ඔබේ පෙම්වතිය ඇත්තටම නොඉඳුල් ද?

අප්‍රේල් 22, 2022

කේන්දර පරීක්ෂාවෙන් කියැවෙන යුගදිවි තොරතුරු

පුරුෂ කේන්දරයක් ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සහකාරියගේ සියලුම තොරතුරු පැවසීමට ක්ෂේත්‍රයේ හසළ දෛවඥවරයකුට හැකියාව ඇත. එසේම ඔහුට ලැබෙන සහකාරිය කන්‍යාවක් ද? නැතහොත් කන්‍යාභාවය කෙලෙසා ගත් තැනැත්තියක් ද? ආදී වශයෙන් කරුණු තේරුම් ගැනීමට දෛවඥයා සමත් විය යුතුය. ඇතැම් පුද්ගලයන් දරුවන් සිටින වැන්දඹුවන් හා විවාහ වන අවස්ථා ද තවත් අය අන් අයගේ අඹුවන් සමඟ පවුල් කන අවස්ථා ද තවත් අය කන්‍යාභාවය කෙලෙසා ගත් තැනැත්තියන් හා විවාහ වන අවස්ථා ද ඇත.

හත්වැන්නාධිපතියා විසිදෙවන දෙර්කාණාධිපතියා වීම හෝ විසිදෙවන දෙර්කාණාධිපතියා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නාධිපතියා සමඟ විසිදෙවන දෙර්කාණාධිපතියා යෝගවීම, විවාහය සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවීමට හේතුවකි.

පුරුෂ කේන්දරයක එවැනි යෙදීමක් නිසා අඩුපාඩු සහිත සහකාරියක් ලැබී යුගදිවිය සැමදා අමිහිරිව ගත කිරීමට ඉඩ ඇත. ස්ත්‍රී කේන්දරයකට තත් හේතූන් අනුව වුවද තමාගේම අඩුපාඩුවක් නිසා නිතර ස්වාමියාගේ ගැරහුම්වලට ලක් වෙවී යුගදිවිය ගත කිරීමට වෙන අවස්ථා ද ඇත.

හත්වැන්නාධිපතියා විසිදෙවන දේර්කාණාධිපතියා වීම හෝ විසිදෙවන දේර්කාණාධිපතියා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නාධිපතියා සමඟ විසිදෙවන දේර්කාණාධිපතියා යෝගවීම, යුගදිවියේ විවිධ බාධක ඇති කිරීමට හේතුවන නමුත් මෙහි විස්තර වනුයේ කාන්තාවකගේ කන්‍යා භාවය කෙලෙසී තිබීම ගැන පමණි.

විසිදෙවන දේර්කාණාධිපතියා වන ග්‍රහයාගේ ස්වරූපයට අනුව යුගදිවියට බලපාන බාධකය තේරුම් ගත යුතුය. තරුණියකට කන්‍යාභාවය නැති කර ගැනීමට කරුණු ගණනාවක්ම යෙදිය හැකිය. කාමාධික ස්වභාවය නිසා දුරදිග නොබලා තම කැමැත්තෙන්ම පුරුෂයකුට අවනත විය හැකි ය. තවත් විටෙක බලහත්කාරකමකට අසු වී තමාගේ අකමැත්තෙන් වුවද අමාරුවේ වැටිය හැකිය. ඇතැම්විට ඉදිරියේදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අය සමඟ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව අඹු සැමියන් වශයෙන් ගත කර පසුව වෙන් විය හැකිය. මේ කවර ආකාරයකින් නමුත් අවසාන විග්‍රහයේ දී පෙනීයනුයේ මනාලියක් වශයෙන් යුගදිවියට එළඹි විට කන්‍යාභාවයෙන් තොර තැනැත්තියක් වීම නිසා යුග දිවිය අසාර්ථක වීම හෝ මානසික වද වේදනා විඳීමට සිදු වන බවය.

අතීතයේ දී අපේ පරීක්ෂාවට ලක් වූ එක්තරා තරුණියකගේ කේන්දරය මෙහිදී ඉදිරිපත් කරනුයේ උගත් පාඨකයන්ගේ සුඛාවබෝධය පිණිසය.

ක්‍රි.ව. 1948 සැප්තැම්බර් මස 27 වන සඳුදා වෘෂභ ලග්නයෙන් හා මකර නවාංශකයෙන් ඇය උපන්නීය. ඡ්‍යොතිෂය පිළිබඳ තරමක දැනීමක් ඇති මැයගේ ප්‍රශ්නය වූයේ රැකියාව ලැබෙන කාලය හා විවාහය සිදුවන කාලය දැන ගැනීමය.

වෘෂභ ලග්නයේ ග්‍රහචාරය මෙසේය. ලග්නයෙන් තුන්වැන්නේ සඳු හා සිකුරුය. සිව්වැන්නේ සෙනසුරුය. පස්වැන්නේ රවිය. හයවැන්නේ කුජ, බුධ හා කේතුය. හත්වැන්නේ ගුරුය. දොළොස් වැන්නේ රාහුය. මකර නවාංශකයේ දී දෙවැන්නේ කේතු ද තුන්වැන්නේ සිකුරු හා ගුරු ද, සිව්වැන්නේ රවි ද, පස්වැන්නේ කුජ ද හයවැන්නේ සෙනසුරු ද හත් වැන්නේ සඳු ද අටවැන්නේ රාහු ද පිහිටියේ ය. පුනාවස නැකතේ සිව්වන පාදයෙන් උපන් අතර ගුරු මහ දශාව වර්ෂ 02යි, මාස 07යි, දින 15 ක් උපතේ සිට ඉදිරියට පැවතිණි.

