වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කාලගුණික වෙනස්වීම් මත පැතිර යන වයිරස් රෝග
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා පමුණුවන රෝගාබාධ රැසක්ම පැතිරයාමේ තත්ත්වයක් පවතී. බොහෝවිට වයිරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම නිසා ශ්වසන රෝග උත්සන්නවීමේ තත්ත්වයක්ද ඇති වේ. මේ අතර ඉන්ෆ්ලුඑන්සා වයිරසයෙන් හටගන්නා වූ රෝග තත්ත්වයන්ද බොහෝ වේ. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, කැස්ස, ඇඟපත වේදනාව, උගුරේ වේදනාව, හන්දිපත් වේදනාව, කිවිසුම්යාම ආදි රෝගාබාධයන්ද බෙහෙවින් පවතී.
වයිරස් රෝගවල බලපෑමෙන් හටගන්නා වූ සමහර රෝග දින තුන, හතරක කාලයකට පමණක් සීමාවී සුවවන අතර සමහර රෝගාබාධ සතියක් දෙකක් පමණ පැවැතීමේ තත්වයක්ද පවතී. එබැවින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාරවලට යොමුවීම වඩාත්ම සුදුසුය.
හෙම්බිරිස්සාව වැළදීමට හේතු වන්නේ වයිරස නම් ක්ෂුද්‍රජීව විශේෂයක් බව වෛද්‍ය විද්‍යානුකූලව පෙන්වා දී ඇත. ඉතා කුඩා මෙම වයිරසවල ප්‍රමාණය බොහෝ බවත් වරක් හෙම්බිරිස්සාව වැළදුණූ අයකුට දෙවන වතාවටත් හෙම්බිරිස්සාව වැළදෙන්නේ වෙනත් වයිරසයකින් බවත් කියයි. මෙහිදී බෙහෙවින් පීඩාවට පත්වන්නේ උගුර හා නාසයයි. තවද හෙම්බිරිස්සා වැළදුණු රෝගයකුට නාසය හිරවීම, තල්ල උගුර රිදීම, සොටු දියර ගැලීම, තෙහෙට්ටු ගතිය, කිවිසුම්යාම හා උණ හිසරදය ද ඇතිවිය හැකිය.
ශ්වසන රෝග ඇතිවීමට බලපෑ හැකි හේතුන් ද බොහෝය. වයිරසයක් හෝ බැක්ටීරියාවක් ශ්වාසනාල පද්ධතියට ඇතුළුවීම රෝගී තැනැත්තකු ගේ ශ්‍රාවයන් නිරෝගී පුද්ගලයකුගේ ශරීරගත වීම, විෂ වායුවක් ශරීරගත වීම මේ ආදි වශයෙන් ශ්වසන රෝග හටගැනීමේදී වියළීගිය කැස්ස හෝ බුරුල් කැස්ස, හතිය නැතහොත් පපුවේ මහන්සිය කෑමට පි‍්‍රයක් නොදැක්වීම, බඩේ වේදනාව මෙන්ම හිසේ කැක්කුම ද ඇතිවීම ද වේ. කාලීන උණ රෝගයක් වන ඉන්ෆ්ලුවන්සා වයිරසය ඒ,බී සහ සී යනුවෙන් කාණ්ඩ තුනකින් පවතී. ඒ අතරින් ඉන්ෆ්ලුවන්සා ඒ,බී වෛරස් කාණ්ඩ මඟින් වැළඳේ. මෙහි රෝග ලක්ෂණ වන්නේ, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුදියර ගැලීම, කැස්ස, උණ , හිසරදය, හුස්මගැනීමේ අපහසුව, වේගය වැඩිවීම, ඇඟපත වේදනාව, බුරුලට මළ පහ පිටවීම ආදී ලක්ෂණ වේ.
වයස අවුරුදු දෙකට අඩු දරුවන් අවුරුදු හැටපහට වැඩි වැඩිහිටියන් ගර්භිණීමාතාවන් සහ දියවැඩියාව රුධිර පීඩනය, ශ්වසන ආබාධ, වකුගඩු ආබාධ සහ ප්‍රතිශක්තිය අඩු රෝගවලින් පෙළෙන අය ප්‍රවේසම් විය යුතුය. ඉන්ෆ්ලුඑන්සා රෝගය ඉක්මනින්ම පැතිරයාමක් සිදුවන බැවින් මුඛ ආවරණ පැළදසිටීමත් කඩිනම්ව ප්‍රතිකාර ගැනීමත් සිදුකළ යුතුය. කැස්ස බොහෝවිට ඇතිවන්නේ වෙනත් රෝග ලක්ෂණයක් පෙන්වීම සඳහාය. වයිරස් ආසාදනයකින් පසු ශ්වසන පද්ධතියට වයිරස කරන බලපෑම් නිසාත් කැස්ස දීර්ඝකාලිනව පැවතිය හැකිය. සෙම, කැස්ස නිසා මුඛය තුළ සෙම බැදුණාසේ දැනේ. ඉන් හිසරදය හටගනී.
වයිරසයක් හෝ බැක්ටීරියාවක් ශ්වාසනාල පද්ධතියට ඇතුළුවීම දූවිලි ආඝ්‍රාණයවීම, රෝගී පුද්ගලයකුගේ ශ්‍රාවයන් නිරෝගී පුද්ගලයකුගේ ශරීරගත වීම ශරීරයට ප්‍රතිකාර රසායනයක් හෝ විෂවායුවක් ඇතුළුවීම ආදි කරුණුද ශ්වසන රෝගී තත්ත්වයක් ඇතිවීමට හේතුවේ. නිව්මෝනියාව හඳුන්වනු ලබන්නේ සාමාන්‍යයෙන් පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයක් ලෙසයි. මෙම ආසාදනය ඇතිව යන්නේ වෙයිරස, බැක්ටීරියා සහ පරපෝෂිතයන් ආදි විවිධ ක්ෂ්ද්‍ර ජීවින් මඟිනි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය හටගන්නේ නාසය, උගුර වැනි ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාදනයකිනි. මෙවන් රෝගී තත්වයකදී බෙහෙවින් උගුර වණවීමෙන් හා සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමෙන් දින දෙක තුනකින් පසු නිව්මෝනියාව වැළදීමේ රෝග ලක්ෂණ මතුවිය හැකිය.
නිව්මෝනියාවට ගොඳුරුවන දරුවන්ගේ රෝගී තත්ත්වය හදිසියේ අධික ලෙස උණ ගැනීම අසාමාන්‍ය ලෙස වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සමඟ දරුවා රෝගී තත්ත්වයට පත්වේ. වයිරසයක් මඟින් නිව්මෝනියාව වැළදුණුවිට රෝග ලක්ෂණ පහළවන්නේ ක්‍රම ක්‍රමයෙනි. බැක්ටීරියාවක් මඟින් හටගන්නා නිව්මෝනියාව තරම් දරුණු තත්ත්වයක් ඇති නොවේ. වයිරසයක් මඟින් වැළදුණු නිව්මෝනියාවේද පපුවේ මහන්සිය වැඩිවේ. මෙහිදී ඇතිවන්නේ පෙණහැල්ල ආසාදනයට ලක් වීමයි. එසේ සිදුවන්නේ පෙණහැල්ලට විෂබීජ ඇතුළුවීමෙනි.
නිව්මෝනියාව හඳුනා ගැනීමෙන් මුල් අවස්ථාවේදීම කඩිනම්ව ප්‍රතිකාර ලබා දිය යුතුය. එවිට කල් ඉකුත්වීමට පෙර රෝගය සුවකර ගත හැකිවේ.
බත්තරමුල්ල පැල්ලවත්ත
රාජපුර වෙද පරපුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර