සඳු සහ ගුරු බලවත්ව යෙදෙන ගජකේශරී යෝගය

නොවැම්බර් 15, 2024

කේන්දරයක යෙදෙන යෝගයන් අතර අතිශයින්ම ප්‍රබල රාජ යෝගයක් ලෙස ගජකේශරී යෝගය හැඳින්විය හැකිය. පංච මහා පුරුෂයෝග හැරුණු විට ජන්මියකුට යෙදෙන ප්‍රබලම රාජයෝගයක් ලෙස ද ගජකේශරී යෝගය හඳුන්වන්නට පුළුවන් වන්නේ එනිසයි.

ගජකේශරී යෝගය පිහිටීම

ගජකේශරී යෝගය යනු යම් කේන්දරයක චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව එනම් 1,4,7,10 යන ස්ථානවල බ්‍රහස්පති බලවත්ව පිහිටා සිටීමෙන් ඇතිකරන බලවත් යෝගයයි. බ්‍රහස්පති හෙවත් ගුරු යනු සෞභාග්‍ය කාරකයාය. නැණ නුවණ, ප්‍රඥාව මෙන්ම සෞභාග්‍යය බ්‍රහස්පති නියෝජනය කරන අතර ඔහු ජීවාරක්ෂක ලෙසද හැඳින්වේ. ජීවකාරකයාද බ්‍රහස්පති වේ. මේ බ්‍රහස්පති විශ්ව කේන්දරයේ භාග්‍යස්ථානාධිපතියාය. එම නිසාම බ්‍රහස්පති ප්‍රබල ගණයේ සුබයෙක් ලෙස සැලකේ.

සඳු-ගුරු යෙදීම

මේ බ්‍රහස්පති විශ්ව කේන්දරයේම 4 වැන්නාධිපතියා වන චන්ද්‍රයාට අදාළව යෙදෙන යෝගයකින් යුක්ත වීම ජන්මියාට ගෙන දෙන්නේ ඉමහත් බලයකි. සඳු යනු විශ්ව කේන්දරයේ 4 අධිපතියාය. අනෙක් පසින් සුඛස්ථානාධිපතියාය. මනසට කාරකයාය. චිත්ත භවාධිපතියාය. කවරකුගේ හෝ කේන්දරයේ චන්ද්‍රයාට එක්වෙමින් හෙවත් සඳු සමඟ සංයෝග වෙමින් බ්‍රහස්පති සිටින්නේ නම් එය ගජකේශරී යෝගයයි.

ගුරු සප්තමය

සඳුට 7 වැන්නේ බ්‍රහස්පති සිටීම අතිශයින්ම ප්‍රබලවත් තවත් ගජකේශරී යෝගයක් වෙයි. සඳුට හත්වැන්නේ ග්‍රහයන් සිටීම යහපත් නැතැයි සාමාන්‍ය මතයක් පවතී. ග්‍රහ සප්තමය ප්‍රත්‍යක්ෂ වෛරී දෘෂ්ටිය යනුවෙන් යම් යම් තැන්වල මෙය හැඳින්වේ. එසේ වුවත් සඳුට හත්වැන්නේ බ්‍රහස්පති සිටීම බෙහෙවින්ම යහපත් කාරණයකි. පෙරකී ප්‍රත්‍යක්ෂ වෛරී දෘෂ්ටිය යන්න මෙහිදී නොයෙදේ. එංගලන්තයේ මහා ප්‍රකට ඡ්‍යොතිෂඥයන් දෙදෙනකු (ඔවුහු එක්කුස උපන් සහෝදරයෝ වූහ) තමන් සිදුකළ නොයෙකුත් පර්යේෂණවල යෙදෙත්දී ඔවුන් ප්‍රත්‍යක්ෂ කරගත් එක් ශාස්ත්‍රීය කාරණයක් නම් සඳුට ගුරු සප්තමය හා රවිට ගුරු සප්තමය මහානුභාව සම්පන්න විශිෂ්ට යෙදුමක් බවයි. එනිසා සඳුට ගුරු සප්තම වීමෙන් යෙදෙන ගජකේශරී යෝගය යෝගයන් අතර මහානර්ඝ යෝගයක් වෙයි.

4 වැන්නෙන් සහ 10 වැන්නෙන්

ගජකේශරී යෝගය යෙදීම

මේ හැර සඳුට 4 වැන්නේ ගුරු සිටීම හා සඳුට 10 වැන්නේ ගුරු සිටීම ද ගජකේශරී යෝගය වේ. එම යෝගයන් ද විශිෂ්ට ප්‍රතිඵල ගෙනදීමෙහි ප්‍රබල සාධකයක් වෙයි.

ගජකේශරී යෝගය යන්නෙන් අර්ථවත් කරනුයේ ඇතුන් මැද වන් සිංහයා වැනිය යන්නයි. ගජ යනු ඇතාය. කේශර යනු සිංහයායි. සඳු හෙවත් චන්ද්‍ර ග්‍රහ දෙවියන්ගේ වාහනය වන්නේ ද හස්තියායි. බ්‍රහස්පති හෙවත් ගුරු දිව්‍ය රාජයාගේ වාහනය වන්නේ සිංහයායි. මෙනිසා සඳු, ගුරුගෙන් යෙදෙන මේ යෝගය ගජකේශරී නම් යෝගය වෙයි.

ගජකේශරී යෝගයේ ප්‍රතිපල

මෙකී ග්‍රහයන් දෙදෙනාම අධි මිත්‍ර ග්‍රහයන් වේ. සඳු සිතුවිලිවලට ප්‍රධානියා වන අතර සෞම්‍ය චින්තනයක් ජන්මියාට ලබා දෙයි. ගුරු ප්‍රඥාවන්ත බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගත්කම පිරි ග්‍රහයකු වේ. එනිසා මේ දෙදෙනාගේ එකතුව, සංයෝගය නිසා යම් ජන්මියකු ප්‍රබල තත්ත්වයට පත්වෙයි.

ජන්මියකුට මේ යෝගය යෙදුණු විට එම ජන්මියා ගමක නගරයක ප්‍රධානියකු වන අතර ජනතාවගේ ප්‍රසාදයට ලක්වෙයි. එලෙසම අවුරුදු අනූවකට වැඩි දීර්ඝ ආයුෂයකටද එම ජන්මියා හිමිකම් කියයි.

එවැන්නෝ කීර්තිමත් නැණනුවණින් යුත් ප්‍රඥාවෙන් යුතු ප්‍රසිද්ධිය ගෞරවය ඇති අන්‍යයන් අතර ඉහළ නමක් ලබාගැනීමේ හැකියාව පවතින යන එන හැම තැනකදීම වටිනාකමක් උරුම වන්නාවූ ශ්‍රේෂ්ඨයෝ වෙති. මෙහිදී ගතයුතු එක් කාරණයක් පවතී.

ගුරු - සඳු පාප සංයෝගී වීම

ගජකේශරී යෝගය ඇතත් එම සඳු ගුරු දෙදෙනා පාපයන්ට මැදිවි පාප තර්කරී වී පාප සංයෝග වී ඇත්නම් ඊට අදාළ නිසි ප්‍රතිපල නොලැබෙන බවයි. පිරිසුදුව යෙදෙන මේ ගජකේශරී යෝගය පුද්ගලයාව ඉහළ තලයකට පත් කරන්නේමය.

7 වැන්නේ යෙදෙන අධියෝගය

අධියෝගය මහත් ප්‍රශස්ත යෝගයකි. එහිදී සඳුගෙන් 6,7,8 බුධ, ගුරු, සිකුරු වැනි ග්‍රහයන් සිටීම ඊට අදාළ නියමයයි. එහෙත් එම යෝගයේදි සඳුගෙන් 7 ගුරු නොවී සඳුගෙන් 6,8 ගුරු සිටින්නේ නම් අධියෝගයේ ප්‍රතිපල එතරම් පිරිසුදු නොවන්නේය. එනිසා අධියෝගය වුවද සප්‍රාණික වීමට නම් එය සඳුගෙන් 7 ගුරු සිටින ගමන් යෙදෙන ගජකේශරී යෝගය සහිත අධි යෝගයක් විය යුතුය. එලෙසින් ගජකේශරී යෝගය යෝගයන් අතර අග්‍රගණ්‍ය යෝගයක් වේ.

ජාතක රත්නාකරයේ ගජකේශරී යෝගය මෙසේ දැක්වේ.

සඳු ගෙන් සිවු කෙඳුරෙහි යම්කිසි තැන යෙදුණොත් සුරගුරු බලයට සපැමිණ

තෙද යුත් ගජකේශරී නම් යොගවන

තෙද ඇත්තන් වෙති උපනුන් එයොගින.

ගජකේශරී යෝගය යෙදීම සඳහා චන්ද්‍රයාත් ගුරුත් පාප පීඩිත නොවී පවතී නම් ප්‍රතිඵල යහපත් වන බව මෙයින් ද ගම්‍යමාන වේ. මේ යෝගය සහිත පුද්ගලයන් ලොව කීර්තිමත් අය වන අතර සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත්වේ යන්න මෙහි තේරුම වේ.

 

ගජකේශරී යෝගය යෙදුණෝ

එතෙක් මෙතෙක් ලොව තුළ බිහිවූ අග්‍රගණ්‍ය බලවත් ජන්ම පත්‍රයක් හිමි වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ උත්පත්ති කටක ලග්න කේන්දරයේ ලග්නාධිපති සඳු ගෙන් දසවැන්නේ ගුරු යෙදීමෙන් බුදුන්වහන්සේට ගුරුගෙන් යෙදුණු ගජකේශරී යෝගයද උදාකරමින් පැවැතිණි. ගජකේශරී යෝගය උන්වහන්සේගේ ජන්ම පත්‍රයේ පැවැති පංච මහා පුරුෂ යෝගවලට අමතරව යෙදුණක් විය. එම යෝගයේ බලය කෙතෙක්ද යන්න බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රය අධ්‍යයනයෙන් ඕනෑම අයකුට පැහැදිළි වනු ඇත.

විශේෂයෙන්ම ගජකේශරී යෝගය කටක රාශියේදී යෙදුණු විට ජීවිතයේ ලෝකෝත්තර දිවියට යොමුවන බවට ඡ්‍යොතිෂය සඳහන් වෙයි. මෙයට කදිම උදාහරණය වන්නේ ගජකේශරී යෝගය යෙදුණු අප බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රයමයි.

ලොව පුරා කීර්තියක් අත්කරගත් ගජකේශරී යෝගය යෙදුණු රාජ්‍යනායකයන් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වැනි අය ලංකාවේ බිහිවූවන් බව හඳුන්වන්නට හැකිය.

ගජකේශරී යෝගය යෙදී ඇති ජන්ම පත්‍ර හිමියන්ට ගුරු ගේ කවචය සජ්ඣායනා කිරීමෙන් වඩ වඩාත් යහපත් ප්‍රතිඵල අත්විදීමට ඉඩ ප්‍රස්ථාව හිමි කර ගත හැකිය.

දේවානාඤ්ච ඍෂි නාඤ්ච
ගුරුං කාඤ්චන සන්නිභං
බුද්ධිමන්තං තිලෝකේසං
තං නමාමී බ්‍රහස්පතිං

එලෙස ගුරු දේවාතවුන්ට මෙන්ම සරස්වතියට වන්දනා කිරීම කළ යුතුය. පුෂ්පරාග මැණික් පැලඳීම බෝගසට සාත්තු කිරීම යහපත් ප්‍රතිඵල ගෙන එන බැව් පැවැසිය හැකිය.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.