ගැස්ට්‍රයිටීස් නිසා අපහසුවෙන්ද

අගෝස්තු 18, 2023

ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය කියන්නේ අද කාලේ බෝ නොවන රෝග අතර ඇති ප්‍රධාන රෝගයක්. අද ඒ ගැන මුල ඉඳලා දැනගනිමු.

ගැස්ට්‍රයිටිස් යන්න සරලව පැහැදිලි කලොත්?

ආමාශයේ ගැස්ට්‍රික් යුෂ නමින් ආහාර ජීර්ණයට උදව් වෙන අම්ලයක් ශ්‍රාවය වේ. ගැස්ට්‍රයිටීස් යනු ආමාශයේ මේ ආම්ලික ගතිය වැඩි වීම නිසා ඇති වන සංකූලතාවයකි.

මේ රෝගයේදී ආම්ලික ගතියත් සමඟ උගුරට එන එක, බඩ පුරවා දැමීම, හිස කැක්කුම වගේ අපහසුතා ඇති වේ. හදිසියේම හටගන්නා (Acute Gastritis) සහ කාලයක් තිස්සේ පවතින (Chronic Gastritis) ආකාරයට ගැස්ට්‍රයිටිස් රෝගය කොටස් දෙකකින් සමන්විත වේ.

ගැස්ට්‍රයිටිස් ඇති වීමට හේතු මොනවාද?

මේ සඳහා ප්‍රධානම හේතුව වන්නේ ආහාර රටාවේ තියෙන අක්‍රමවත් බවයි. අපේ ආහාර රටාවේ නිශ්චිත ආහාර වෙලාවල් වලට ආමාශයේ අම්ල නිපදවෙන අතර ඒ වෙලාවට බඩගින්න ඇතිවේ. ඒ වෙලාවට ආමාශයට කෑමක් වැටුණේ නැත්නම් කෑම නැතුවම අම්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නා අතර එයින් ආමාශයේ බිත්තිවලට හානි සිදු වේ.

ඒ වගේම හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව ආමාශ බිත්ති ආසාදනය කිරීම මඟිනුත් ගැස්ට්‍රයිටීස් ඇතිවේ. මීට අමතරව දුම්පානය සහ මත්පැන් භාවිතය, මානසික ආතතිය, සමහර ඖෂධ අධික ලෙස නොසැලකිලිමත්ව පාවිච්චි කිරීම යන කරුණුත් මේ සඳහා හේතු වේ.

ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ මොනවාද?

බඩේ දැවිල්ල, කෑම උගුරට ඒම, බඩ පිපීම, ඇඹුල් රහක් කටේ පැතිරීම, ඔක්කාරය, වමනය, හිසරදය, ආහාරයක් ගත් සැණින් වැසිකිළි යාමේ අවශ්‍යතාවය වගේ අපහසුතා මුලින්ම ඇති වෙන්න පුළුවන.

ඒ වගේම ගැස්ට්‍රයිටිස්වලදි පපුව මැද වේදනාවක් සමඟ උදරයේ ගෑස් ගතියක් ඇති වේ. තෙල් කෑම, මිරිස් කෑම ගත්තම ශරීරයට සුළු හෝ අමාරුවක් දැනෙනවා නම් හේතුව ගැස්ට්‍රයිටිස් විය හැකියි.

රෝගය වළක්වා ගැනීම සහ පාලනය සඳහා කළයුතු දේ

නියමිත වෙලාවට ආහාර වේල් ගැනීම තමයි ගැස්ට්‍රයිටිස්වලින් මිදීමට ගතයුතු හොඳම පිළියම. ආහාරවේල් මඟ හැරෙනවා නම් කිරි වීදුරුවක් හරි වෙලාවට බොන්න. එහෙමත් නැත්තම් යෝගට් එකක් හරි කන්න ඕන. ඒ වෙලාවට තෙල් මිරිස් යෙදූ ආහාර ගැනීම නුසුදුසුයි. විශේෂයෙන්ම උදේ ආහාරය ලෙස හිස් බඩට රෝල්ස් පැටිස් වගේ තෙල් සහිත ආහාර ගත්තොත් ගැස්ට්‍රයිටීස්වලට අතවැනීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

දිනපතා හොඳීන් වතුර බීමත් මේ රෝගයෙන් මිදෙන්න බොහෝ සෙයින් උදව් වේ. වැඩිපුර වතුර බීමෙන් ආමාශයේ ආම්ලික ගතිය අඩු වන නිසා හොඳීන් වතුර බොන්න.

දුම්පානයෙන් සහ මත්වතුරෙන් ඈත් වෙන එක ගැස්ට්‍රයිටීස්වලට පමණක් නොවෙයි කොහොමත් ශරීර සෞඛ්‍යයට හිතකරයි.

ගැස්ට්‍රයිටිස් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද

ආමාශය තුළ අම්ල නිෂ්ක්‍රීය කරවන ඩයිජීන් පෙත්ත තමයි ගැස්ට්‍රයිටීස්වලට කවුරුත් දන්නා පහසුම ප්‍රතිකාරය. ආම්ලිකතාවයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන රසායනික සංයෝග අඩංගු ඖෂධ තමයි මේ සඳහා භාවිත කරන්නේ. නමුත් කුමන බෙහෙත ගන්නත් කලින් වෛද්‍යවරයෙකු ළඟට යාම ඉතාම වැදගත්.

ගැස්ට්‍රයිටීස් රෝගියකුට නොසුදුසු ආහාර මොනවාද

අධික කුළුබඩු යෙදූ ආහාර, තෙල් දමා පිසින ලද ආහාර, අච්චාරු වගේම මද්‍යසාර යෙදූ ආහාරත් ගැස්ට්‍රයිටීස් රෝගීන්ට සුදුසු නැත. විශේෂයෙන්ම අධික ගම්මිරිස්, මිරිස්‍ යෙදූ ආහාර වලින් වැළකීම ඉතා වැදගත්.

පැණි බීම වර්ග, කෙටි කෑම, කෘතිම නූඩ්ල්ස් වර්ග, ටින් කරන ලද ආහාර වැනි විවිධ රසකාරක යොදා සකසන ලද ක්ෂණික හා කෘතිම ආහාර පාන වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කිරීමත් නොසුදුසුය. තේ, කෝපි පානය හැකිතරම් අඩු කරන්න.

ගැස්ට්‍රයිටිස් මර්දනය කරන්න ගන්න පුළුවන් ආහාර මොනවාද ?

තැඹිලි, කුරුම්බා වගේම අහක දාන පොල් වතුර ටිකත් ගැස්ට්‍රයිටීස්වලට හරිම ගුණයි. ඒ වගේම කවුපි, මුංඇට වගේ ධාන්‍ය වර්ග, පළා වර්ග, බතල, වට්ටක්කා, පිපිඤ්ඤ, ගෝවා නිවිති වැනි එළවලුද කොමඩු, අලිගැටපේර වැනි පළතුරුද නිරන්තරගෙන් ආහාරයට ගන්නවානම් ආමාශයට බොහෝ හිතකරයි.ඒ වගේම කුඩා මාළු, එළකිරි පුළුවන් තරම් ආහාරයට ගන්න. සැමන් මාළු, ඔලිව් තෙල් වැනි හොඳ මේදයසහිත ආහාරත් සුදුසු වේ.

ගැස්ට්‍රයිටීස්වලට මෙන්ම ප්‍රතිශක්තියටත් ගුණදායක ප්‍රෝබයෝටික් කියන බැක්ටීරියාව අඩංගු ආහාරත් මේ රෝගය සඳහා ගුණදායක වේ. පහසුවෙන්ම සපයාගත හැකි ප්‍රෝබයෝටික් සහිත ආහාරයක් වන යෝගට් ඉතාම හොඳයි. ඒ විතරක් නෙවෙයි ආමාශයේ ආම්ලික ගතිය අඩු කරවන ඖෂධ රැසක් ස්වාභාවිකවත් තියනවා. කෝමාරිකා පානය ගැස්ට්‍රයිටීස්වලට දිව්‍ය ඖෂධයක් වගේ. එමඟින් ආමාශය විතරක් නෙවේ මුළු ශරීරයම සිසිල් කරනු ලබයි.

නෙල්ලි යුෂ, කැහිපිත්තන් කොළ ඉස්ම, පොරි කැඳ, සව් කැඳ, කසකසා ඇට රෑට වතුරට දමා උදෑසන පානය කිරීමත් ගැස්ට්‍රයිටීස් සඳහා භාවිත කළ හැකි පහසු ස්වාභාවික ප්‍රතිකාර වේ.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.