ජ්‍යෝතිෂයේදී නිවැරැදිව ගුණාගුණ කීම හරියටම දැන ගනිමු

දෙසැම්බර් 9, 2022

ඡ්‍යෝතිෂය, වෛද්‍ය විද්‍යාව ලෝකයේ පැරණිම ශිල්ප ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙනවා. මේ ශාස්ත්‍රවල ඉගෙනුම නිමක් නැහැ. මෙවැනි ශාස්ත්‍ර සාමාන්‍යයෙන් ආගම ධර්මය පවතින්නත් කලින් පැවතුණු බව පොතපත ඇසුරෙන් පෙනී යනවා. ඒ වගේම සියුම් වෙනස්වීම්ද සිදුවනවා. ඡ්‍යෝතිෂය මුළුමනින්ම චංචල ග්‍රහ බලපෑම උඩ ප්‍රතිවිපාක දෙනවා.

 

ග්‍රහ බලපෑම කිසියම් අයුරකින් වෙනස් වනවා නම් ඡ්‍යෝතිෂයේ ප්‍රතිඵල ඊට අනුරූපිව වෙනස් වනවා. විශේෂයෙන් ඵලවිපාක දීම කාලීනව වෙනස් වනවා. පුංචිම උදාහරණයක් තමයි දවසේ සූර්ය උදාව ඉතාම ශීඝ්‍රව වෙනස් වන සූර්ය උදා කාලයට අනුව දවසේ බොහෝ දේ ඊට අනුරූපිව වෙනස් වනවා. ලංකාවේ එය ඉතා ස්වල්ප වශයෙන් වුවත් බටහිර රටවල මහත් සේ වෙනස් වෙනවා.

විශේෂයෙන් ඡ්‍යෝතිෂයේ මූලික දත්ත ඒකාකාරි වුවද පල විපාක දෙන ආකරය ඒකාකාරි නොවේ. එම නිසා ඡ්‍යෝතිෂයේ අදාළ දත්ත කරුණු නිවැරැදිව තේරුම් ගත යුතු වනවා. මෙම කරුණු “සටහන්” ලෙසින් හා “ශ්ලෝක” වශයෙන් සඳහන් වනවා. සටහන්වලට වඩා ශ්ලෝකවල නිවැරදිතාවයක් තිබෙන බව ප්‍රායෝගිකව ඡ්‍යෝතිෂය කරන අය දන්නවා. ඡ්‍යොතිෂයේදී බලාපොරොත්තුවන මූලික කරුණ වන්නෙ නිවැරදිව ගුණාගුණ කීමයි. ජන්ම පත්‍රයක් රැගෙන ඡ්‍යෝතිර්වේදියා ළඟට එන ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වන්නේද එයමයි. ඔහු ඡ්‍යෝතිර්වේදියා වෙත එන්නෙ සම්පූර්ණයෙන් ඔහු කෙරෙහි විශ්වාසය තබාගෙන නිසා එය උපරිමව තැබීම සියලුම ඡ්‍යෝතිර්වේදින්ගේ යුතුකම හා වගකීම වනවා. සාමාන්‍යයෙන් ඡ්‍යොතිර්වේදයේ ගුණාගුණ කීම නෙල්ලි ගෙඩියක රසය බැලීමේදී සිදුවන රසයේ වෙනස්වීම ලෙසින් බව සමහරු පවසනවා. එම නිසා “මේ වෙනස්වීම ගැන තේරුම් ගත යුතුවෙනවා. විශේෂයෙන් කිවයුත්තක් තිබෙනවා. අද නවීන පරිගණකය සංකීර්ණ ප්‍රයෝජන රැසක් ඉටුකරගත හැකි මුත් පූර්ව නිවැරැදි කිසිදු පලාපලක් නැතිනම් නිවැරදි ගුණාගුණයක් ලබාගත නොහැකි බව වගකීමෙන් සඳහන් කරනවා.

