ජ්‍යොතිෂයෙන් අනාගතය ජනවාරියෙන් පසු සුබයි

මැයි 20, 2022

ගැටලුව ඔබෙන්-පිළිතුරු අපෙන්

ඉදිරි අනාගතය කෙසේවේ ද?

ගොඩගම වීනා වයස - 61 ,

පිළිතුර - වෘශ්චික ලග්න, කුම්භ නවාංශක, සුවන නැකත හිමිව ජන්මය ලද ඔබ දැනට ගත කරනුයේ සෙනසුරු මහ දසාවයි. 2023 ජනවාරි දක්වා එය පවතී. දැනට ඔබ ජන්ම ඒරාෂ්ටක කාලයක් ද ගත කරමින් සිටී. 2022 ජනවාරි සෙනසුරු මාරුවෙන් පසු එය ද අවසන් වේ. ඔබ උපත ලබා ඇත්තේ ද ජන්ම ඒරාෂ්ටකයකිනි. උපතේ දී අනේකවිධ කරදර විඳින්නට ඇත. දැනුදු එවැනි කාලයකි. ලග්නයේ පිහිටි බුධ ආදිත්‍යය යෝගය ද ඔබට මනා උගත්කමක් ඇති බව පෙන්වයි. ලග්නාධිපති කුජ බලවත්ව ලග්නයේ සිටීම, රුචක යෝගයයි. ජීවිතයේ ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දීමේ ශක්තියක් ඔබට ඇත. මේ වසර අවසන් වන තෙක් තරමක් දුෂ්කර වුවත් ජනවාරියෙන් පසු ලබන්නා වූ බුධ මහ දසාව ඔබට සුබවාදී වනු ඇත.

ගුරු වෙනුවෙන් සත්කාර කරන්න

රජයේ රැකියාවක් කවදා ලැබේ ද?

කුලියාපිටියේ නයනා - වයස - 23

පිළිතුර - ධනු ලග්න, ධනු නවාංශක පුවපල් නැකත, දැනට පවතින දසාව සඳු ඉතා ඉහළ අධ්‍යාපනයකට වරම් නැතත් ඔබ මනා අධ්‍යාපනයක් ලබා ඇති යුවතියක් බව පෙනේ. රැකියා ස්ථාන අධිපති බුධ නීචව 4 වැන්නේ සිට 10 වැන්න වූ රැකියා ස්ථානය දකී. උච්ච ග්‍රහයකු වූ සිකුරු 4 වැන්නේ සිටීම නිසා එම නීචය ද බිඳීගොස් ඇත. රාජ්‍ය කාරක රවි 5 වැන්නේ දුර්වලව සිටිය ද 10 වැන්න නොදැකීම රජයේ රැකියාවකට සෘජු බලපෑමක් නැත. රජයේ රැකියාවකට කෙසේ වෙතත් ලග්නාධිපති ගුරු ඔබේ 22 වැනි දෙර්කානාධිපති වීම නිසා සියලු දේට බාධා ගෙනදේ. ගුරු වෙනුවෙන් කළයුතු සත්කාර බෝධි පූජා ආදිය නිසි ලෙස කර උත්සාහ කර බලන්න. විවාහය ද පමා විය හැකි ය. සඳු මහ දසාව 2026.09.20 දක්වා බලපානු ඇත.

රැකියාවක් ලැබීමේ අවස්ථාව අවමයි

රැකියාව හා ඉදිරි අනාගතය කෙසේ ද?

