ඔබේ ලග්නය අනුව ලොතරැයි ජය ගෙනෙන්නේ මෙහෙයි

නොවැම්බර් 15, 2024

වර්තමාන කාලයේ හැටියට බොහෝ දෙනාට ආර්ථික අමාරුකම් තදින් දැනේ. මේ නිසා කුමන ක්‍රමයකින් හෝ තමන්ට ධනයක් ලැබේ නම් අපි කවුරුත් කැමතිය. යම් කිසි ජන්ම පත්‍රයක ධන යෝග යෙදී ඇත්නම් එවැනි අයට කුමන ක්‍රමයකින් හෝ ආර්ථික දියුණුවක් ලැබෙන බව කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් අප ලැබූ අත්දැකීම් අනුව පැහැදිලිය.

යම් කිසි ජන්ම පත්‍රයක දෙවැන්නාධිපති හා එකොළොස් වැන්නාධිපති පරිවර්තනය වී හෙවත් මාරු වී ඇත්නම් එවැනි අයට පහසුවෙන් මුදල් ලැබේ.

තවද දෙවැනි භාවය තුළ ගුරු බුධ සිකුරු ශනි උච්චව ස්වක්ෂේත්‍රව සිටීමද බලවත් ධන යෝගයකි.

එවැනි යෝග තිබුණත් නැතත් කෙනෙකුට ලොතරැයි ඇදෙන ක්‍රමයක් අද ඔබට පෙන්වා දෙමි. එක් එක් ලග්නවලට ලොතරැයි ඇදෙන ක්‍රම තිබෙන අතර මේෂ ලග්නයට ලොතරැයි ඇදෙන්නේ මෙසේය. මේෂ ලග්නයට 11 වැනි භාවය වන්නේ කුම්භ රාශියයි. එවිට කුම්භ රාශියට අධිපති දිනය වන්නේ සෙනසුරාදා දිනයයි. එවිට ලොතරැයි ගන්නට තිබෙන්නේ සෙනසුරාදා දින බුධ හෝරාව තුළදීය. සෙනසුරාදා දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 11.00 සිට 12.00 දක්වා කාලය තුළයි. එවිට මේෂ ලග්න හිමියන් ලොතරැයි ගත යුත්තේ සෙනසුරාදා දිනවල පෙ.ව. 11ත් 12ත් අතර කාලය තුළය. මෙහිදී සෑම මාසයකම සෑම දිනයකදීම එකම වේලාවට හිරු උදා නොවේ. මේ නිසා ඒ දිනයන්හි හිරු උදාව අනුව වේලාව සාදා ගෙන ලොතරැයි ගත යුතු අතර තමාගේ ජය අංකයට අනුව ලොතරැයි ගැනීම සුදුසුය. මේෂ ලග්නකරුගේ ජය අංකය වන්නේ 1, 4 වැනි අංකයන්ය.

මීළඟට වෘෂභ ලග්නයට ලොතරැයි ඇදෙන ක්‍රමය බලමු. වෘෂභ ලග්න හිමිකරුවන්ගේ 11 වැන්න එන්නේ මීන රාශියයි. එවිට වෘෂභ ලග්නකරුවන් ලොතරැයි ගත යුත්තේ ගුරු දින එනම් බ්‍රහස්පතින්දා දිනයේ ය. ගුරු දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය තුළයි. මෙහිදී ද එදින ඉරු උදාව සලකා ලොතරැයි ගැනීම සුබය. වෘෂභ ලග්න හිමිකරුවන්ගේ ජය අංකය වන්නේ අංක 6 ය.

ඊළඟට මිථුන ලග්නකරුවන් ලොතරැයි ගත යුතු ක්‍රමය බලමු.

මිථුන ලග්න හිමි කරුවන්ගේ 11 වැන්න වන්නේ මේෂ රාශියයි. එවිට මිථුන ලග්නකරුවන් ලොතරැයි ගත යුත්තේ අඟහරුවාදා දිනවලයි. කුජ දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 9.00 සිට 10.00 දක්වාත් පස්වරු නම් ප.ව. 4.00ත් 5.00ත් අතර කාලය තුළයි. මිථුන ලග්න කරුවන්ගේ ජය අංකය වන්නේ 3, 5 වැනි අංකයන්ය. මෙහිදී ද එදින හිරු උදාව අනුව වේලාව සකස් කර ගෙන ලොතරැයි ගත යුතු බව සලකන්න.

කටක ලග්නකරුවන් ලොතරැයි ගත යුත්තේ සිකුරාදා දිනවලය. සිකුරාදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ උදේ 7.00 ත් 8.00ත් අතර කාලය තුළයි. පස්වරු නම් ප.ව. 2.00 - 3.00 අතර කාලය තුළයි. මෙහිදී ද පෙර පරිදිම ඒ ඒ දිනයන්හි හිරු උදාව අනුව වේලාව සකස් කර ගත යුතුය.

සිංහ ලග්නකරුවන් ලොතරැයි ගත යුත්තේ බුධ දිනයි. බුධ දින බුධ හෝරාව පටන් ගන්නේ උදේ 6.00ත් 7.00 ත් අතර කාලය තුළයි. පස්වරු නම් ප.ව. 1.00 - 2.00ත් අතර කාලය තුළයි. මෙහිදීද හිරු උදාව අනුව වේලාව සකස් කර ගත යුතු අතර ජය අංකය වන්නේ 1 - 4 වැනි අංකයන්ය.

කන්‍යා ලග්නකරුවන් ලොතරැයි ගත යුත්තේ සඳුදා දිනවලය. සඳුදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ දහවල් 12.00ත් 1.00 ත් අතර කාලය තුළදීය. රාත්‍රී නම් රාත්‍රී 7.00 ත් 8.00 ත් අතර කාලය තුළයි. පෙර සේම හිරු උදාව අනුව වේලාව වෙනස් කර ගත යුතු අතර ඔවුන්ගේ ජය අංකය වන්නේ 3, 5, 7 වැනි අංකයන්ය.

තුලා ලග්නයට ලොතරැයි ඇදෙන ක්‍රමය වන්නේ ඉරිදා දවස තුළ බුධ හෝරාවේය. ඉරිදාට බුධ හෝරාව යෙදෙන්නේ උදේ 8.00 සිට 9.00 දක්වා කාලය තුළයි. සවසට නම් පස්වරු 3.00 සිට 4.00 දක්වා කාලයයි. තුලා ලග්නකරුගේ එම අංකය වන්නේ 6 ඉලක්කමයි. අනිකුත් ලග්නවලට මෙන්ම තුලාවට ද ඒ ඒ දිනයන්හි හිරු උදාව අනුව වේලාව සකස් කර ගත යුතුය.

මීළඟට වෘශ්චික ලග්නයට ලොතරැයි ඇදෙන ක්‍රමය බලමු. එම රාශියට ලොතරැයි ගත යුත්තේ බදාදා දිනවලය. බදාදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ උදේ 6.00 සිට 7.00 දක්වාත් පස්වරු නම් 1.00 සිට 2.00 දක්වා කාලය තුළයි. රාත්‍රී කාලයට වුවත් බුධ හෝරාව සුබය. වෘශ්චික රාශියට සුබ අංක වන්නේ 1, 2, 4 වැනි අංකයන් ය. මෙහිදී ද හිරු උදාව අනුව වේලාව සකස් කර ගන්න.

ධනු රාශි හිමි අයට ලොතරැයි ගැනීමට තිබෙන්නේ සිකුරාදා දිනවලය. සිකුරාදා බුධ හෝරාව උදා වන්නේ උදේ 7.00 ත් 8.00ත් සවස 2.00 - 3.00ත් අතර කාලය තුළයි. 3, 5, 8 ජය අංකයන්ය.

මකර රාශියට ලොතරැයි ගත යුත්තේ පෙ.ව. 9.00 - 10.00 අතර කාලය තුළයි. ජය අංකය වන්නේ 7 යි. කුම්භ රාශියට ලොතරැයි මිලදී ගත යුත්තේ ගුරු දිනයි. ගුරු දින පෙ.ව. 10.00 - 11.00 ත් අතර කාලය තුළයි. ජය අංක වන්නේ 3, 7, 8 වැනි අංකයයි.

මීන රාශියට ලොතරැයි ගත යුත්තේ සෙනසුරාදා දිනවල පෙ.ව. 11.00 - 12.00 ත් අතර කාලය තුළදීය. ප.ව. නම් 6.00 ත් 7.00 ත් අතර කාලය තුළයි. ජය අංකය වන්නේ 3, 9 වැනි අංකයන් ය.

සියලුම ලග්නකරුවන් ලොතරැයි පත් මිලදීගත යුත්තේ ඒ ඒ දිනවලට හිරු උදාව අනුව හෝරාව සකස් කර ගෙනය. මෙහිදී ඒ ලග්නවලට බුධ ග්‍රහයා 11 වැන්නට පැමිණෙන කාලසීමාව විශේෂ වන අතර කෙනෙකුගේ ධන යෝග යෙදී ඇත්නම් බුධ මහ දශාව හා බුධ අංගජයත්, විදශාවත් ලබා බුධ ග්‍රහයා කේන්ද්‍රයේ උච්චව ස්වක්ෂේත්‍රව මිත්‍රව සිටී නම් අනිවාර්යයෙන්ම කෙනෙකුට ලොතරැයි දිනුමක් ලැබෙන බව ඡ්‍යොතිෂයේ උගන්වයි. හෝරාව යෙදෙන ආකාරය ලිතකින් හෝ ඡ්‍යොතිෂ පත්‍රයකින් බලාගත හැකිය. රාත්‍රී කාලයට වුවත් බුධ හෝරාව යොදා ගැනීම සුදුසුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.