වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඇය වරදට පොළඹවන ග්‍රහයෝ
තම පුරුෂයාට අනේකවාරයක් මුසා බස් ගොතමින් ජීවිතය ද පරදුවට තබා හෝ වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නීය. මෙවන් කාන්තාවන් තමන්ගේ ශරීරයට වඩා ඉඳුරාම ස්ථුල (මහත්) පිරිමි කෙරෙහි ශරීර අඟපසඟවලට සිහින මවමින් බොහෝ සේ ඇලුම් කරන්නෝ ය. මෙවැනි කාන්තාවන් අධික කාමාශාවෙන් පෙළෙන ස්ත්‍රීහු ය. දවසට හතර පස් වතාවක් වුවද කාමුකත්වයේ යෙදීමට මෙවැනි ස්ත්‍රීහු සමත් වෙති.
ගුරුගේ දෘෂ්ටියෙන් උදාරත්වය හා ගුණගරුකත්වයත්, රවිගේ දෘෂ්ටියෙන් තේජස්භාවයක් දැක්වේ. ශනි, රාහු, බුධ වැනි ග්‍රහ දෘෂ්ටියක් ඇත්තේ නම් ඇය තේරුම් ගැනීමට අපහසු ස්ත්‍රියක් බැව් කියැවේ. දුබල වූ චන්ද්‍රයා වෙතින් දැනගත හැක්කේ මානසික ඒකාග්‍රතාවය නොමැති ජීවිතයේ අස්වාභාවික පැවතුම් ඇත්තියක් බවයි. කුජ, ශුක්‍ර යෝගවී හෝ ඔවුනොවුන්ගේ රාශි ලග්න කේන්ද්‍රයේ දී හෝ නවාංශක කේන්ද්‍රයේ දී මාරු කරගෙන සිටීනම් ඇය චරිත ශුද්ධියට මුල් තැනක් නොදෙයි. ශුක්‍ර කුජගේ ත්‍රිංශාංශකයේ සිටීමත්, කුජත් එසේම සිකුරුත් ත්‍රිංශාංශකව සිටීමත් එමෙන්ම ඔවුනොවුන්ගේ නැකැත් මාරුකරගෙන සිටීමත්, පරදාර සේවනයට නැඹුරු කරවන පිහිටීම්ය. තුන්වෙනි භාවය හා දොළොස්වෙනි භාවය මේෂ හෝ වෘශ්චික වී පාප පීඩිත රාහු එහි සිටීනම් ඇයද අභිසාරිකාවකි. දොළොස්වෙනි භාවය ශුක්‍ර විසින් දැකීමෙන් සිනමා නිළියන් බිහිවනු ඇත. ගුරු විසින් දැකීමේ දී නම්බුකාර අභිසරු ලියක් වන්නීය. මෙම තත්ත්වයන් තීරණය කළ යුත්තේ චන්ද්‍රයාගේ ශක්තිය අනුවය.
හත්වැන්නේ කුජ, ශුක්‍ර චන්ද්‍ර සිටීමත් අභිසාරිකාවන් බිහිකරවන පිහිටීමකි. පාපියෙක් හත්වැන්නේ සිටි විට තවත් පාපියකුගේ දෘෂ්ටිය ලැබුණහොත් සිය සැමියාගේ තෘප්තිය නොලබන්නියකි. හත්වැන්න බාධකස්ථානව වේ නම් ඇය සිය සැමියා මරා හෝ සොරසැමියන් සතුටු කරනු ඇත. හතරවැන්නේ පාපයකු සිට ශුභ දෘෂ්ටියක් නොලබයිනම් එයද අභිසරුලියක් බවට පත්වීමට හේතුවක් වෙයි. අට වැන්නේ හෝ දොළොස්වැන්නේ අඟහරු ග්‍රහයා සිට පාපකාරී රාහුගේ දැකීමට ලක්වූ කාන්තාව ඉඳුරාම තමන්ගේ ආදරණීය සැමියාගෙන් වෙන්වන්නීය. කොතරම් හොඳට දෙවඟනකට මෙන් සැලකුවද ඔවුන් වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නේ කාමුකත්වයේ උපරිම පීඩනය නිසා ය.
