ඵල ලැබුණ වස්කවි

මැයි 31, 2019

වස් කවි කරණයේ දී ස්වර වේදය විශේෂ ශක්තියකි. එසේම අශුභ වස්තු අශුභ වචන, අශුභ ගණ, යෝනි ආදිය ප්‍රධාන වේ. ඒ අනුව පද්‍ය ආරම්භය දී ‘දුකා’ යන අශුභ යෙදුමෙන් පැහැදිලි වේ.

ඉටු සහ අනිටු පල උදා කිරීම පිණිස යොදා ගැනෙන පද්‍ය ක්‍රමයෙහි දක්ෂතා දැක්වූ රචකයන් පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ සැලැකිය යුතු ප්‍රමාණයකුත් ඇතැම් පොත පත ආශි‍්‍රතව මෙන් ම ජනප්‍රවාද තුළින් ද සඳහන් වේ.

ගුප්ත ශාස්ත්‍රීය විෂයයක් වශයෙන්ද සැලකෙන මෙය විස්මිත පද්‍ය ක්‍රමයක් යනුවෙන්ද හැඳින්වේ. සෙත් කවි සහ වස්කවි යන දෙ අංශයෙහි ම පවතින්නේ අදිසි බලවේගයකි. එම බල වේගය ලැබීමට ආයාචනය කරන්නේත් තවත් අදිසි බලවේගයක් වූ දෙවියන්ට සහයක් වූ පියස් ගණයාටය. ඉටු පල හෙවත් ශුභ පල වෙනුවෙන් දෙවියන්ට ආයාචනා කෙරේ. ඒ සෙත් කවියෙනි.

දෙවියන්ට මෙන්ම ඇතැම් අපරාධවල දී යකුන්, බූපිසස් වැනියන්ට පවරා දී දඬුවම් පැමිණවීම සඳහා වස් කවිය උපයෝගී කර ගන්නා බව දක්නට ලැබේ. අතීතයේ විසූ ගුප්ත කාව්‍ය රචකයින්ගේ වස් කවි ප්‍රබන්ධ තුළින් එය පැහැදිලි වේ. එකල මෙම විෂයට දස්කම් දැක්වූවන් අතර කුංකුණාවේ හිමි, බරණ ගණිතාචාර්ය, මලවැන්නේ කවිධජ සාමි, මිහිරි පැන්නේ සාමි, වැනි රචකයින් ඒ අතර ප්‍රකටය. මොවුන් විසින් රචිත වස් කවි අතරින් කීපයක් මෙහි දැක්වේ. වස් කවි කරණයේ දී පැරැණි රචකයින් භාවිතා කරන ලද ගණ, අක්ෂර, විරිත් හා උපමා පිළිබඳව එමඟින් යම් අවබෝධයක් ද ලැබේ.

පන්සලේ ඇති කළ කුකුළකු සොරා ගෙන මරා කෑ සොරෙකුට දඬුවම් ලබා දීමට ‘කුංකුණාවේ හිමියන් විසින් රචිතයැයි සඳහන් වස් කවිය මෙසේ ය. මෙම කුකුළා සොරකම් කළ තැනැත්තා දොවන් නමැත්තෙකි.

දී දුකා නොතකා දෙලෝ පන්සලේ සිටි කුකුළා සපා

කෑ එකා වෙනෙකා නොකා හරිදෝ අනේ සුරිඳුනි සපා

මේ ලකා නොරඳා දොවන් කියනා එකා ඔබ තෙදණපා

ඌ මකා උමතූ කරා හරු කුකුළ් හොර විස සිඳ දපා

දොවන් නම් වූ අභිධානයට අනුව මෙහි නාමාක්ෂරයම පද්‍යයේ ආරම්භයට යොදා තිබේ. එහෙත් මෙහි පළමු වචනය දී දුකා යන්නයි. නාමයේ ‘දො’ අක්ෂරයේ ස්වරය ද්+ඔ බැවින් ‘ඕ ස්වරයයි. කවියේ ආරම්භක අක්ෂරය හා වචනය ‘දී’ යනුයි. එහි ස්වරය ද් + ඊ = ඊ යන්නය. ‘ඔ’ ස්වරයට ‘ඊ’ ස්වරය වේද වේ. වස් කවි කරණයේ දී ස්වර වේදය විශේෂ ශක්තියකි. එසේම අශුභ වස්තු අශුභ වචන, අශුභ ගණ, යෝනි ආදිය ප්‍රධාන වේ. ඒ අනුව පද්‍ය ආරම්භය දී ‘දුකා’ යන අශුභ යෙදුමෙන් පැහැදිලි වේ. එය ‘ර’ ගණය (අග්නිගණය) සමඟ නැවතත් එම ගණයම යොදා තිබීම මරණ භය ඇති කරන විපාක බව සඳහන් වේ.