ඇයට ඡ්‍යොතිෂය පිළිබඳ තරමක දැනීමක් තිබුණු නිසාත්, මෙතෙක් අසා ඇති අනාවැකි වැරදී ඇති බව කියන නිසාත් මෙම කේන්දරය පරීක්ෂා කිරීමේ දී ඇගේ අතීත තොරතුරු ඇය දන්නා තරම් පැවසීමට උත්සාහ කළෙමි.

මෙම කේන්ද්‍රයේ විසිදෙවන දේර්කාණාධිපතියා වී ඇත්තේ ගුරු ග්‍රහයාය. අට අධිපති ගුරු හත්වැන්නේ සිටී. මෙය නිවැරදි දැයි දැන ගැනීමට නම් නවාංශකයේ ගුරු සිටින රාශිය බැලිය යුතු ය. නවාංශකයේ ගුරු සිටිනුයේ මීන රාශියේය. වෘෂභ ලග්නයෙන් හත්වැන්න වූ වෘශ්චික රාශියේ සිට නව වන නවාංශකයේ ගුරු සිටී. මේ අනුව හත්වැන්නේ තුන්වන දේර්කාණයටය ගුරු අයත් වනුයේ්. ඇගේ පාදවල කලක සිට ආබාධයක් පවතින බව ප්‍රශ්න කිරීමෙන් පසු දැන ගත හැකි විය.

සිව්වැන්නේ සෙනසුරු උසුලන තත්ත්වය අනුව ඇගේ නිවස තවම සාදා නැත. අලුතින් නිවසක් සෑදීමට ඇගේ මාපියන් ආරම්භ කර ඇති නමුත් අත්වාරමට පමණක් එය සීමා වී ඇත.

ඇය උපාධිධාරිනියක් වුවත් එක් විභාගය කීපවර අසමත් වෙමින් ඉතා ධෛර්යයෙන් අධ්‍යාපනය ලබාගෙන ඇත.

පස්වැන්නාධිපතියා හයවැන්නේ ඇතුළු ග්‍රහ තත්ත්වයන් අනුව ඇය අවජාතක තැනැත්තියක් බව පෙනේ. මෙහිදී මෙය ඇයට ඉදිරිපත් කිරීමට හැකි වූයේ ඇය ද ඡ්‍යොතිෂ දැනීමකින් යුක්තව වූ නිසාමය. මෙහිදී අප අතර තර්ක විතර්ක ඇති වූ නමුත් පසු දිනක ඇය පැමිණ පැවසුවේ, ඇගේ මල්ලී ඉපදීමට සිටියදී නම් මව ගැන පියා සැක කර ගෙදරින් පිට වී සිටිය බවය.

මෙසේ අතීත තොරතුරු, නිවසේ තත්ත්වය, ස්වරූපය, අවට පරිසරය, දෙමාපියන්ගේ රැකියාවන් හා වත්පොහොසත්කම් ආදී සෑම තොරතුරක්ම කේන්දරයෙන් පරීක්ෂා කළේ ඇයට අපේ අනාවැකි කෙරෙහි අචල විශ්වාසයක් ඇති වනු පිණිසය.

මීට පෙර ඇයට විවාහ යෝගයක් පැවති බවත්, එය අනියත විවාහ යෝගයක් බවත් එම කාලය හා ඔහුගේ සියලු තොරතුරුත් පැවසීමි. ඒ සියල්ල ඇය නිවැරදි බව පිළිගත් පසු අවසාන වශයෙන් පැවසූ කාරණයෙන් ඇය අතිශයින් දුකට පත් වූවා ය. පසුව එම සිද්ධිය ඇය විස්තර කළේ මෙසේ ය. “ඒ වන විට මම විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනීම ලබමින් සිටියා. මේ කාලයේ විශ්වවිද්‍යාලයේ ම ඉගෙනීම ලබමින් සිටිය ශිෂ්‍යයෙක් හා ප්‍රේම සම්බන්ධයක් පැවතුණා.”

ඇගේ කේන්දරය පරීක්ෂා කළ කීප දෙනෙක්ම එම කාලයේ ස්ථිරවම ඇගේ විවාහය සිදු වන බව පවසා ඇත. පත්‍රවල දැන්වීම් දමන එක් හාමුදුරුනමක් ඇගේ කේන්දරය බලා ඇය යහළු වී සිටිය කෙනාගේ සියලු විස්තර ඇගේ කේන්දරයෙන් පවසා ඇත. එම හේතුව නිසා ඇය සිතුවේ තමාට දෛවයෙන් හිමි සහකරු ඔහු බවය. ඇය ඔහු කෙරෙහි අචල විශ්වාසයක් තැබුවාය. ඔහු සමඟ අඹු - සැමියන් වශයෙන් ගත කිරීමට ද පෙලඹී ඇත. එහෙත් කටක රාශියේ ගුරු ගමන් කළ කාලයේ එම ප්‍රේමසම්බන්ධය කැඩී බිඳී ගොස් ඇත.

මෙවැනි සිද්ධි කොතෙකුත් හමුවන අතර, මෙම සිද්ධිය පමණක් ගෙන සාකච්ඡා කිරීමට අදහස් කළේ එම ග්‍රහ චාරයේ තිබෙන විවිධ කරුණු රැසක්ම අවබෝධ කර ගැනීම පිණිසය. ස්ත්‍රී කේන්දරයක් හෝ පුරුෂ කේන්දරයක් ගෙන විවාහය සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමේ දී චරිතවත් බව, ලිංගික පි‍්‍රය අපි‍්‍රයතාවයන්, ලෙඩරෝග ආදී යුගදිවියට බලපාන සෑම තොරතුරක්ම පරීක්ෂා කර දැන ගත හැකිය.

 

ජේ.ඒ.එස්. සහන් ජයකොඩි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.