විවාහයට වින කරන කුජ දෝෂය

මැයි 6, 2022

 

අද සූදානම් වන්නේ, හැමදෙනාම කතාකරන දෙයක් ගැන ලියන්නයි. ඒ තමයි කුජ දෝෂය. ජ්‍යෙතිෂවේදය ගැන දන්න අයයි නොදන්න අයයි හැමෝම නිකමට හරි අහලා තියෙන වචනයක් තමා කුජ දෝෂය කියන්නේ.

 

ඇත්තටම මේ කුජ දෝෂයෙන් බලපෑමක් පුද්ගලයෙකුට එල්ල වෙනවා ද? කුජ දෝෂය කියන්නෙ මොකක්ද? කුජ දෝෂය තිබුණත් එය ඔහුගේ හෝ ඇයගේ විවාහය පමා කරනවාද? එසේත් නැතිනම් විවාහය අසාර්ථක කර දමනවා ද? මෙන්න මේ, කරුණු ටික ගැන කතා කරන්නයි අද සූදානම් වන්නේ. ඊට පෙරාතුව කුජ ග්‍රහයා ගැන කෙටියෙන් හඳුන්වන්නම්.

මේ කුජ ග්‍රහයාව, අඟහරු එහෙමත් නැතිනම් භූමි පුත්‍ර ආදී නම්වලින් හඳුන්වන්න පුළුවන්. එලෙසම කුජ ග්‍රහයා ග්‍රහමණ්ඩලයේ සෙන්පතියා ද වෙයි. පෘථිවිය ආසන්නයෙන්ම ඇත්තේ මේ කුජ ග්‍රහයා හෙවත් අඟහරුය. කුජ ග්‍රහයා සටන්කාමී ග්‍රහයෙකි. කුජ ග්‍රහයා ආත්ම ශක්තිය, දරා ගැනීමේ ශක්තිය, ශරීර ශක්තිය, සටන්කාමීත්වය, තර්ක කිරීමේ හැකියාව ඇත්තෙකි. මේ කුජ ග්‍රහයා මුලික කරගෙන තමයි කුජ දෝෂය හටගන්නේ. කුජ දෝෂය ක්‍රම 03කට යෙදේ. ලග්නයෙන්, සඳුගෙන් වගේම සිකුරුගෙන් ද කුජ දෝෂය යෙදේ.

 

ඔබේ ජන්ම පත්‍රය තුළ ලග්නයෙන් 1, 2 ,4, 7, 8, 12 යන ස්ථානවල කුජ තිබෙනවා නම්, අන්න එතන කුජ දෝෂය හටගන්නවා. ඒ වගේම තමයි සඳුගෙන් 1, 2 ,4, 7, 8, 12 යන ස්ථානවල කුජ පිහිටනවා නම් එතැනත් කුජ දෝෂය හට ගන්නවා. ඒ වගේම තමයි සිකුරුගෙන් 1, 2 ,4, 7, 8, 12 යන ස්ථානවල පිහිටීමෙන් කුජ දෝෂය හටගන්නවා.

 

එහිදී, මෙවැනි ප්‍රශ්න ඔබට ඇති වෙන්න පුළුවන්.

මේ තැන්වල තිබුණු පමණින් කුජ දෝෂය ම තියෙනවා ද ? නැහැ. එලෙස වන්නේ නැහැ. මෙසේ තිබුණාට එය තමන්ගේ ජන්මපත්‍රය තුළින්ම භංග වන අවස්ථා තිබෙනවා. එනම්,

1. කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍රව පිහිටීමකදී

2. කුජ ග්‍රහයා සිංහ, කටක රාශි වල පිහිටීමකදී

3. කුජ ග්‍රහයා මේෂ, කටක, තුලා, මකර කියන චර රාශියක පිහිටනවා නම්

4. කුම්භ රාශිගතව පිහිටනවා නම්

5. කුජ ග්‍රහයා ගුරු, බුධ හෝ ශනි සමඟ සංයෝග වීමේදී

6. චන්ද්‍ර මංගල හෝ ගුරු මංගල යෝගය පිහිටින විටදී

7. දෙවැන්න මිථුන හෝ කන්‍යා වී එහි කුජ සිටී නම්

8. සතර වැන්න වෘෂභ හෝ තුලා වී එහි කුජ සිටීම

9. අටවැන්න ධනු රාශියක් වී කුජගේ තැන්පත් වීම

10. දොළොස්වැන්න වෘෂභ, තුලා, කන්‍යා හෝ මිථුන රාශියක් යෙදී කුජගේ තැන්පත් වීම.

ඒ වගේම තමයි, එසේත් භංග නොවී තිබෙනවා නම් එය තමයි හරිම කුජ දෝෂය කියන්නේ.

ඒ වගේ වෙලාවක දී මොකද කරන්නේ?

එම දෝෂය විවාහය සිදුවන හඳහනත් සමඟ ගැළපීමයි. එම ගළපන අවස්ථාවේ දී දෙදෙනාගේ ම කුජ දෝෂය තිබෙනවා නම් එම දෝෂය කැපී යයි.

අනෙක් කෙන්දරයේ කුජ ග්‍රහයා ශනි, රාහු, කේතු වැනි පාපියෙකු සමඟ සිටීමෙන් දෝෂය භංග වී යයි.

අනෙක් කේන්දරයේ කුජ, රාහු එක්ව, ඒ වගේම සඳු, සිකුරු දෙවැන්නේ සිටීම, මකර කුම්භ රාශිවල ඉපිද කුජ 07 සිටීම, පුර සඳු කුජ සමඟ එකතු වීම, මකර හෝ කටක රාශිය 07 වැන්න වී කුජ එහි සිටීම,සිංහ හෝ කුම්භ රාශියක කුජ සිටීම කියන මේ කරුණුවලිනුත් බැහැර වුණොත් තමයි හරියටම කුජ දෝෂයේ අහිත කර බලපෑම එන්නේ. නැතිව කුජ හතේ , කුජ අටේ කිව්වත් එලෙස තිබුණාට කුජ දෝෂය හටගන්නේ නැති බව ඔබ හොඳීන් වටහාගත යුතුයි.

 

ජ්‍යොතිෂවේදී

සශේනක දිලාන් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.