කේන්ද්‍ර පලාපල ධනාත්මකව බලමු

ජනවාරි 15, 2021

ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි.

මේ නිසා කේන්ද්‍රයක් විග්‍රහකර පලාපල ප්‍රකාශ කිරීම ඉතා සීරුවෙන් කළ යුතු භාරදූර කටයුත්තකි. මේ ලිපිය මඟින් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යම් කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ඡ්‍යොතිෂය ධනාත්මක භාවිත කිරීමට අපට නොහැකි ද යන්නයි.

ඡ්‍යොතිෂය තුළින් ධනාත්මක පලාපල ප්‍රකාශයක් ලබාදීම කෙනෙකුගේ ජීවිතයට අවැඩක් නොවේ. මා එසේ කියන්නේ කිසියම් පුද්ගලයෙකුට කේන්ද්‍රයක අපලයක් උපද්‍රවයක් ඇතත් ඡ්‍යොතිෂවේදියා එය ධනාත්මක අයුරින් සිතා බලා ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටය. මෙලොව ජීවත් වන හැම මනුෂ්‍යයෙකුම දියුණුවට පත්වීමට, සාර්ථකත්වයට පත්වීමට ජයග්‍රහණය ලැබීමට අකමැති නැත. අප හැමෝම තුළ යහපත මෙන්ම අයහපත ද සම සමව පිහිටා ඇත. ඒවගේම අපට අපල මෙන්ම සපල ද උරුමව ඇත. ඉතින් අපල දුරු කර සපල වඩා කෙනෙකුගේ දියුණුවට මාවත හෙළිකරදීමට ඡ්‍යොතිෂවේදියාට අවශ්‍ය තරම් ඉඩකඩ ඇත. මේ අයුරින් කටයුතු කළහොත් පමණක් අපල උපද්‍රව ඇති පුද්ගලයා ඒ අයහපතින් මුදාගෙන සාර්ථක පුද්ගලයෙකු බවට පත් කළ හැකිය.

කේන්ද්‍රයක් සෑදීම තුළ යම් දෙයකට කේන්ද්‍ර කිරීමක් සිදුවේ. එනම් අනාගතයේ සිදුවන ඉලක්කයක් වෙත කේන්ද්‍ර කිරීමක් සිදුවේ. කිසියම් පවුලක කෙනෙකුගේ දියුණුවක් සොයා බැලීමට කේන්ද්‍රයක් පරික්ෂා කරන විට මා අදහස් කරන හැටියට නම් එම පවුලේ සියලු දෙනාගේම කේන්ද්‍ර පරික්ෂා කළ යුතුය. ඒවගේම එම පවුලේ හැකි තරම් පිරිසක් හමුවීම හා ඔවුන් හා කතා බහ කර ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම ද වැදගත් ය. මීළඟට පවුලේ බලගතු ග්‍රහ බලයක් ඇත්තා ද දුර්වලම ග්‍රහ බල ඇත්තා ද හඳුනාගැනීම කළ යුතුය. ඒ අනුව යමින් මේ සියලු දෙනාම කිසියම් අනාගත දියුණුවේ ඉලක්කයක් වෙත යොමු කළ හැකිය. එසේ නොමැතිව අපල ඇති අය සොය සොයා ඔවුන් විවිධ පුද පූජා විධි සඳහා යොමු කිරීම තුළින් නම් යහපතක් වන්නේ නැත.

මේ සඳහා මා අසා ඇති හා අත්දැක ඇති ග්‍රහයෙකුගේ අපලයක් ගැන උදාහරණයක් ගෙන බලමු. සෙනසුරු අපලයක් ලබා ඇති තැනැත්තා කඩමළු අඳිමින් කය වෙහෙසා වැඩ කරමින් සමාජයෙන් ඈත්ව කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වන බවට ඡ්‍යොතිෂයේ සඳහන් වේ. ඉතින් මෙවැනි අයෙකුට ගෙයක් සාදන්නට පටන් ගතහොත් එය අකුරටම කළ හැක. ඔහු දිවා රෑ වෙහෙස නොබලා ඒ කටයුත්ත උපරිම අයුරින් කිරීමට පෙලඹේ. මේ අයුරින් අපලය සපලයක් කිරීම මා සඳහන් කරන ධනාත්මක පලාපල ප්‍රකාශයට හොඳ උදාහරණයකි.