 

උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම

ඡ්‍යෝතිෂ පලාපල නැත්නම් ගුණාගුණ කීමේදී මුලින්ම උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම පරීක්ෂා කරන්න ඕනෑ. සම්පූර්ණ ජීවිත කාලය තුළ වන සිදුවීම් සිදුවන කාලය රහිතව පවසනවා. සිදුවන කාලය දැන ගැනීමට “තත්කාල කේන්දරය හදා ග්‍රහයින්ගේ වෙනස් වූ රටා අධ්‍යයන කර පලාපල කියන්න ඕනෑ. මුලසිට එනම් උත්පත්තියේ සිට විස්තර කරනවා නම් මූලිකව පරීක්ෂා කළ යුතු රාශිය 8, නැත්නම් අෂ්ටමය, එතැනින් තමයි මූලිකව ආයුෂ ගැන කියන්නෙ. එහෙනම් එතැන අයිති කාටද කවුද ඉන්නෙ? ඉන්න තත්වය කොහොමද මේ ඔක්කොම පරික්ෂා කරල කිසියම් දැනුමක් ලබාගෙන 6,8,12 රාශින්වල තත්වය සමඟ සසඳන්න ඕනෑ. අනික තමයි දුෂ්ට ස්ථානය කියන්නෙ 6 වැනි රාශියම විතරක් නොවේ. මේ ස්ථානවල ශරීරයේ රුධිරයට අධිපතියා අඟහරුවා හතුරු හෝ දුර්වල නම් ශරීරයේ ලේ සම්බන්ධව ප්‍රශ්න ඇති කරල ආයුෂ අල්ප කරනවා.

 

කේන්දරයක සුබස්ථානය

කේන්දරයක දෙවැනි රාශිය ධනස්ථානය හා 7 වැන්න විවාහකස්ථානය වෙන් වෙන්ව ගත්තාම සුබ ස්ථාන වනවා. හැබැයි එකිනෙක එකට ගත්තාම ප්‍රතිඵලය මරණය වන්නත් බැරි නැහැ. උත්පත්ති කේන්දරයේ ග්‍රහයන්ගේ ප්‍රතිචාර හැම දිනටම උචිත නැහැ. එනිසා තත්කාලය බලන්නම ඕනෑ. මේ සටහනින් පැවසෙන්නෙ සරල මූලික දේ වන නිසා ඡ්‍යෝතිෂ්‍ය ගැන තව ගැඹුරින් අධ්‍යයන කරන්න ඕනෑ.

 

බාලාරිෂ්ඨ යෝග

ආයුෂ ගැන මුලින්ම ලිව්වේ එය වැදගත් නිසා. ආයුෂ ගැන කිසියම් මතයක් ගත්තට පස්සේ කුඩා කල සිටම එන “බාලාරිෂ්ඨ” යෝග ගැනත් බලන්න ඕනෑ. ඉන් එකක් තමයි කේන්දරයේ සෙනසුරු, රාහු, අඟහරුවා, චන්ද්‍රයා එකට විවාහකස්ථානයේ හෝ ධර්මස්ථානයේ හතුරුව සිටිත් නම් ඒක බාලාරිෂ්ට යෝගයක්. මේ විදියට තව තව යෝග ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ.

දැන් අපි දරුවකුගේ ඉගෙනීමේ කාලය දෙසට යමු. එනම් ශිල්ප ස්ථානය පරීක්ෂා කරන්න ඕනෑ. මූලික අධ්‍යාපනය 5 වැනි රාශියෙන් හා උසස් අධ්‍යාපනය 11 වැනි රාශියෙන් පරීක්ෂා කරන්න ඕනෑ. ඉගෙනීමට ඒ කිව්වේ අධ්‍යාපනයට මූලික වන ග්‍රහයන් අතරින් බුධ හා ගුරු මූලික වනවා. බුධ පෙර භවයෙන් ගෙන ආ බුද්ධියත්, ගුරු නැත්නම් සුරගුරු බ්‍රහස්පති උසස් අධ්‍යාපනයටත් උපකාර කරනවා. හැම එකකටම ඒ ඒ රාශිය අයිති කාටද කියලා බලන්නම ඕනෑ. සාමාන්‍යයෙන් පස්වැන්න අධිපති බුධ නම් ගෝචරය මිථුන නම් වෙනත් ග්‍රහයෝ එතැන නැත්නම් මූලික අධ්‍යාපනයෙන් රිසි සේ ජයගන්නවාමයි. ඒ වගේම 11 වැන්නෙ බ්‍රහස්පතිට අයිතිය ඇතිව ගෝචරය ධනු වුණා නම් විශ්වවිද්‍යාලයට ගියා වගේ තමයි. මේ වෙලාවේ එකක් කියන්න ඕනෑ. 11 වැන්නෙ රවි ග්‍රහයා හතුරු වෙලා ගෝචරය තිබුණොත් අංගුලිමාලට සිදුවූදේ වේවි.