කොළොන්නේ මුණසිංහ. වයස 21

පිළිතුර - සිංහ ලග්න, වෘෂභ නවාංශක, දෙනට නැකත. දැනට දසාව ගුරු 2037 දක්වා 3 වැන්න අධිපති සිකුරු 12 වැන්නේ සතුරුව සිටින අතර 5 වැන්න අධිපති ගුරු ද සතුරුව 10 වැන්නේ සිටී. උසස් අධ්‍යාපන ස්ථානය වන 9 වැන්න අධිපති කුජ ද සතුරුව 11 වැන්නේ සිටී. නවාංශක කේන්ද්‍රයේ ද මෙම ග්‍රහයින් දුර්වලව සිටී. මේ අනුව ඔබේ මූලික අධ්‍යාපනයටත් උසස් අධ්‍යාපනයටත් එකසේම බාධා එල්ල වී ඇති බව පෙනේ. රජයේ හෝ වෙනත් කුමන රැකියාවකට වුවත් ලැබූ අධ්‍යාපනය වැදගත් සාධකයක් වේ. ලග්නාධිපති රවිද 12 වැන්න වූ වැය ස්ථානයේ සිටීම දුර්වල පිහිටීමකි. රැකියා ස්ථානය වූ 10 වැන්න අධිපති සිකුරු ද සතුරුව 12 වැන්නේ උපතේ දී පිහිටා ඇත. 10 වැන්නේ ගුරු, ශනි ස්ථාපිතව ඇත. ගුරු ඔබේ 22 වන දෙර්කාණාධිපතියා ය. මේ අනුව 10 වැන්නේ ද පාපින් දෙදෙනෙකි. 10 වැන්නට සුබ දෘෂ්ටි නැත. මේ අනුව රැකියා ස්ථානයද දුර්වලය. අධ්‍යාපනය ලබන කාලයේ ඔබ ගත කර ඇත්තේ ද රාහු මහ දසාවයි. එබැවින් අධ්‍යාපනය ද මන්දගාමී වී ඇත. මේ අනුව උසස් රැකියාවකට යොමු වීමේ අවස්ථාව අවම වී ඇත. රැකියා ස්ථානාධිපති සිකුරු හා දසාධිපති ගුරු වෙනුවෙන් කළයුතු සත්කාර, බෝධි පූජා, භාරහාර ආදිය නිසි පරිදි කිරීමෙන් ගුරු මහ දසාව තුළ ඔබට සුපුරුදු රැකියාවන් ලබාගත හැකි ය.

විවාහයට කැමැත්ත අඩුය

විවාහය ගැන යමක් පවසන්න

මාතර මයුරි - වයස 41

පිළිතුර - සිංහ ලග්න, වෘශ්චික නවාංශක, සිත නැකත, දැනට දසාව ශනි හෙවත් සෙනසුරු, 2039.06.06 දක්වා විවාහයටත්, විවාහ ජීවිතයටත් අසුබවාදීව බලපාන කරුණු කීපයක්ම ඔබේ ජන්ම පත්‍රයේ පිහිටා ඇත. කුජ, ශනි යෝගය මෙය ශනි මංගල දෝෂයයි. මෙයින් කුජ ඔබේ 22 වැනි දෙර්කාණාධිපතියාය. රාහු ද ලග්නයේ ඇත. සුබ ග්‍රහයෙකු වූ ගුරු මෙමඟින් පාප වී පීඩිතව ඇත. ලග්නයට සුබ දෘෂ්ටි කිසිවක් නැත. දැනට ඔබ ගත කරනුයේ ද ශනි හෙවත් සෙනසුරු මහ දසාවයි. 7 වැන්න වූ විවාහ ස්ථානයේ සිටින කේතු විවාහයට කිසිදු බලපෑමක් කරන්නේ නැත. සාමාන්‍යයෙන් කුජ, ශනි, රාහු යෝග පිහිටි විට ඔහු හෝ ඇය යහපත් සිත් ඇත්තෙක් නොවේ. කෘශ ශරීරයක් හිමි පහත් ගති ඇත්තේ වෙයි. මිත්‍රයින් අඩුවේ. අනුන් කෙරෙහි වෛර කරන්නෙක් වේ. මෙසේ වූ අයගේ විවාහය කටුකය. විවාහය සාර්ථකව පවත්වා ගැනීම ඉතා අසීරුය. ඔබ පවසා ඇති පරිදි බෝධි පූජා කිරීම ගැනද උනන්දුවක් නැත. මෙවැනි අය පිනට දහමට කැමති අය නොවේ. මෙවැනි අය සමාජයට ද වෛර කරයි. සමහර විට කුමන හෝ අංගවිකලත්වයක් ඇති රෝගි අය වේ. විවාහය කෙරෙහි ඇති කැමැත්ත ඉතා අවමය. නො එසේ නම් කැමැත්තක්ම නැත. මෙවැනි අය ඕනෑ තරම් සිටිති. ඇගේ කැමැත්තට ඉඩ දෙන්න. මෙහි කුජ ගුරු යෝග වීම 7 හා 8 අධිපතිවරුන්ගේ යෝගයයි. එයද විවාහයට ඉතා අහිතකරය. ලග්නයේ කුජ තැන්පත්වීම ද විවාහ දෝෂයකි.

අනාගතය සුබදායකයි

දැනට ධර්මානුකූල ජීවිතයක් ගත කරන මාගේ සැඳෑ සමය කෙසේවේ ද?

