අපූරු ද යන්න දනවන තවත් පුවතක් ඉතා මෑතදී අසන්නට ලැබිණි. ඒ ශිව සහ ශක්ති ලෙස නම් කරන ලද ක්ෂීරපථයේ ඉපැරැණි පථද්වයක් පිළිබඳවයි. වසර බිලියන 12කට පමණ පෙර ක්ෂීරපථය තිබෙන්නට ඇත්තේ කෙසේද? එහි පැවැති තරු වළලු කෙබඳුද? වැනි කරුණු මේ මඟින් අනාවරණය කරගන්නට අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ උනන්දුව මේ සමඟ වැඩි වී ඇත. ක්ෂීර පථයේ සර්පිලාකාර බාහුද්විත්වය සහ තැටියේ පැරැණිම කොටස බඳු කොටස සැකසීමේදී මෙය දායක වී ඇත. මේ තරු පද්ධති බිහි වීමෙන් අනතුරුව ක්ෂීරපථය බොහෝ වෙනස්කම්වලට භාජනය වුවද තවමත් ඒ කොටස් දැක ගැනීමට ලැබීම විද්‍යාඥයන්ගේ පුදුමයට හේතු වී ඇත්තේ එම එක් පථයක සූර්යයන් මිලියන දහයක් පමණ තිබෙන්නට ඇති බව දැනගැනීමත් සමඟය. මෙයින් විශ්වයේ ආරම්භය මෙන්ම ක්ෂීරපථයේ සැකසීම සහ පෘථිවියත් මිනිස් සම්භවයත් කෙසේ සිදු වීද යන්න පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට ඔවුහු සිතති.

මේ අතරම තවත් ආකාරයක විස්මයක් විද්‍යාඥයන් අතර ඇති කරන්නේ වසර බිලියන හතරහමාරක පමණ කාලයක් මේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක ගිලින තාරකාවලින් බේරී තිබුණේද යන්න පිළිබඳවය. එයට හේතුව නිවුන් තාරකා මඟින් ග්‍රහ මඬුලුවල ස්ථාවරත්වය බිඳීමින් ග්‍රහලෝක ගිලදැමීමයි. රොයිටර් වාර්තාවලට අනුව මෙවැනි නිවුන් තරු යුගල 91ක් පමණ එකම ආකාරයට මේ ග්‍රහයන් ගිලීමේ කටයුතුවල නිරත වෙයි. ඒ ග්‍රහලෝක ගිලින අයුරු දැකීමෙන් ඔවුන් භීතියට පත් වී ඇති බවද පෙනෙන්නට තිබෙයි. හොඳට හෝ නරකට මේ ග්‍රහගිලින්නන් සිටින්නේ පෘථිවියට ආලෝක වර්ෂ හත්තෑවත් නවසිය හැටත් අතර දුරින් වීම සැනසුම් සුසුමක් හෙළමින් කියන විද්‍යාඥයන් තවමත් විශ්වයේ විස්මිතබවින් කැලඹී ඇති බව පෙනේ.

ඊටත් අමතරව අභ්‍යවකාශයේ ඔවුන් සොයමින් සිටි ජලය ද උපරිමයෙන් දකින්නට ලැබීමෙන් මොවුන්ගේ සිත් තවත් වියවුල් වී ඇති සේය. ඒ ආලෝක වර්ෂ බිලියන 12ක් පමණ ඈතින් පිහිටි බ්ලැක්හෝල් හෙවත් කළු සිදුරක් මූලික කරමින් පෘථිවියේ සියලුම ජලය එක් කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් ට්‍රිලියන 140 ගුණයක ධාරිතාවක් සහිතව ජලය එහි හමු වීම නිසාය. මෙය විශ්වයේ වයසින් තුනෙන් එකක කාලයකදී ඇති වූවක් ලෙස සැලකේ. මේ කළු සිදුර අප දකින හිරු මෙන් බිලියන 20ක විශාලත්වයකින් යුතු බව කියැවේ.

මෙසේ බලන කල අප දකින්නේ මේ විශ්වයෙන් කෙතරම් සුළු පරාසයක් ද යන්න වටහා ගැනීම අපහසු නොවේ. බුදු දහමේ පවසන පරිදි අංගුත්තර නිකායේ තික නිපාතයේ චූලනිකා සූත්‍රයට අනුව සඳ හිරු දෙදෙන ආලෝකය පතුරුවන තරම් වූ තැනක් වේ නම් එය එක් සක්වළකි. එහෙත් සහස්සී චුල්ලනිකා ධාතුව යනු චක්‍රාවාට දහසක් පිළිබඳ කියැවෙන්නෙකි. ඒවායේ හිරු දහසක් ද, සඳ දහසක් ද, සිනෙරු පර්වත දහසක් ද ජම්බුදීප දහසක් ද බ්‍රහ්ම ලෝක දහසක් ද ආදී වශයෙන් වන දෑට ඇසෙන අයුරින් සිඛී බුදුරජාණන් වහන්සේගේ අභිභූ නම් ශ්‍රාවකයා විසින් දේශනා කර ඇත. එය ශ්‍රාවකයාගේ සීමාව වුව ද බුදුවරයකුට ඊටත් වඩා වැඩි සක්වළ ගණනකට ඇසෙන අයුරින් දහම් දෙසිය හැකි වනු ඇත. සහස්සී චුල්ලනිකා ධාතු දහසක් ද්විසහස්සී මජ්ඣිමිකා ලෝක ධාතුවක් යැයි ද එය විෂයය වන්නේ සර්වඥ බුදුවරයන්ට පමණක් යැයි ද කියවෙන බව තලල්ලේ ධම්මානන්ද නාහිමි විසින් රචිත ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ නම් පර්යේෂණාත්මක කෘතියේ සඳහන් වෙයි. බෝසත්වරයකු මවුකුස පිළිසිඳීන විටත්, උපත, බුදුවීම, දම්සක් පැවැතුම් කරන විටත්, පිරිනිවන් පෑම සිදුවන විටත් මේ ලක්ෂ සංඛ්‍යාත සක්වළ කම්පනය වන බවද පැවසෙයි.

ඒ ගණනය කිරීම් පිළිබඳ කෙබඳු අයුරින් සලකා බැලුවද පැහැදිලි වන්නේ බුදුවරයන්ට මිස සාමාන්‍ය බුද්ධිමතුන්ට මේ සීමාව පිළිබඳ සිතීම කෙතරම් අපහසු ද යන්නය. එහෙත් විශ්වයේ බලපෑම ගහට කොළට සතා සීපාවාට මෙන්ම මිනිසාට කියා දිය හැකි ශාස්ත්‍රවල මේ පිළිබඳ සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනුමට ඔබ්බෙන් යන යම් දැනුම් පද්ධතියක් ගැබ් වී ඇතිබව සැලකිය හැකිය. ඡ්‍යොතිෂය අයත් වන්නේ ද එබඳු ශාස්ත්‍රයකට බැවින් ඒ පිළිබඳ පටු නිර්ණයන්ට එළැඹෙනවාට වඩා පෘථුල දෘෂ්ටියකින් යුතුව කටයුතු කරන්නේ නම් විද්‍යාඥයන්ට ද මේ සිතනවාට වඩා වැඩි යමක් විශ්වය පිළිබඳ සිතීමට නිම්වළලු පුළුල් වනු නිසැකය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.