සියල්ල වන්නේ හොඳටද?

ඔක්තෝබර් 11, 2024

අප සිතූ ලෙස යමක් නොවී වෙනස් දෙයක් සිදු වූ විට ‘ඔක්කොම වෙන්නේ හොඳට කියලා හිතමු‘ යැයි කියන්නට ඇතැමුන් පෙලඹෙනු දැකිය හැකිය. බොහෝ විට, බොහෝ දෙනකුට සිදු වන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා යැයි ගයමින් ජීවිතයට මුහුණ දීමටය. කවුරු එසේ කීවත් මේ සියල්ල සැබැවින්ම වන්නේ හොඳටද?

මේ සඳහා පිළිතුර ඇත්තේ අන් අය අත නොව තමන් තුළමය. අප බොහෝ දෙනකුට ඇති අත්දැකීමක් මෙහිදී පාදක කරගත යුතුය. කන්තෝරුවේදී හෝ ගෙදරදී අප බොහෝ සෙයින් සිනාසෙමින් විනෝදයෙන් සිටින විට අප මුවින් කියැවෙන යමක් තිබේ. ‘අද නම් හිනා වුණා වැඩියි. හවසට අඬන්න වෙයිද දන්නේ නෑ.‘ මෙය අප පරම්පරාගතව ගෙනෙන සිතිවිල්ලකි. අෂ්ට ලෝක ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් සිටින අපි ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප සහ දුක කරත්ත රෝදයේ මෙන් කැරකෙමින් වරින් වර අප කරා ළඟාවන බව දැනගෙන ජීවත් වන්නෝ වෙමු. කන්දක් නැග්ගොත් පල්ලමක්ය. දුකක් කෙළවර සතුටක්ය ආදී සියල්ල අපට කියැවෙන්නේ මේ ලෝක සත්‍යයට ගරු කිරීමක් වශයෙනි.

එහෙත් අප ඒ සියල්ලට මුහුණ දෙන ආකාරය අනුව සැපය දුකක් ලෙස මෙන්ම, දුක ද සැපක් ලෙස ගත හැකි බව මොහොතකට හෝ ඔබ කල්පනා කර බැලුවාද? නොතිත් ආශාවලින් පිරි අපේ ජීවිතයේ අප සෑහීමකට පත් වන්නේ ඉතා සුළු අවස්ථාවලදී පමණි. අන් සියලු අවස්ථාවල අප ලද සෑම දෙයකම ඇති සුළු අඩුවක් වෙනුවෙන් සමස්ත සතුට පාවා දෙන්නට තරම් අකෘතඥ වන අවස්ථා ඇත. නිදසුනක් ලෙස විභාගය සමත්වීම සලකමු. උසස් පෙළට ඒ තුනක් ගත් සිසුවකු එයින් කෙතරම් තෘප්තිමත් විය යුතුද? එසේ වීමෙන් ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිතයම ධනාත්මකව ගත වනු ඇත. එහෙත් ‘ඒ තුනක් ගත්තට ඉස්කෝලේ හොඳම ප්‍රතිඵලය නෙවෙයිනේ. දිවයිනේම පළමුවෙනියා වෙන්න තව ලකුණු කීපයයිනෙ අඩු වුණේ‘ වැනි දේ සිතන්නට ගත් විට අපට ලැබුණු ප්‍රතිඵලයෙන් ද වැඩක් නැති සෙයක් සිතට කාන්දු වන්නේය. තවත් ලෙසකින් කීවොත් දරුවන් සිටින මවුපියන් ‘අනේ අපට දුවලම විතරයිනෙ ඉන්නේ... පුතෙක් හදාගන්න බැරි වුණානේ‘ ආදි වශයෙන් තමන්ට ලැබුණු දෙයින් සතුටු නොවී නැති දෙය පිළිබඳ සිතමින් දුක් වන්නට උපන් හපනුන් වනු පෙනේ. එසේ නොවී තමන්ට ලැබුණු දෙය කෙරෙහි මහත් ආදරයෙන් සතුටු වන අය ද එමටය.

මේ සියලු දෙනාට ජීවිතයේ අනාගතය දිනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් විද්‍යාඥයන් දිගු කාලීන පර්යේෂණවලින් තහවුරු කර ඇත. ඒවා ධනාත්මකව සිතීමේ ක්‍රම සහ උපායයන් ලෙස ඔවුන් හඳුන්වා දී තිබේ. මෙය හුරු කළ යුතු ක්‍රමයකි. ඒ ක්‍රම අනුගමනය කරන විට ඉබේම ඔබ ධනාත්මකව සිතන්නකු බවට පත්වනවා ඇත.

