ලෙඩ රෝගවලින් ආරක්ෂා වන්නේ කෙසේද ?

අගෝස්තු 4, 2023

අතීතයේ රෝග මර්දනය කළ ක්‍රම ගැන අවධානය යොමු කළ විට අපේ මුතුන්මිත්තන් පරිසරයෙන් ලබාගන්නා දේ යොදාගෙන රෝග මර්දනය සඳහා ස්වාභාවික විෂ බීජ නාශක නිපදවාගන්නා ලද බව පැහැදිලි වේ.

මොනවද මේ ස්වාභාවික විෂබීජ නාශක?

ස්වාභාවිකවම ලැබෙන පිරිසිදු වාතාශ්‍රය හා හිරු එළිය රෝග මර්දනය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරනු ලබයි. ඒ වගේම තමයි ඖෂධීය ගස්වල කොළ පොතු මුල් ආදියත් විෂබීජ නාශක විදිහට භාවිතා කරනු ලබයි.

ඒ වගේ හදාගන්න පුළුවන් විෂබීජ නාශක මොනවාද?

අමු කහ අඹරා ජලයේ දියකර කහ දියර සාදා බෝවන රෝග වැලඳුණු නිවෙස්වල ඉසිනු ලැබේ. ඒ වගේම කොහොඹ කොළ, අමුකහ තැම්බූ වතුරත් ඒ සඳහා යොදාගන්න පුළුවන්.

කහ ආහාර පිසීම සඳහා යොදාගන්නේත් එහි ඇති විෂබීජ නැසීමේ සුවිශේෂී ගුණය නිසාමය.

ඒ වගේම කොහොඹ, මදුරුතලා, කරාබුනැටි, සහ පැඟිරි කුලයේ කොළ වියළා දුම්මල සමඟ නිවසේ දුම් ඇල්ලීමත් ස්වාභාවිකව විෂබීජහරණ ක්‍රමයකි.

රෝග වලින් ආරක්ෂා වීමට ගත හැකි වෙනත් පිළියම් මොනවාද?

දවස පුරාම වසා තිබෙන කාමර වල පුස් ගඳක් සේම තෙත් ස්වභාවයක් ද ඇතිවේ. ඒ වගේම වාතාශ්‍රය අඩු කාමර වල ඉන්න අයට ශ්වසන රෝග වැලඳීමේ වැඩි අවදානමක් ද පවතින නිසා මිනිසුන් වාසය කරන ස්ථානවල ජනෙල් දොරවල් ඇර පිරිසිදු වාතය ඇතුළට එන්න සැලැස්විය යුතුයි.

පිරිසිදු වාතය ගොඩනැගිල්ලක් තුළට සෘජුව එන්න සැලැස්වීමෙන් සමහර ලෙඩ රෝග පැතිරීම වළක්වා ගතහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත් කරුණක්.

ඒ වගේම හිරුඑළිය සෘජුව වාසස්ථාන තුළට වැටෙන්න ඉඩ හැරිය යුතුයි. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇඳුම් අව්වේ දමා හොඳීන් වේලගන්න එක සෞඛ්‍යයට ඉතාමත් හිතකර වන අතර හිරු එළියට සෘජුවම විවෘත වීම මඟින් බැක්ටීරියා විනාශ වන බව පරීක්ෂණ මඟින් සොයාගෙන ඇත. නමුත් සමේ පිළිකා ඇති කිරීමටද තද හිරු කිරණ හේතු වන නිසා ඉන් ආරක්ෂා වීමටද සැලකිලිමත් විය යුතුය.

ඉතින්, ගේ ඇතුළටම වෙලා ඉන්නේ නැතුව උදෑසනක එළියට ගිහින් හිරු එළියේ සහ පිරිසිදු වාතාශ්‍රයක් තිබෙන පරිසරයක ටික වෙලාවක් ගත කිරීමෙන් ගතටත් සිතටත් සහනයක් දැනෙයි.

ලෙඩ රෝගවලින් මිදෙන්න තව මොනවද කරන්න ඕන?

මේ සඳහා වැදගත්ම කරුණක් තමයි ශාරීරික පිරිසිදුකම. විෂබීජ පැතිරීම වළක්වා ගැනීමට තිබෙන හොඳම හා පහසුම ක්‍රමයක් වන්නේ අත් සේදීමයි. වැඩි වශයෙන්ම විෂබීජ පැතිරීමට හේතුව අත් නිසිලෙස පිරිසිදු නොකිරීම බව සොයාගෙන ඇත. ඒ නිසා ආහාර පිසීමට පෙර සහ කෑම ගැනීමට පෙර අත් සේදීම ඉතා වැදගත් ය.

ඒ වගේම සතුන් ඇල්ලීමෙන්, වැසිකිළි යෑමෙන් සහ අත් අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවකට පසුව අත් සේදිය යුතුය. අත් පිරිසිදු කිරීමට විවිධ ක්‍රම තිබුණත් සාර්ථකම ක්‍රමය වන්නේ සබන් ගා තත්පර විස්සක් අත් සේදීමයි. කුඩා කාලයේ සිටම අත් සේදීමට දරුවන්ව පුහුණු කිරීමෙන් ඔවුන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙයි.

ඒ වගේම දිනපතා නාන්න. එමෙන්ම නිතර පාවිච්චි කරන ඇඳුම් ඇඳ ඇතිරිලි සහ තුවා වැනි දේවල් සෝදා පිරිසිදුව තබාගන්න. නිවෙසේ පිරිසුදුකම පවත්වා ගැනීම සඳහා ඔබේ නිවෙස හා වටපිටාව මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබේදැයි පරීක්ෂා කර බලන්න. ආහාරපාන නිතරම වසා තබන්න.

ඒ වගේම නිවෙසේ අපද්‍රව්‍ය නිසියාකාරව ඉවත් කර මීයන් හා කෘමීන් බෝවන අවස්ථා අවම කරන්න.

මළපහවලටත් ලෙඩ රෝග පතුරවන මැස්සන් සහ වෙනත් සතුන් වහන බැවින් කුඩා දරුවන්ගේ මළ වැසිකිළියක් තුළටම නිසිපරිදි බැහැර කිරීමට අමතක කරන්න එපා.

උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇති කෙණෙකු භාවිත කරන දේවල් වෙන්කර තැබීමෙන් අන් අයට එය බෝ වීම වළක්වාගත හැකියි. ඊට අමතරව මදුරුදැල් භාවිත කිරීමෙන් රෝග පතුරුවන මදුරුවන්ගෙන් හා වෙනත් කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකියි.

පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම මඟින් රෝග අවදානම අවම කරගත හැකි වන අතර ඉතා සරල දේවල් මඟින් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත් කාලය හා මුදල් නාස්තිය වළක්වා ගැනීමටත් හැකි වේ.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.