ඉන් පසු ‘ය’ ගණය (ජල ගණය) ද නැවත ‘ර’ සහ න ගණයද අවසන්ව ‘ර’ ගණයද යෙදේ. මුල් ගණ යෙදුම දරුණු විපාක දෙවන්නකි. එහෙත් මරණය හෝ දරුණුතම විපාකයක් නොදී, දුක් පීඩා වැනි දඬුවම් පැමිණැවීම පිණිස ශුභ ගණ වූ, ජල ගණය, චන්ද්‍ර ගණය හා දේව ගණය යොදා ඇත. මෙම කවියෙහි සෙසු පාද තුන තුළ ද මෙවැනිම ගණ යෙදුමක් පවතී. ‘දොවන්’ යන අභිධානයට ඉදිරියෙන් ‘නොරඳා’ යන වායු ගණයත්, පසුව ‘කියනා’ යන වායු ගණය නැවතත් යෙදීමෙන් සොරාට දරුණු විපාක ලත් බව සඳහන් වේ. කුංකුණාවේ හිමියන් විසින් ම රචිත මෙම වස් කවිය ද ‘ජ’ (සූර්ය) ගණ දෙකක් ආරම්භයෙහි යෙදී ‘න’ (දේව) ගණයට පසු වායු ගණයකින් අවසන් කර තිබේ. මෙය පන්සල් වත්තේ ගස්වලින් කුරුම්බා ගෙඩි හොරා කන හොරෙකුට දඬුවම් පැමිණවීමට කියන ලද වස් කවියකි.

මොකාදෝ එකා මට නොදැනෙයි මේකා

කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා

මකා මේවකා මූගේ කුළල් කකා

යකා මහ සොහොන් මුගෙ දිවි ගන් සනෙකා

මෙම වස් කවිය මහසොහොන්යකුට බාර කරන ලද්දකි. මේ කවියෙහි ‘මූ’ යන අභිධානයට පෙර මේ වකා යන ‘ර’ ගණය සහ පසුවත් එම ගණයම යොදා ඇත. මාත්‍රා දහ අටකින් යුතු කවියකි. මෙම කවිය කියැවීමෙන් පසුව කුරුම්බා කෑ හොරා රිළවකු බවත්, ඌ කොටියෙකු විසින් ගොදුරු කර ගන්නා ලදැයි ද ජනප්‍රවාදයේ සඳහන් වේ.

ගිරයක් සොරා ගත්තෙකුද කෙමිනක් ගෙන ගිය සොරෙකුට ද කියන ලද වස්කවි දෙකක් ද මුඛ පරම්පරා ගත කතා අතර වේ. ශුභ ගණයක් සමඟ අශුභ ගණ ද යොදා ඇති මෙම කවි දෙකද කුංකුණාවේ හිමියන් විසින් රචිතයැයි එහි සඳහන් ය. එම කවි දෙක මෙසේ ය.

හත් අට වරේ හොරකම් එළි වුණා තිරේ

මත්තට දුරේ වැටෙතියි කිවු අවිචි නිරේ

අත් පිට මරේ කටිමින් ගෙට වෙලා හිරේ

ගත්තට ගිරේ වැදගන් දෙවි රාම සැරේ

එය ගිරය ගත් සොරාට රචිත වස් කවියකි. කෙමිණ ගත්තෙකුට දඬුවම් පිණිස රචිත වස් කවිය මෙසේ ය.

‘මුරු අණ බෙලෙන් රෝ දුක් ගත වැඩීගන්

දොරුවන් වදින ඉස්සන් බඩ පාගන්

කිරුමෙන් තරාදිය බරණින් බලාගන්

ගුරුදින කෙමිණ ගත්තෙකු යකු මරා ගන්

මෙම කවි දෙක තුළින් පළමුවැන්න කුංකුණාවේ හිමියන් විසින් රචිත ය. දෙවැන්න බරණ ගණිතාචාරීන් ගේ රචනයකි. මෙම පද්‍යයන්හි වස් කවියට සමීප ලක්ෂණ බහුල බවක් නො පෙනේ. එහෙත් අසාධාරණය වෙනුවෙන් පවතින ආවේගය නිසා හදින් නැගෙන වචන මාලාව ශාප කිරීමකින් යුතුව ප්‍රකාශ වේ. මෙය උපා පාලන විධියක් සේ සැලකේ. වෙනත් අයුරකින් හිංසනය හෝ නීති මාර්ගයට නොගොස් සතුරා තුළ මානසික පීඩනයත්, භීතියත් ඇති කිරීමේ එක්තරා සමාජ පාලනයටත් හේතුවක් වේ. වස් කවියෙන්ද ඒ හා සමාන දෙයක් සිදුවන බව හැඟේ. දුරාතීතයේ සිට ම මෙබඳු සමාජ පාලන විධි පැවැතියේ ය.

මීට වඩා ප්‍රබල ශාස්ත්‍රීය ලක්ෂණ භාවිතා කරමින් වස් කවි හා සෙත් කවි යන අංශ දෙකෙහිම දස්කම් දැක්වූවන් අතරින් මලවැන්නේ කවිධජ සාමි විසින් රචිත ගුප්ත කාව්‍ය පිළිබඳව විශේෂත්වයක් පවතී. ඇඹුල් කෙසෙල් කැනක් කපා පැහැර ගෙන ගිය සොරෙකුට නපුරු විපාක ලබා දෙන ලද, වස්කවි දෙකකි මේ.

කපා ගිය කුස අතුරු බහනද තැබට විදි විස හී සැරා

කපා තුළ තොනසිනා අනුහස දැරුව මෙන් රවුළා මරා

කපා ගති හොරු ඇඹුල් රඹ කැන ඇල්ලෙ පොල තැන්තුබු සරා

කපා ළය මත යකා නංවා කටුක දුක් දෙන් වස් සුරා

ගින්න නංවා දරුණු තෙද රුපු නපුරු මැඩලන වද දි දී

ඉන්න මෙ දෙවොල අරක්ගෙන ඔබ සුනිල් බල පෑ මැන රිදී

පැන්න පිම්මට කෙසෙල් කැන කැපූ ගත්ත තව එළවළු පොදී

දෙන්න මුන්හට වඳුරු හෙණ ගිනි උවිඳ වියරුද මර නිදී

වස් කවි දෙකෙහිම යෙදුම් ප්‍රබලය. අශුභ ශබ්ද හා අශුභ වස්තු සඳහන් වචන භාවිතය ප්‍රබලය. පළමු පද්‍යයේ දී අභිධානය හොරු ය. ‘හො’ අක්ෂරයට වධ නැකතට අයත් ‘ක’ අක්ෂරයෙන් ආරම්භ වේ. ‘ජ’ (සූර්ය) ගණයෙන් පද්‍ය ආරම්භ වේ. රෝග දුක එහි විපාකයයි. උපමාව ද දරුණු ක්‍රියාවක් පිළිබඳ ප්‍රවෘත්තියකි. මෙය යකාට පවරා කටුක දුක් දීමට භාර කරන ලද්දකි.

දෙවැන්න මුන්හට යන අභිධානයට අනුව ‘මු’ අක්ෂරයට ප්‍රත්‍යාරී නැකතේ ‘ගි’ අක්ෂරයෙන් ආරම්භ වේ. අශුභ වස්තු අශුභ වඩන, බහුලව යොදා ඇති අතර නපුරු විපාක ලැබීමට අයදියි. පද්‍ය දෙකෙහි විරිත ද වස් කවියට උචිතය. ප්‍රාණවත් ය.

මෑත භාගයේ විසූ ගුප්ත කාව්‍ය රචකයන් අතර විශිෂ්ටම සෙත් කවි හා වස් කවි රචකයා මලවැන්නේ කවිතිලක සූරීන් ය. හෙතෙම මෙම දෙඅංශයෙන්ම දැක්වූ දක්ෂතා අසිරිමත් ය. විස්මකුරුය. හෙතෙම රචිත ගුප්ත කාව්‍යයන් එකල දින වකවානු සහිතව පුවත් පත්හි ද සඳහන් විය. එබැවින් කවිතිලක සූරීන් විසින් රචිත අක්ෂිදාන ව්‍යාපාරය ආරම්භ කර එය ලොව පතල කරමින් අක්ෂි ආබාධිත ජනතාවට පෙනීම ලබාදීමේ මහඟු පුණ්‍ය කර්මයෙහි පුරෝගාමී දොස්තර හඩ්සන් සිල්වා මහතාගේ සේවය ජනතාවගේ ප්‍රසාදය දිනා සිටි අවදියේ දී ඊට බාධා කළ නිලධාරී පිරිසක් ද වූහ. මළ මිනියක ඇසක් ගලවා ගැනීමට තහනම් කළ ඔවුහු රෝහලකට ඇතුල්වීම ද තහනම් කළහ. මෙයින් කලකිරීමට පත් එතු මා මෙරට හැර විදේශගතව ලොව ජනතාවට සේවයක් සැලසීමට අදහස් කර ඊට සූදානම් විය. කවිතිලක සූරීන්ට මෙය ඉමහත් කනස්සලු සහිත කරුණක් විය. ඔහු හඩ්සන් සිල්වා මහතාට කරුණු පහදා සිය ශාස්ත්‍රයෙන් පිහිටක් සැලසීම පිණිස විදේශ ගමන ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේ ය. මෙම වස් කවිය තුළින් පත්ව ඇති සතුරු බල බිඳ දැමීමටත්, නැවත ඒ සත් ව්‍යාපාරය ඇරැඹීමටත්, දෙවියන් ඇමැතීය.

1972 මාර්තු මස 29 වැනි දින එවකට ප්‍රකාශනය වූ කිර්තිමත් ඡ්‍යොතිෂ ප්‍රකාශනය වූ ‘ඉරණම’ පත්හිද මෙය සඳහන් වූයේ ‘වස් කවිය වැදුනා’ යන සිරස් තලයෙනි. එවකට පුවත්පත් මගින් ද පළ කරන ලද ප්‍රබල වස් කවිය මෙසේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී සෙත් කවි රචක,

විශ්‍රාමික ආචාර්ය, ශාස්ත්‍රී,

පියදාස කළන්සූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.