වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 6-15-24 දිනයක නම් විනෝදයට බර ප්‍රියමනාප අයෙකි
ජන්ම අංක හය නියෝජනය කරන්නේ ග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා විසිනි. එබැවින් ජන්ම අංක 6 න් උපන් ඔබ සිකුරු හෙවත් වීනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ග්‍රහ මණ්ඩලය තුළ ඉතා දීප්තිමත් තාරකාවක් වන සිකුරු ග්‍රහයා අලංකාරය, විනෝදය, සතුට, කාමය සහ ලිංගිකත්වය මෙන්ම සියලු කලාවන් ද නියෝජනය කරයි.
ඔබ ජන්ම අංක 6 න් උපන් ස්ත්‍රියක් නම් බොහෝ විට ඉතා රූමත් අයකු වීමට ඉඩ තිබේ. ජන්ම අංක හයෙන් උපන් ලෝකයේ බොහෝ ස්ත්‍රීහු ඉතාමත් රූමත් අය වෙති. පිරිමි අයකු වුවද ඉතාමත් කඩවසම් අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකි රූප විලාසයකට උරුමකම් කියයි. වයස ගියත් තාරුණ්‍යයේ ගති ලක්ෂණ පෙන්නුම් කරයි. එමෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයද නිරායාසයෙන්ම ලැබේ. ජන්ම අංක හයෙන් උපන් අය ඉතාමත් ලස්සනට ප්‍රියමනාප ලෙස අඳීන්නට පලඳීන්නට කැමති වෙයි. පිරිසුදු භාවය සහ පිළිවෙළ ඉතා අගය කරයි. ඒ වගේම අපිරිසිදු සහ අවලස්සන ස්ථානවල වාසයට මොවුන් කිසිසේත්ම ප්‍රිය නොවන අතර ඉන්න තැන බොහොම පිරිසිදුවට පිළිවෙළට ලස්සනට තබා ගැනීමට කැමති වෙයි. නිතරම විනෝදයෙන් සිටීමට කැමති මොවුන් ඒ සඳහා වියදම් කිරීමටද පසුබට නොවේ. එමෙන්ම ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් මෙන්ම සුව පහසුවට ජීවත්වීමට මොවුන් නිතරම උත්සාහ ගනියි.
ජන්ම අංක හයෙන් උපන් ඔබ ඉතාමත් ආකර්ෂණීයව අනිත් අයගේ සිතට දැනෙන ආකාරයෙන් කතා කිරීමට ද අදහස් ඉදිරිපත් කිරීමට ද දක්ෂ වෙයි. ඉතා සමාජශීලි ගති ලක්ෂණ පෙන්නුම් කරන මොවුන් නිතරම සිනහවෙන් සහ සතුටින් සිටීමට කැමති අයයි. ඉතාමත් නිර්මාණාත්මක මෙන්ම කලාත්මක හැකියාවන් සහ දක්ෂතා මොවුන්ට සහජයෙන් උරුම වෙයි. කුඩා කල ම එම හැකියා දක්ෂතා හඳුනාගෙන දියුණු කර ගතහොත් එම අංශයෙන් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට පුළුවන. මොවුන් තමන්ගේ හැඩහුරුකම සහ රූප ස්වභාවය පිළිබඳ නිතර උනන්දු වෙයි. පරණ ඇඳුම් සහ විලාසිතාවලට කැමති නැත. අලුත් පන්නයට අඳීන්නට පලඳීන්නට කැමතිය. තම තරුණ පෙනුම රැක ගැනීමට ද උනන්දු වෙයි. තනියම හුදෙකලාව ජීවත් වීමට අකමැති අතර සමාජය තුළත් යහළු මිත්‍රයන් අතරත් නිතර ගැවසීමට ආසා කරයි. මොවුන් කුමන තත්ත්වයක හිටියත් තමන්ගේ තත්ත්වයේ තරාතිරමේ හැටියට සමාජය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකර ගනියි. එමෙන්ම අන් අයගේ අඩුපාඩු දුර්වලතා මොවුන්ට හොඳට පෙනේ. එහෙත් තමා තුළ කෙතරම් අඩුපාඩු දුර්වලතා තිබුණත් ඒවා කිසිදු විටෙක පිටට පෙන්නන්නට කැමති නැත. අනුන්ගේ රහස් හෙළි කර ගැනීමට සහජ ඉවක් මෙන්ම දක්ෂතාවයක් ඇති මොවුන් පෙනෙන ඇසෙන දෙයට වඩා වැඩි දෙයක් හැමවිටම තේරුම් ගනියි. එමෙන්ම තමන්ගේ රහස් සඟවා ගැනීමටද දක්ෂ වෙයි.
ජන්ම අංක හයෙන් උපන් අය ලෝකෝත්තර අධ්‍යාත්මික ජීවිතයකට වඩා ලස්සන ලෞකික ජීවිතයක් ප්‍රාර්ථනා කරයි. තමා ඉතා සැපවත් ජීවිතයක් ගත කරන බව පෙන්වීමට මොවුන් කැමතිය. මොවුන්ට වත්පොහොසත්කම් තිබුණත් නැතත් බාහිර පෙනුමෙන් කාටවත් එය සිතා ගැනීමට නොහැකිය. මොන තරම් අපහසුතා දුක් කම්කටොලු වින්දත් ඒවා කිසි විටෙකත් දුකක් ලෙස පිටතට පෙන්වීමට කැමති නොවේ. එමෙන්ම යහපත සහ අයහපත පිළිබඳ සිතා බලා තීන්දු තීරණ ගැනීම සිරිතක් වෙයි. නිතරම සතුටින් හා විනෝදයෙන් සිනහමුසු මුහුණින් ගත කිරීමට කැමති මොවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම වනවා සේම දීර්ඝායුෂ විඳීමේ වාසනාව ද ඇත්තෝ වෙති. ඕනෑම කෙනෙකුගේ අවධානය පහසුවෙන් දිනාගත හැකි මනා පෞරුෂයකින් හෙබි මොවුන්ට දන්නා නොදන්නා ඕනෑම ඉහළ නිලධාරියකු සමඟ වුවද පහසුවෙන් කටයුතු කළ හැකි අතර ඔවුන් තමන් වෙත නම්මවා ගැනීමේ හැකියාවක්ද පවතී. මොවුන්ගේ හැඩරුව පෞරුෂය සහ කතාව නිසා බොහෝ විට අන් අය මොවුන්ට එකඟ වෙයි.
මොවුන්ගේ දැකිය හැකි එක් දුර්වලතාවයක් වන්නේ එක ස්ථිර සිතුවිල්ලක ස්ථාවරව පැවතීමට නොහැකි වීමයි. විටින් විට සැලසුම් වෙනස් කරයි. අද කරපු දේම හෙට කරන්නට ඕනෑය කියා නොසිතයි. එහෙම අමුතු මතක තබා ගැනීමක් ද නැත. ඒ ඒ වෙලාවට අවශ්‍ය විදිහට කටයුතු කරයි. එක තැනක බොහෝ වේලා රැඳෙන්නට ද කැමති නැත. නිතරම ඉක්මන් වෙනසක් අපේක්ෂා කරයි. එක දෙයක් ගැන දිගින් දිගට කල්පනා කිරීමට ද කැමති නැත. මේ අය තීන්දු තීරණ ගැනීමට පෙර සහ යමක් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතා බලන ලෙසට අවවාද කරමි. සමාජයේ දී අන් අය සමඟ සුහදශීලීව කටයුතු කිරීමේ හැකියාව පවතියි. සතුටු සාමීචියේ යෙදීමට ද ප්‍රිය කරයි. එහෙත් මොවුන් වඩාත් සතුටු වන්නේ තමන්ගේ අදහසට අන් අය එකඟ වනවා නම් පමණි. ඔවුන් දරන අදහසට මතයට විරුද්ධ යම් අදහසක් හෝ මතයක් යම් අයෙක් ඉදිරිපත් කළ හොත් එයට එකඟ වන්නේ කලාතුරකිනි. ඔවුන්ගේ මතයට අන් අය එකඟ නොවන විට හිතින් අමනාප වී තනියම කම්පා වෙයි. බොහෝ විට එතැන රැඳී නොසිට ඉවත් වෙයි. මොවුන් ප්‍රමුඛතාවය සහ මූලිකත්වය ලැබීමට ඉතා ප්‍රිය කරයි.
දෙමව්පියන් කෙරෙහි හොඳ සහකම්පනයක් මොවුන්ට ඇත. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු කැපකිරීම් කරයි. හොඳ පවුල් සාමාජිකයන් ලැබීමට වාසනාවන්ත වෙයි.
ජන්ම අංක හයෙන් උපත ලබපු බොහෝ අය සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරනු පෙනෙයි. බොහෝවිට ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහය සිදුවෙන බව පෙනේ. තම සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කර දීම සහ ඇයගේ හෝ ඔහුගේ අවධානය දිනා ගැනීමට මොවුන් ඉතා දක්ෂ වෙයි. අනුන්ගේ සුළු සුළු අඩුපාඩුකම් බොහොම ඉක්මනින් පෙනෙන සහ ඒවා විවේචනය කරන ස්වභාවයකින් යුතු ජන්ම අංක 6 හිමියන් බොහෝ විට විවාහ ජීවිතය තුළ ප්‍රශ්න ඇති කර ගන්නේද ඔවුන්ගේ මේ දුර්වලතාවය නිසාමය. සමහර විට මොවුන්ගේ හිතේ තිබෙන දැඩි ආදරය කැමැත්ත සහ වුවමනාව නිසාද එසේ වනවා විය හැකිය. එමෙන්ම නිතරම හිතේ පවතින්නාවූ සැක මුසු ස්වභාවයද විවාහ ජීවිතයේ දී බාධාවක් බවට පත්වෙයි. වඩා යහපත් විවාහ ජීවිතයක් වෙනුවෙන් එම දුර්වලතා මඟහරවා ගැනීම ඉතා වැදගත් වනු ඇත. රහස් ප්‍රේම සබඳතා සම්බන්ධයෙන් ද මොවුන්ට එක් අත්දැකීමක් හෝ ලැබී තිබෙයි. කෙසේ වෙතත් යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමේ හැකියාව මොවුන්ට පවතී.
ජන්ම අංක හයෙන් උපන් ඔබගේ අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන මනාකොට ජීවිතය කළමනාකරණය කරගැනීම තුළ සියලු අභියෝග ජයග්‍රහණය කරගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇතිකරගත හැකිය.