විවාහය

මීළඟට විවාහය ගැන බලන්න අවශ්‍ය වනවා. එක් අයෙක් දෙදෙනෙක් හැරෙන්න අනිත් අය කවදා හරි අධ්‍යාපනය අත්හරිනවා නැත්නම් ඉවර කරනවනේ. විවාහය එහෙම නැහැ. ජන්මියා මැරෙන කන් අත්නොහරින එකක්. මෙතැනින් පරම්පරාව ඉදිරියට ගෙන යනවා. එහෙනම් සත් භාර්යාවන්ගෙන් මාතු භාර්යාවක්ම හොයාගත්තොත් දිනුම්. මේ සම්බන්ධව ප්‍රකාශ කළ අයවලුන්ටත් මේක ප්‍රායෝගිකව හොයාගන්න බැරි වුණා. බොහෝ දුරට තමා පෙරභවයන්වල කළ කුසල කර්ම උඩ මෙය ලැබෙනවා. මාතු භාර්යා ලබන්න ලෙහෙසි නැහැ.

ඔබ සප්ත භාර්යා දන්නවද? අංගුත්තර නිකායේ 10 වැනි සූත්‍රය (සප්ත භාර්යා සූත්‍රය) බුදුහාමුදුරුවො දේශනා කළේ. සුජාතා සිටුදේවියට. සත් භාර්යා තමයි 1. මාතු භාර්යා 2.ස්වාමි භාර්යා. 3.දාසි භාර්යා 4.සකිනි භාර්යා 5. වදක භාර්යා 6.චෝර භාර්යා හා 7.භගිනි භාර්යා සාමාන්‍යයෙන් විවාහක ස්ථානය අයිතිකාරයාට සාපේක්ෂව ග්‍රහයා හිටියත් ඔබත් මාතු භාර්යා දාසි භාර්යා ලබන්න වාසනාවන්ත වේවි. ජන්මපත්‍ර පරීක්ෂාවේදී අවශ්‍ය රාශියේ සිටින ග්‍රහයාගේ පැවැත්ම බැලීම ඉතා වටිනවා. විවාහය සම්බන්ධව කොපමණ ඉගෙන ගත්තත් මදි. මොකද මෙතැන වැරදුණොත් ජීවිතයම පරාදයි. ස්ත්‍රියකගේ කේන්දරයේ 7 වැන්න පරීක්ෂා කරන කොට මේ කවියෙ ඒවා වුණොත් හිතන්න කෝ.

“සත්වැන්නෙහි කුජ හෝ සෙනසුරු වේද

සතහිමියා ඉන් එකෙකුගේ රැසේ වේද

කත ඔහුගේ ගනී සොර සැමියන් වැද්ද

නැතහොත් වෙසඟනක් වෙයි රට පරසිද්ද

 

පිරිමියාගේ කේන්දරයේ මෙහෙම ග්‍රහ පිහිටීමක් වුණොත් සිදුවන දේත් දැනගන්න කෝ මේවා ලියන්නෙ ඔබේ දැන ගැනීමට විතරයි.

“ලග්නෙන් සත්වැන්න පතර

වුවහොත් රාශියක් එවර

හිමියා පරදෙසෙහි නෙදුර

හැසිරෙන්නෙක් වෙයි නිරතුර”

 

සප්තම දෘෂ්ටිය

මේ කවිවල තේරුම් ගන්න ඕනෑ උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම උඩමයි. ඡ්‍යෝතිෂයේ ගුණාගුණ කියන කොට දෘෂ්ටි ගැන නම් දැනගන්න වනවාමයි. මොකද සප්තම දෘෂ්ටියෙන් දෝෂ භංග වනවා. ඒවා නොදැන එකපාරට තීරණය කරන එක හොඳ නැහැ. ඒකනේ කියන්නෙ ඡ්‍යෝතිෂයේ ගුණාගුණ කියනකොට මැණික් ගලක් හරව හරවා බලනව වගේ කියන්න කියලා. මොකද වැරදිව ඔබ ගුණාගුණ කිව්වොත් ඔහු හෝ ඇය එතැන් සිට නොමැරී මැරෙනවා. මානසිකව වැටෙනවා. එමනිසා දක්ෂ ඡ්‍යෝතිර්වේදියා වරෙක ගුරුවරයෙක්, වරෙක වෛද්‍යවරයෙක් වන්ට ඕනෑ. ගුණාගුණ කියන එක හරි අමාරුයි. හරියට ඉගෙන ගත්තොත් ඉතාම විනෝදජනකයි. සතුටුයි.

මුදල්

විවාහයෙන් පසු ජීවත්වන්නට මුදල් අත්‍යවශ්‍යයි. එනම් 2 වැනි රාශිය (ධනස්ථානය) 10 වැනි රාශිය (රැකියා ස්ථානය) හා 11 වැනි අයස්ථානය පරීක්ෂා කරන්න. හිටපු හැටියේ ඔබට මැණික් ලැබෙන්නේ ස්වීප් ලොතරැයි වාසනාව මතු කරන්නේ මේ 11 වැනි කොටුවෙන්.

සෞරග්‍රහ වළල්ලේ ග්‍රහයෝ නමදෙනාම එක වගේම හොඳ නරක දෙකම විපාක දෙනවා. ඒ වෙලාවේ ග්‍රහයා ඉන්න ස්වභාවය උඩ තමයි ප්‍රතිඵලය සක්‍රීය වන්නේ. ඒ කිව්වේ ග්‍රහයා හතුරු ද, මිතුරු ද, වක්‍ර ද, උදා ද ස්වක්ෂේත්‍ර ද නීච ද කියල දැන ගන්න ඕනෑ. අපි හිතමු කිසියම් දවසක මේෂ ලග්නය හිමි ජන්ම පත්‍රයක විවාහ වන කාලයට සිකුරා 5 වැනි රාශියේ (කන්‍යාවේ) සිට තුලාවට එනම් විවාහකස්ථානයට එනවා කියලා. ඒ එන්නේ සිකුරා වක්‍ර වෙලා නම් සිකුරා සුබ තත්ත්වයක් ඇති කරන්නෙ නැහැ. කවදාහරි වක්‍රය අතහැර උදා වූ දිනක ඔන්න සුබ ප්‍රතිඵල දෙනවා. මේවා තේරුම් ගන්න සාමාන්‍ය පැහැදිලි කිරීමක් ඈපා පංචාංගයේ 124 - 125 පිටුවල ඇති (ග්‍රහ රාශි චාරය කියලා) මේ වගේ හැම රාශියක්ම, හැම ග්‍රහ කිරණක් ගැනම නිවැරැදි අවබෝධයක් ගන්න. තව විශේෂ එකක් මතක තබා ගන්න. ඔබ කොච්චර පොහොසත් වුණත් කොපමණ මුදල් අතගෑවත් ඔබේ කේන්දරයේ 9 - 10 ඒ කිව්වේ ධර්ම ස්ථානය කර්ම ස්ථානය දුර්වල නම් ඔබ නොඑන ගමන් යන්නේ ඔබට අයිති නැති අනුන්ගේ තැනක. අඩුම තරමින් රජයේ බස් නැවතුමක වන්ට බැරි නැහැ.

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර ඡ්‍යෝතිර්වේදී

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.