වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උදර වේදනා නසන අගනා ඔසුව සාදික්කා
පාරම්පරික වෛද්‍යවරයෙකු වූ සිරිසේන මහතා නිවෙසේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ අසල්වාසී ගුරුවරයකු වූ ගාමිණී මහතාය. නිවාඩු දිනයක් වූ එදින උදෑසන පැමිණි ඔහු දුටු වෙද මහතා “කොහොමද ඉස්කෝලෙ මහත්තයෝ අද නිවාඩු දවස නේද?” යනුවෙන් අසා ඔහු පිළිගත්තේය.
ඔව්. වෙද මහත්තයෝ. අද සෙනසුරාදා නේ. නිවාඩුයි. මට බෙහෙත් සම්බන්ධ ගැටලු කීපයක් තියෙනවා විසඳගන්න. ඒකයි උදේම ආවේ” යනුවෙන් ගාමිණී ගුරු මහතා පිළිතුරු දුන්නේය.
ඉස්කෝලෙ මහත්තයට මොනවද තියෙන ගැටලු කියන්නකො බලන්න විසඳන්න පුළුවන්ද කියල” යැයි වෙද මහතා පිළිතුරු දුන්නේය.
මේකයි වෙද මහත්තයෝ මම කල්පනා කරල බැලුවෙ. ගෙදරක මුළුතැන්ගෙයි තමයි අපේ බෙහෙත් ඔක්කොම තියෙන්නෙ.
බලන්න අපි කෑමවලට දමන කුළුබඩු ඔක්කොම බේත්නේ යනුවෙන් ගුරුමහතා කීය.
ඔව්. ඉස්කෝලෙ මහත්තයෝ අපේ ෆාමසිය විදියට සලකන්නෙ කුස්සිය.කුස්සියෙ තියෙන සියලුම කුළුබඩු මොනම හරි බෙහෙතකට ගන්නවා. යනුවෙන් වෙදමහතා පිළිතුරු දුන්නේය.
වෙද මහත්තයෝ මට දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. සාදික්කාවල තියෙන ගුණ ගැන තමයි විශේෂයෙන් දැනගන්න ඕන. මොනවද වෙද මහත්තයෝ සාදික්කාවල විශේෂත්වය යනුවෙන් ගුරු මහතා ඇසීය.
‘ඉස්කෝලෙ මහත්තයෝ සාදික්කා කියන්නෙ අතිවිශේෂ කුළුබඩුවක් වගේම ඖෂධයක්. ඒ කියන්නෙ සාදික්කා සහ වසාවාසී කියන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකම ලබා ගන්නෙ එකම ශාකයෙන්.
මේ සාදික්කා වගාව මුලින්ම ඉන්දුනීසියාවෙ බන්දා දූපත්වල තමයි තිබුණෙ. ඊට පස්සෙ ඒ වගාව අත්පත් කරගන්න ලන්දේසීන් සටන් කළා. අවසානයේදි ඉතිරි වුණේ ඒ දූපතේ හිටපු 15000 කින් 1000ක් විතර සෙනඟක්.
ඊට පස්සෙ ක්‍රි.ව.6 වැනි සියවසේ ඉන්දියාවට හඳුන්වල දීල තිබුණු සාදික්කා ශාකය 19 වන සියවසේ ලංකාවෙත් වගා කළා’ යනුවෙන් වෙදමහතා කීය.
ඖෂධයක් වගේම සුවඳවත් කුළුබඩුවක් වෙන සාදික්කා සහ වසාවාසි නියම බුලත් විටටත් යොදාගත් නිසා බොහෝ දෙනා අතර ජනප්‍රියයි. ඒ වගේම කුඩා දරුවන්ට ඇතිවෙන වමන, අජීර්ණ, බඩේ රුජා අතීසාර සහ පණු අමාරුවලදි අත්බේතක් විදියට සාදික්කා මදය දෙහි ඇඹුලින් ගලගාලා පොවනු ලබනවා. ඒ වගේම ආහාර රසවත් කරන්නත්. සුවඳවත් කරන්නත් උදව් වෙනවා. යනුවෙන් වෙදමහතා තවත් කරුණු දැක්වීය.
එතකොට වෙද මහත්තයෝ සාදික්කයි වසාවාසියි අතර වෙනස මොක්කද? යනුවෙන් ගුරු මහතා ප්‍රශ්න කළේය.
ඉස්කොලේ මහත්තය ඇහැවුවෙ හොඳ ප්‍රශ්නයක්. සාදික්කා ගෙඩියේ මදය තමයි සාදික්කා ශාකයේ ප්‍රයෝජනවත්ම කොටස. මේ මදය ඝන කවචයකින් ආවරණය වෙලා තියෙනවා. මේ කවචය රබර් ඇටවලට සමානයි. ඕවලාකාර හැඩයක් ගන්නවා. මේ කවචය කළු හා දුඹුරු පැහැ ගන්නවා. මදය බිත්තරයක හැඩය ගන්නවා. සුදු පාටයි. මිහිරි සුවඳක් තියෙනවා. සාදික්කා ගෙඩියෙන් ලෙල්ල ඉවත් කළ විට වසාවාසි නම් කවච ආවරණය ලැබෙනවා. මේ කවචය තලා ඉවත් කර ගන්නා මදය සාදික්කායි යනුවෙන් ගුරු මහතා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය.එතකොට වෙද මහත්තයො කොයි පළාත්වලද සාදික්කා වැවෙන්නෙ යනුවෙන් නැවත ගාමිණී ගුරු මහතා ඇසීය.
එයට පිළිතුරු දුන් වෙද මහතා
“ ශ්‍රී ලංකාවෙ විශේෂයෙන් මධ්‍ය කඳුකර ප්‍රදේශවල දකින්න පුළුවන්. මහනුවර පේරාදෙණිය වගේ ප්‍රදේශ විශේෂයි.
ඒ වගේම විදේශීය වශයෙන් සුමාත්‍රා, සිංගප්පූරුව සහ ඉන්දියාවේ මලබාර් සහ නීලගිරි පර්වත ප්‍රදේශවල දකින්න පුළුවන් යැයි වෙද මහතා කීය.
ඒ වගේම සාදික්කා ගස් මීටර් 9 -18ත් අතර උසකට වැවෙනවා. සමහර විට ඊට වඩා උස වෙන්නත් පුළුවන්. මේවායේ පත්‍ර සෙ.මි. 6- 10 දක්වා දිගයි. පළලින් සෙ.මි 3 - 4ක් විතර වෙනවා. ඕවලාකාර හැඩයක් ගන්නවා. මේවායෙ ගෙඩි හටගන්නෙ අවුරුදු 8ක් පමණ ගත වුණාමයි. යනුවෙන් වෙද මහතා තවත් කරුණු දක්වා සිටියේය.
ඒ වගේම සාදික්කාවල පොදු සිංහල නාමය සාදික්කා. සංස්කෘත භාෂාවෙන් ජාතීඵල,ජාතීකෝෂමාලතීඵල,සෝමනස්‍යඵල ආදී නම් යෙදෙනවා. හින්දි භාෂාවෙන් ජායාඵල කියනවා. දෙමළ භාෂාවෙන් සාදික්කායි, ජාදික්කායි යන නම් යෙදෙනවා. ඉංග්‍රිසි භාෂාවෙන් Nutmeg නමින් හඳුන්වනවා. සාදික්කාවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Myristica fragrans Hoult නාමයයි.
කුලය වන්නේ MYRISTICACEAE හෙවත් ජාතීඵල කුලයයි. යනුවෙන් වෙද මහතා තවත් විස්තර දැක්වීය.
එතකොට වෙද මහත්තයො මොනවද මේවයෙ බේත්වලට ගන්නෙ යනුවෙන් ඉස්කෝලෙ මහත්මයා නැවත ප්‍රශ්න කළේය.
‘සාදික්කා ගෙඩියේ මදය සහ සාදික්කා ගෙඩියෙ පිටින් ආවරණය වෙලා තියෙන වසාවාසි ආදිය බේත් වලට ගන්නවා’ යැයි පැවසූ වෙද මහතා සාදික්කා රෝගාබාධ රැසකට ගුණදෙන ඔසුවක් බවද පැවසීය. විශේෂයෙන් සාදික්කාවලින් රුධිර පීඩනය පාලනය කිරීම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, සම පෝෂණය කිරීම, ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, හිසකෙස් වර්ධනයට උපකාරී වීම, අක්මාව පෝෂණය කිරීම, ශරීරයේ බර අඩුකිරීමට උදව් වීම, කට ගඳ ගැසීම නැති කිරීම, විෂබීජ නාශනය ආදී ප්‍රයෝජන රාශියක් ලබාදේ. යනුවෙන් වෙද මහතා කරුණු දැක්වීය.
ඒ වගේම සාදික්කා රසයෙන් කටුක, තික්ත සහ කෂාය වන අතර ගුණයෙන් ලඝු, ස්නිග්ධ, සහ තීක්ෂණ යි. වීර්‍යයෙන් උෂ්ණයි.විපාකයෙන් කටුකයි. ඒනිසා සෙම් සහ වාතය සමන ගුණ යුතුයි. ඒ නිසා සෙම් වාත රෝගවලට යොදනු ලබනවා, යනුවෙන් වෙදමහතා තවත් කරුණු දැක්වීය.
ඒ වගේම උදර වේදනාවට
සාදික්කා මද ගලගා බීම ඉතා ගුණයි. පිපාසයට සාදික්කා තැම්බූ වතුර සිසිල් වූ පසු පෙවීම ඉතා හොඳයි.
ශරීරයේ ලප කැලැල් මැකීමට සාදික්කා ගලගා ගෑම හොඳයි. එසේම අතීසාරයේදී සාදික්කා ගලගා නාභියේ ආලේප කරනවා. යනුවෙන් වෙද මහතා සාදික්කා ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් කළා. ඒ වගේම ජාතීඵලාදී චූර්ණය,ජාතීඵලාදී වටී, ජාත්‍යාදී තෛලය ආදිය සාදික්කා අඩංගු සංස්කාරික ඖෂධ යි. ඒ වගේම සාදික්කා ආහාර රසවත් කිරීමට අවශ්‍යම කුළු බඩුවක්. කේක්, පුඩිං ආදිය රසවත් කීරීමටත් සාදික්කා නැතිවම බෑ යනුවෙන් වෙදමහතා සාදික්කා ගැන ඉතා වටිනා තොරතුරු රැසක් ගාමිණී ගුරු මහතාට පෙන්වා දුන්නේය.
වෙද මහත්තයගෙන් මම සාදික්කා ගැන ගොඩක් තොරතුරු දැනගත්තා. ඒකට ඔබතුමාට ගොඩක් ස්තූතියි යනුවෙන් පැවසූ ගාමිණි ගුරුතුමා හැබැයි මේ කාලේ සාදික්කාවලට විශේෂ රෝගයක් හැදිලා තිබෙන නිසා ඵලදාව අඩුවෙලා කියලා කතාවක් යනවා නේද වෙද මහත්තයෝ. යනුවෙන්ද විමසීය. එයට පිළිතුරු දුන් වෙද මහතා ඒකට ඉතින් හොඳම දේ කොහොඹ ඇටවලින් හදන පළිබෝධ නාශක භාවිතය තමයි. යනුවෙන් පැවසීය.
ඒක නම් ඇත්ත අපට මේ තරම් ක්‍රම තියෙද්දී ඒවා ගැන තැකීමක් නෑනෙව කියමින් වෙද නිවසින් තම නිවස බලා පිටත් වීය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන