රහතන් වහන්සේලාටත් රැකවරණය දුන් අභිසම්භිදාන යන්ත්‍රය

ජූලි 14, 2023

අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි.

යන්ත්‍ර රත්නය, යන්ත්‍ර ශතකය යන පොත්වල බොහෝ යන්ත්‍ර සම්බන්ධව විස්තරාත්මකව සඳහන් වනවා. එහෙත් නවනාථය ගැන නම් ඒ පොතේ කිසිවක් සඳහන් නැහැ. ඒ වගේම මහා නවනාථය කියන පොතේ එම යන්ත්‍රයම හැරෙන්න වෙනත් කිසිම යන්ත්‍රයක් ගැන සඳහන් වී නැහැ. පොත් කීපයක්ම පරිශීලනය කළ නමුදු හේතුව මෙතෙක් හමු වුණේ නම් නැහැ.

යන්ත්‍ර ගැන සාකච්ඡා කරන කොට එක එක යන්ත්‍ර වර්ග ඇති බව දන්නවා. එනම් යක්ෂ දෝෂ හරණ, බුද්ධ යන්ත්‍ර, රාශි යන්ත්‍ර, රෝග හරණ යන්ත්‍ර, වශීකරණ යන්ත්‍ර මිශ්‍ර යන්ත්‍ර වශයෙන්. මෙවැනි යන්ත්‍ර කොච්චර තිබුණත් මේ කිසිවකටත් වඩා බලගතු එකම යන්ත්‍රය ගැන තමයි අද ලියන්නේ. මේ ගැන කරුණු ලබා දුන් සංඝයා වහන්සේලාට ස්තුති කරනවා. බුද්ධ යන්ත්‍ර කියා විස්තර කළාට මොකද ඒකේ ඇතුළේ බහාලා තිබෙන තඹ තහඩුවේ ලියල තිබෙන්නෙ බුද්ධ රත්නයක්. අංගුලිමාල යන්ත්‍රය, සීවලි යන්ත්‍රය, බුද්ධ යන්ත්‍ර කොටසට අඩංගු වුණාට ඒවා එක් එක් අඩුපාඩුකම්වලට පැලැඳුවට සියලුම දේට එක් යන්ත්‍රයක් බුද්ධ යන්ත්‍ර කොටසේ නැහැ. තිබෙන එකම යන්ත්‍රය තමයි අභිසම්භිදානය. මේ යන්ත්‍රය කෙනෙක් මරණින් පවා බේරාගත හැකි බල පරාක්‍රමයක් ඇති යන්ත්‍රයක්. ත්‍රිවිධ රත්නය ප්‍රධාන කොට බුදු පසේ බුදු ඇතුළු රහතුන් වහන්සේලා හය දෙනකුගේ බල මහිමය ඇතුළත් කර තිබෙනවා. එකල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල පැවතුණ වසංගත රෝග, වන සතුන්ගෙන් ඇති වූ පීඩාවලට අමතරව ජීවත් වීමේ දුෂ්කරතා පීඩා ඇති වුණා. කලට වැසි නොමැති වූ නිසා ආහාර වර්ග පලතුරු වර්ග හිඟ වුණා. සතා සිවුපාවා නපුරු වුණා. කෑම අහේනිය නිසා පොඩි සතාව ලොකු සතා ගොදුර කර ගත්තා.

ජල උල්පත් ක්‍රමයෙන් සිඳෙන්න වුණා. වෙනත් කිරීමට කිසිත් නැති වූ අසරණ ධ්‍යානලාභීන්, ඵල ලාභීන් කෙරිය යුතු දේ ගැන කතිකා කර ගත්තා. බුදු ගුණ සිහි කිරීම මිස වෙනත් කිසිදු සහනයක් නැති බව අවසානයේ අවබෝධ වුණා. ඕනෑම කෙනකුට කිසියම් අර්ථ ශූන්‍ය කරදර පැමිණෙන විට කිසියම් හෝ යන්ත්‍රයක් පැලැඳීම අද මෙන් පුරාණයේ ද පැවතුණා. බුදුගුණ යන්ත්‍රයක් පැලැඳීමට කවුරුත් එකඟ වුණා. සීවලි යන්ත්‍රය පැලැඳීමෙන් ආහාර ප්‍රශ්න විසඳිය හැකි බවත්, අංගුලි මාල යන්ත්‍රය පැලැඳීමෙන් වෙනත් පිළිසරණ ලැබිය හැකි නමුත් මේ සියලු රහතුන්ගේ බල ඇතුළත් අභිසම්භිදානය මේ සියලුම උපද්‍රව හරණය කරන බවත් සියලුම දෙනා ඒකමතිකව පිළිගත්තා.

අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණක්. හරණ සරණ වීමේ දෙපාර්ශ්වයටම එකසේ ගුණදෙන යන්ත්‍රයකි. මේ යන්ත්‍රය පැලැඳූ එකල සිටි රහතුන් පවා රෝග පීඩා, සත්ව පීඩා, සතුන්ගෙන් ඇතිවන පීඩා ආදී කිසිවක් නොලද බව පැහැදිලිව පොත පතේ සඳහන් වේ. මේ යන්ත්‍රය ගැබ් 7 කින් යුක්තය. ඇවැසි වන්නෙ ගැබ් 7 ක් තුළ යන්ත්‍ර ගාථා 9ක් ඇතුළත් කිරීමයි. අකුරකට අකුරක් නොගෑවෙන සේ ඉතා පැහැදිලිව ලියා රත්තරන් ආලේප කර වාර 1800කින් අවසාන කර ආතුරයාගේ ශරීර ස්පර්ශයට තැබීමත් මේ සියලුම දේ සීහුම් නැකතට විය යුතු බවත් එය එසේ කිරීම යහපත් ඡ්‍යොතිර්වේදියාගේ සිරිතයි.

මෙම යන්ත්‍රයේ පුදුමාකාර ගුණදෙන අවස්ථා නැතුවම නොවේ. මරණාසන්න රෝගියකුගේ ශරීර ස්පර්ශයෙන් මේ යන්ත්‍රය ඉවත් කරන තෙක් හුස්ම පහව නොගොස් තිබීම එක් කරුණකි. එවැනි අවස්ථාවලදී මෙම යන්ත්‍රය සුරයක නොදමා සම්පූර්ණ තහඩුව පිට දිගට සිටින සේ ආවරණය කර පැලැඳිය යුතු ය. එවැනි බලගතු පුදුමාකාර ගුණදෙන මේ අභිසම්භිදානය කිසිදු භේදවලින් තොර එකසේ ගුණදෙන යන්ත්‍රයකි. සත්‍යයෙන්ම ඖෂධයක් වැන්නකි.

සුපුරුදු යන්ත්‍ර මෙන් මෙයද වාර 1800ක් මැතිරිය යුතුය. මෙම යන්ත්‍රයේ වෙනස වනුයේ ජප මන්ත්‍රය ඇතුළත ගැබ්වලට පිරවීමයි. සරල දිෂ්ටි මන්ත්‍ර පාවිච්චි කිරීම උචිතය. ප්‍රජාවට සුපුරුදු අයුරින් පලතුරු, කැවිලිවලට අමතරව සුවඳ දුම් රත්හඳුන්, සුදු හඳුන්, අඟිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, ජටාමාංශ තැබිය යුතු අතර දුම් දීමට හඳුන් ලාටු පමණක්ම භාවිත කළ යුතු බවත් දත යුතුය. හඳුන් ලාටු නොමැති අවස්ථාවකදී පමණක් කවඩි සාම්බ්‍රානි හෝ ප්‍රසාම්බ්‍රානි පාවිච්චි කළ හැකිය. ආතුරයාගේ නම ඇතුළත් කිරීමේ දී යන්ත්‍ර ක්‍රමය අනුගමනය කර නියමිත ගැබේ ජප මන්ත්‍රය තුළම තැබිය යුතුය. අභිසම්භිදානයේ පමණක් මේ ගුරු මුෂ්ටිය ඇතුළත් වී ඇති බව පෙනේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉතා ප්‍රසිද්ධ මේ යන්ත්‍රය රාජ රාජ අමාත්‍යයයන් පවා පැලැඳීමට පුරුදු වී ඇති යන්ත්‍රයකි. බුදුන් සමයේ බුද්ධ වාසස්ථානය හැරදමා පිටව ගිය මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශරීර ස්පර්ශයේ තිබූ එකම යන්ත්‍රය මේ අභිසම්භිදානයයි. බුදුන් දවස සාමාන්‍ය ජනතාව අතර නම් මේ යන්ත්‍රය වැඩිපුර පාවිච්චි නොකිරීමට හේතුව බොහෝ පොත්පත්වල සඳහන් වී නොමැත. සමහර විට එය යන්ත්‍රය සැකැසීමට ඇති අපහසුතාවය හෝ මූල්‍ය වටිනාකම විය හැකිය. විශේෂයෙන් බමුණන් අතර මෙය ඉතා ප්‍රසිද්ධ වී තිබුණි.

බුදුරදුන් වැඩවසන සමයේදී අප්‍රසිද්ධියේ වැඩ විසූ එකම රහතන් වහන්සේ මහා කාශ්‍යප රහතුන් බවත් එය බුදුරදුන්ගේ උපදෙස් මත සිදු වූ බවත් උන්වහන්සේ බුදු වාසස්ථානයෙන් පිටව ගොස් නැවත වැඩියේ බුද්ධ පරිනිර්වාණයට බවත් ගිනි මන්ත්‍ර 3ක් නොහොත් ගිනි ගාථා දේශනා කර බුදුරදුන්ගේ පරිනිර්වාණ මංචකයට ගිනි ගැන්වූ බවත් මේ ගමනේදී පැලැඳි සිටි අභිසම්භිදානය තම ශරීරයෙන් ඉවත්කර සුදුසු ස්ථානයක තබා පැමිණි බවත් වැඩි විස්තර සහිත අභිසම්භිදානයේ සඳහන් වේ. අදත් එම ගිනි මන්ත්‍ර පුළුන් කැබැල්ලකට මතුරා සූර්යාලෝකයේ තැබූ විට ගිනි ගන්නා බවද සැලකිය යුතු කරුණකි.

බුද්ධ චිතකය ගිනි අවුලා ක්ෂණයෙන් එතැනින් ඉවත් වූ උන්වහන්සේ නැවත අභිසම්භිදාන යන්ත්‍රය පැලැඳි බව සඳහන් වුවත් එය එසේ කළේ හෝ සිදු වූයේ කුමන හේතුවක් සඳහා ද යන්න පැහැදිලි නොවේ.

අභිසම්භිදානය පැලැඳි ඕනෑම කෙනකුට ඉහත කී කිසිදු උපද්‍රවයක් සිදු නොවීමටත් දියුණුව කීර්තිය ලබා දීමට මෙම යන්ත්‍රය වගබලා ගන්නා බවත් සියලුම කරදර හරණය කරන බවත් ඉතා ප්‍රකට කරුණකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.