කර්තෘට ලියුම්

ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ
ඔක්තෝබර් 11, 2024

 

කුජ සිකුරු යෝගය පිළිබඳ

ජනිත් - ගෝණදෙණිය,

මහත්මියනි,

ඉහත නම් සඳහන් මා මකර ලග්න හිමියෙක්. වරක් කේන්දර පරීක්ෂාවකදී මාගේ කේන්දරයේ කුජ - සිකුරු යෝගය පවතින බව දැන ගන්නට ලැබුණා. මේ යෝගයේ පවතින සුබ අසුබ බව පිළිබඳව ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

------------------

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

7 වැන්නෙහි ශනි පිහිටීම

නම ඇසූ පමණින් බොහෝ දෙනකු බිය වන්නට හේතු වන ශනි 7 වැන්නෙහි පිහිටීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නිරන්තරයෙන් ම කතා බහට ලක්වන්නක්. සුබසෙතට සමීප පාඨක නිකවැරටියේ සුබෝදා ශනි 7 වැන්නෙහි පිහිටීම පිළිබඳ කර්තෘට ලියුම් මඟින් පැනයක් යොමු කර තිබුණා.

එබැවින් ඇයගේ මෙන්ම සුබසෙත පාඨක ඔබ සියලු දෙනාගේ දැන ගැනීම උදෙසා ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ මහතා ලබා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමු.

යුග දිවියේ ඇතිවන දුක, සැප හා වේදනා උපේක්ෂා ගුණයෙන් දරාගෙන ජීවිතේ ගෙන යාමට ශනි හත්වැන්නේ සිටින ජන්මලාභීන් සමත් වන බව පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. එනිසා ශනි හත්වැන්නේ සිටීම විවාහ ජීවිතය කඩාකප්පල් වීමට හේතුවක් නෙවෙයි. සාර්ථක විවාහ දිවියකට ශනි හත්වැන්නට සුබ‍ පිහිටීමක් වන අතර රවි හෝ ගුරු ග්‍රහයකු හත්වැන්නේ පිහිටා ඇත්නම් එය හේතු කොටගෙන විවාහ සහකරු හෝ සහකාරිය අතර අවුල් වියවුල්, වාද විවාදවල පැටලීම සිදුවිය හැකියි. මේ හේතුව නොදැන බොහෝ දෙනකු තම විවාහ ජීවිතය පවා අසාර්ථක කරගන්නා බව නොරහසක්.

එහෙත් ශනි හත්වැන්නේ පිහිටන ස්ත්‍රිය හෝ පුරුෂයා යම් කරුණකදී විරසක වුණත් එය විඳ දරාගෙන ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ ගන්නවා. ඔවුන් තුළ විවාහයෙන් අනතුරුව දියුණුවක් දැකිය හැකියි.

ඡ්‍යොතිෂයට අනුව සෙනසුරු හත්වැන්නේ පිහිටීම විවාහයට ඉතා යහපත් යෝගයක් උදා කරන බව කිව හැකියි.

හත්වැන්න ශනිගේ දික් බල ස්ථානයයි. නොයෙක් පොත්වල සඳහන් වන අන්දමට ශනි 7 වැන්නෙහි පිහිටීම තුළින් විවාහය ප්‍රමාද වූවාට විවාහය කඩාකප්පල් වීමක් සිදු වන්නේ නැහැ. හත්වැන්න මකර, කුම්භ හෝ තුලා රාශියක් වී එහි සෙනසුරු සිටීමෙන් ශනිගේ දික් බලයට අමතරව පංච මහා පුරුෂ යෝගයක් වන සස නැමැති ප්‍රබල යෝගයක් උදාවනවා.

සස යෝගයෙන් උපත ලබන ජන්මීන් උපන් තත්ත්වයට වඩා උසස් තැනකට එම ජන්මියාව රැගෙන යාම සිදුවනවා.

සෙනසුරු හතේ පිහිටීම පිළිබඳව භාරතයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු වන Prof.K.S. Charak හා බටහිර පර්යේෂණවේදී Smith Pieter විසින් කරන ලද ඡ්‍යොතිෂ පර්යේෂණවල ප්‍රතිපල භාරතයේ ඡ්‍යොතිෂවේදියෙකු වන Aggarawal  විසින් රචිත Essential of Predictive Astrology කෘතියේ පිටු අංක 124හි මෙසේ සඳහන් කර තිබෙනවා.

මේ පර්යේෂණ සඳහා සෙනසුරු හත්වැන්නේ සිටි විවාහක ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ ජන්ම පත්‍ර 106ක තොරතුරු විශ්ලේෂණය කර තිබෙනවා. අනාවරණය වූ කරුණු මෙසේ සංක්ෂිප්තව ඉදිරිපත් කරමු.

1.මේ පර්යේෂණයට බඳුන් වූ 106 දෙනා අතරින් ශනි හත්වැන්නේ පිහිටි ජන්මින් 74 දෙනෙකුගේ විවාහය අතිශයින්ම සාර්ථක අන්දමින් ගතවී තිබෙනවා.

2. පුද්ගලයන් 26 දෙනෙකුගේ විවාහයේ සුළු සුළු අඩුපාඩුකම් දක්නට ලැබුණ ද දුක සැප දෙකම විඳ දරා ගැනීමේ ශක්තියක් ඔවුන්ට තිබූ බවත් ඔවුන්ගේ යුග දිවි දෙකඩ නොවූ බවත් හෙළිදරවු වී තිබෙනවා.

3. හතර දෙනෙකුගේ විවාහය අසාර්ථක වුවත් පසුව ඔවුන් සාමදානයෙන් සිටින බව අනාවරණය වී තිබෙනවා.

4.විවාහ වීමෙන් අවුරුදු තුනක කාල සීමාවක් තුළදී එක් විවාහක යුවළක් දික්කසාද වූ බව මේ

පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල මේ පර්යේෂණවලට ඉදිරිපත් වූ ස්ත්‍රීන් හා පුරුෂයන් 106 දෙනෙකුගෙන් 44 දෙනෙකුගේ විවාහය අවුරුදු 27-33 දක්වා වූ කාලසීමාවෙහි ද, 34 දෙනකුගේ විවාහය අවුරුදු 24-28 දක්වා වූ කාලසීමාවෙහිද, 18 දෙනෙකුගේ විවාහය අවුරුදු 23-26 දක්වා කාල සීමාවේ ද සිදුවී ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉහත දක්වන ලද පර්යේෂණ මඟින් පැහැදිලි වනුයේ, සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා හත්වැන්නට අසුබදායක නොවන බවයි. කරදර බාධක පැමිණියත් යම් යම් ප්‍රශ්නවලින් පලා නොයා මොවුන් ඒවාට සාර්ථකව මුහුණ දෙන බවයි . 7 වැන්නෙහි ශනි පිහිටන පුද්ගලයන් ඉතාම වාසනාවන්ත අය වනවා. ජනාධිපති ආර්.ප්‍රේමදාස මැතිතුමා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා යන අයගේ ජන්ම පත්‍රවල සෙනසුරු පිහිටා ඇත්තේ හත්වැන්නෙහිය. එහෙත් ඔවුන් තම විවාහ ජීවිතය සාර්ථකව ගතකර තිබෙනවා.

ඒ අනුව ශනි හත්වැන්නේ සිටින කේන්දර අවාසනාවන්ත, විවාහයට අශුභ පිහිටීමක් ලෙස බොහෝ දෙනකු උපකල්පනය කළ ද ඒ ඒ ජන්ම පත්‍රවල ග්‍රහ බල තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙහි සුබ අසුබ බව තීරණය කළ යුතුයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.