ශනි, කුජ දෙදෙනාගේ රාශිවල සිකුරු ග්‍රහයා සිටිකල පාපයින් විසින් දකින කල්හි සඳු ලග්නයේ සිටීනම් එවැනි ස්ත්‍රීන් ස්වාමි, දරු දැරියන්ගේද අනුදැනුම ඇතිව කාමුක පිරිමි සමඟ සහයෙන් සිටීමෙන් තමන්ගේ මනදොළ, ආර්ථික මෙන්න ශාරීරික වශයෙන්ද සපුරා ගන්නා වෛශ්‍යා කාන්තාවෝ ය. මුදලට විකුණන ශරීර අංග ඇත්තීන්ය. එක තැන එක අන්දමට එකම ඉරියව්වකින් ටික වේලාවක් සිටීමට තරම්වත් නොහැකි කාමාධික ස්ත්‍රීහු ය.
අඟහරු හා සිකුරු අටවැන්නේ සිටියදී උපන් කාන්තාව තම ස්වාමියාද අන් පිරිමි නිසා ද ගැබ්ගත් පසු ඒවා කෙසේ හෝ විනාශ කර ගන්නීය. පර පුරුෂ සේවනයට නිතර ඇලුම් කරයි. මෙවන් ස්ත්‍රීන්ට දරුවන් අවශ්‍ය නැත. එකම ආශාව කාමුකත්වයයි. ස්වභාවික හෝ අස්වාභාවික හැම අංශයකින් සතුටට පත්වීමට ඕනෑම වෙලාවක සූදානමින් සිටින කාමුක ස්ත්‍රීහුය.
ශුභ ග්‍රහයකු විසින් දකින ලද පාප ග්‍රහයකු සත්වෙනි රාශියේ සිටි ස්ත්‍රියගේ සැමියාගේ ආයුෂ අඩුය. එසේ වන්නේ ස්ත්‍රියගේ මාරක උගුලකට බෙල්ල දීමට සොර සැමියකුගෙන් සිදුවන නිසා ය. පාප ග්‍රහයින් ලග්නය හත යන ස්ථානවල සිටියදී උපන් කාන්තාවන්ගේ ඇති කාමුක පෙළීම
කෙළවරක් නැත. මේ නිසා ස්වාමි පුරුෂයාටද ඉක්මනින් මරණය ගෙනදෙයි.
1, 2,4, 5 සහ 12 වෙනි භාවවල රවි, කුජ, ශනි සහ රාහු යෙදී තිබීම ස්ත්‍රීන් හට අයහපත්ය. චන්ද්‍රයා 4 හා 10, 12 ආදී ස්ථානවල යෙදීමත් අශුභය. ගුරු අටේ යෙදීමත් එවැනිම පිහිටීමකි. බුධ 6, 7, 8 සහ ශුක්‍ර 6, 7 යෙදී සිටියහොත් අසාර්ථක යුග ජීවිතයක් ගත කිරීමට සිදුවෙයි. ශුභ දෘෂ්ටියක් නොලත් රාහු 2 වැන්නේ සිටීම ඇය සදාචාරාත්මක අතින් පහත් තත්ත්වයක පසුවන්නියක් බැව් කියැවේ. රාහු කේන්ද්‍ර ගත වී සිටී නම් ඇයට හැඟීම් පාලනය කර ගැනීමේ හැකියාව ඇත.
කුජ, සඳු ග්‍රහයන් දෙදෙනා පමණක් එක රාශියක පිහිටීම ස්ත්‍රී කේන්ද්‍රයක අශුභ යෝගයක් ලෙස සඳහන් වෙයි. විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් ඇය සිටින ගෙදරින් ශි‍්‍රයා කාන්තාව බැහැරවන බැව් කියැවේ. පුරුෂ කේන්ද්‍රයක වුවත් මේ කුජ, චන්ද්‍ර යෝගය පාප ක්‍රියාකිරීමටත් ඒ සඳහා මුදල් නාස්තිකිරීමටත් හේතුවේ. රවි හතේ සිටීමද ස්ත්‍රී කේන්ද්‍රයක අශුභ පිහිටීමක් වෙයි. එය ස්වාමි භක්තිය අඩුකරන පිහිටීමකි. බොහෝවිට දෙදෙනා සමඟි සමාදානයෙන් කල් නොයවති. බලවත් දෘෂ්ටි ලදහොත් එසේ නොවිය හැකිය. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ පාපයින් පමණක් විසින් දක්නා ලද හිරු පමණක් සිටියහොත් කෝප සිත් ඇතිව ස්වාමියා සමඟ නිදර දබර කරන්නියක් වෙයි. පාපයින් පමණක් දක්නා ලද කුජ පමණක් සිටියහොත් ස්වාමියාගෙන් වෙන්වන්නියක් වේ.