රත්මලානේ පාල - වයස 75

පිළිතුර - මකර ලග්න, මේෂ නවාංශක පුවපල් නැකත, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට පෙළඹීම ස්වාභාවිකයි. ඔබේ ජන්ම පත්‍රය අනුව විශේෂයෙන්ම පවුල් ජීවිතය ගත කලකිරීමක් ඇති බව පෙනේ. 5 වැන්නේ රාහු ස්ථාපිතවීමත් 5 අධිපති සිකුරු 12 වැන්නේ තැන්පත් වීමත් පුත්‍ර කාරක ගුරු ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමත් දරුවන්ගෙන්ද එතරම් සැලකිල්ලක් බලාපොරොත්තු විය නොහැකි කරුණකි. දැනට ඔබ ගත කරන ධර්මානුකූල ජීවිතයට ද මෙය හේතුවක් විය හැකි ය. ඔබ ගතකරනු ලබන ශනි මහ දසාවද ඊට උචිතය. ශනි මහ දසාව තුළ පින් දහම් කරනු ලැබීමෙන් උතුම් වූ සැනසීමක් ලබාගත හැක. නොඑසේ නම් මේ කාලය තුළ එහි අසුබ ඵල ලැබෙනවා නියතයි. සමහර විට ඔබව එක්තැන් කිරීමට පවා සෙනසුරු පසුබට නොවේ. එබැවින් ධර්මානුකූලව ඉදිරිය ගතකළහොත් සැපවත්ව සිටීමට වාසනාව ලැබේ. ශනි මහ දසාවෙන් පසු තව මසකින් පසු ලබන්නා වූ බුධ මහ දසාව යහපත්ව ගෙවීයනු ඇත. කරදර බාධක ක්‍රමයෙන් පහව යනු ඇත. බුධ මහ දසාව වසර 17කි. බුධ ඔබේ රෝග ස්ථානය වූ 6 වැන්න අධිපති බැවින් වරින් වර පිත හා සම්බන්ධ රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් ඇත.අනාගතය සුබදායකයි.

රැකියාව නොව විවාහයද පමාවේ

රැකියාවක් ලැබෙන්නේ කවදා ද?

හපුතලේ වාසනා - වයස 27

පිළිතුර - තුලා ලග්න වෘෂභ ලග්න, අස්ලිස නැකත දැනට දසාව සිකුරු 2030.01.02 දක්වා ලග්නාධිපති සිකුරුගේ දසාව සුබයි. ර,බු යෝගය මනා අධ්‍යාපනයක් ලැබීමට වාසනාව දුන්නත් බුධ නීචව සිටීම ඊට බාධා ගෙනදී ඇත. දසාධිපති සිකුරු සුබ ග්‍රහයෙකු වුවත් 22 වැනි දෙදර්කාණාධිපති ශනි සමඟ යෝග වීමෙන් එහි සුබඵල අහිමි වී ඇත. රැකියා ස්ථානාධිපති සඳු 10 වැන්නේම බලවත්ව සිටියද 10 වැන්නේ 7 අධිපති කුජ නීචව සිටීමෙන් රැකියා ස්ථානයද දුර්වලව ඇත. 10 වැන්න කිසිදු සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ටියට නතු වී නැත. රජයේ රැකියාවකට පිවිසීමේ බලාපොරොත්තුව කෙසේ වෙතත් පුද්ගලික අංශයේ රැකියාවකට හෝ උනන්දු වන්නේ නම් මැනවි. ජන්ම පත්‍රය අනුව රැකියාව පමණක් නොව විවාහය ද පමාවන ලකුණු පෙනේ. ඒ 22 වන දෙර්කාණාධිපති ශනි 7 දැකීම නිසයි. ශනි කුජ වෙනුවෙන් කළයුතු සත්කාර නිසි ලෙස කිරීමෙන් මේ කරුණු දෙකම සඵල වේ.

විවාහය පිළිබඳව

මහියංගනය චින්තක උදය කුමාර,

වයස 42

පිළිතුර - ඔබ එවා ඇත්තේ ජන්ම පත්‍රයේ පිට කවරයේ පිටපතකි. ලග්නය, නවාංශකය, උපන් නැකත, දශා ශේෂය ආදිය සියල්ල ඇතුළත් පිටුවල පිටපත් සමඟ නැවත විමසන්න.

සුබසෙත වෙතින් ඔබ වෙත පිරිනැමෙන මෙම විශේෂාංගය වෙනුවෙන් පිළිතුරු සපයන්නේ සුබසෙත පුවත්පතට කලක සිට ලිපි සැපයූ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩ මහතා විසිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.