විශේෂයෙන් දරුවන්ගේ කේන්ද්‍ර බලන විට එම දරුවන්ට අපල ඇත්නම් ඒවා දෙමාපියන්ගේ හා දරුවන්ගේ ඔළුවට කෙළින්ම නොදමා දරුවන්ගේ හැසිරීම මොනවාදැයි සාවධානව අසා බලා ඊට ධනාත්මක අයුරින් උපදෙස් ලබා දීම වැදගත් වේ. කිසියම් දරුවෙකුගේ කේන්ද්‍රයක් බලා ඔහු මේ කාලයේ ‘දියේ ගිලී අකාලයේ මිය යනවා’ නැත්නම් ‘හදිසි අනතුරකට පත් වෙනවා’ මෙවැනි ප්‍රකාශයක් දෙමාපියන්ට මෙන්ම දරුවාට ද දැන්වුවහොත් එය ඒ අයුරින්ම ඉටුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත. මේ ඡ්‍යොතිෂවේදියාගේ දක්ෂකමට සිදුවන්නක් නොවේ. ඒ අර ඉලක්ක කළ දේ පිළිබඳව දෙමාපියන් තුළ මෙන්ම දරුවා තුළද එකදිගටම සිතුවිලි ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි.

බොහෝදුරට හදිසි අනතුරු නිසා අත් පා බිඳුණු අයගෙන් “මොකක්ද වුණේ යැයි විමසන විට ඔවුන් බොහෝ දෙනෙකු දෙන පිළිතුර වන්නේ “මට මේ දවස්වල අහවල් ග්‍රහයාගෙන් අපල” ඇති බවයි. මීට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී සිදුවු සෙනසුරු ග්‍රහයාගේ මාරුව ගැන විශාල බියක් අපේ රටේ ජනතාව අතරට ගොස් ඒ සඳහා ආරක්ෂාව පතා කල් තියාම විවිධ පුද පූජාවන්ට ඔවුන් පෙලඹීමයි.

කිසියම් ග්‍රහයෙකු සිටින ස්ථානය පමණක් බලා යම් යම් දේ පිළිබඳ පලාපල ප්‍රකාශ කිරීම සුදුසු නොවේ. ග්‍රහයා ස්ථාන ගතව සිටින්නේ කුමන බලයක් යටතේද කුමන යෝග බලයක් සහිතව ද කුමන මහ දශාවක් හා අතුරු දශාවක් ගත කරන්නේද ගෝචරව ගමන් කරන ආකාරය මේ ආදී තවත් බොහෝ දේ විමසමින් මධ්‍යස්ථ මතයක සිට පලාපල ප්‍රකාශ කළ යුතු වේ. පෙර කීවාක් මෙන් පුද්ගලයා හා කතාබහ කර තීන්දු තීරණ ගැනීම ද ඉතා වැදගත් වේ.

අවසාන වශයෙන් මෑතකදී සිදුවූ දේශපාලන පෙරළියේදී අපේ ඡ්‍යොතිෂවේදින් අනාවැකි පළකළආකාරය ගැන ද යමක් ප්‍රකාශ කරමි. ඒ සියලු අනාවැකි ඒ ඒ අපේක්ෂකයන්ගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම හා යෝග බලය මතද එසේ නොවන්නේ නම් තමා දරණ දේශපාලන මතය අනුව දැයි කවරෙකුට හෝ කිව හැකි වේද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.