ඔබේ අතීතය පිළිබඳව ධනාත්මකව සිතන්න

පසුගිය දේ ගැන සිතන විට අපට අපේ දිනුම් ගැන මෙන්ම පරාජයන් ගැනද සිහියට එන්නේ නිතැතිනි. එහෙත් මෙය පුහුණු කළ යුතු ක්‍රමෝපායයක් බැවින් අප මෙහිදී කළ යුත්තේ අප කළ සහ අපට සිදු වුණු හොඳ දේ පමණක් සිහියට නැඟීමට පුරුදු කර ගැනීමය. දුක හිතෙන හෝ පරාජිත හැඟීම් මතු කරවන සිතිවිලිවලින් වහා මිදී යහපත් සහ ජයග්‍රාහී දේවල් පමණක් සිතෙහි මතු වීමට ඉඩ හරින්න. පළමු අවස්ථාවල මෙය මහත් අපහසුවෙන් පුහුණු කළ යුතු දෙයක් වුවද ඔබේ මනස පුහුණු කළ විට ඔබට නිතැතින්ම හොඳ දේ පමණක් සිහියට නැඟීම පුරුද්දක් වනු ඇත. එය ඔබේ වත්මන් තත්ත්වය වඩාත් ධනාත්මක කිරීමට හේතුවක් ද වනු ඇත.

 

ඔබේ වර්තමානය පිළිබඳව ධනාත්මකව සිතන්න

අතීතයේ සිදුවීම් බලෙන් හෝ අමතක කළ හැකි වුවත්, වර්තමානයේ මුහුණ දෙමින් සිටින තත්ත්වය අමතක කර අපට කටයුතු කළ හැකිද? හැකිය. මෙය ද පුහුණු කළ යුතු දෙයකි. එහිදී ඔබ කළ යුත්තේ සිදුවන නරක දෙස බලා සිත ව්‍යාකූල කර ගැනීමට වඩා, කුඩාවට හෝ සිදුවන හොඳ දෙයක් පිළිබඳ අවධානය යොමු කිරීමය. මෙය කියන තරම් ලේසි පහසු දෙයක් නොවේ යැයි මේ වනවිටත් ඔබට සිතී ඇතුවාට සැක නැත. සත්‍යය ද එයමය. එහෙත් ඔබ දැන් ක්‍රීඩාවක් පුහුණු වනවා මෙන් මේ ක්‍රමය පුහුණු කරන්නට උත්සාහ කරන බැවින් මහා කළු වලාකුළ ගැන නොව එහි රිදී රේඛාවක් පෙනෙන්නේද කියා විමසිලිමත් වන්න. එවිට කුමක් හෝ ‘පොටක් පෑදෙනවා‘ ඇත. ඒ ඔස්සේ ධනාත්මකව සිතීමට යුහුසුළු වන්න. ගැටලුව ඇත්තේ ප්‍රශ්නයක් තමන් බාරගන්නා ආකාරයේය. නිදසුනක් ලෙස ඔබේ ප්‍රධානියා ඔබට බැණවැදුණේ යැයි සිතමු. එය ඔබ බාරගන්නේ ‘ලොක්කා මට කැපිල්ලට තමයි එහෙම කිව්වේ. අහවලාව මගේ තනතුරට දාන්න තමයි මේ විදියට මට අඩම්තේට්ටම් කරන්නේ. මට වඩා එයාට ලොක්කා සපෝට්නෙ.‘ යන සිතිවිල්ලෙන් නම් ඔබට කිසි විටෙකත් ඒ බැණුම ධනාත්මකව ඔබේ ජීවිතය සරු කරගන්නට අත්වැලක් කරගත නොහැකි වනු ඇත. ඒ ප්‍රධානියා කියූ වචන ටිකේ අර්ථය ඔබ ‘ලොක්කා මට බැන්නේ මම මේ දේ වැරදියට කරපු නිසා. මාව හදන්න තමයි සැර කළේ. කොච්චර දෙයක්ද මේ වැඩේ කරන්න ගිහින් වරදින්න කලින් පෙන්නා දීපු එක. මීට පස්සේ මේ වගේ දෙයක් කරනකොට මම මේ කාරණා ගැන මීට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනෙ. එතකොට ලොක්කා මටත් අරයට වගේ සලකයි.‘ යනුවෙන් ගතහොත් ජයග්‍රහණය කරන්නේ කවුද කියා ඔබම සිතා බලන්න. කෙතරම් අපහසුතා මැද හෝ අමාරුම අවස්ථා ජයගන්නා ක්‍රම සහ විකල්ප සෙවීමට හැකි නම් නියත වශයෙන්ම ඔබ වර්තමානය දිනාගන්නෙකු වනු ඇත. එය ඔබේ අනාගතය සරු කිරීමට ද හේතු වනු නිසැකය.

ඔබේ අනාගතය ගැන සුබවාදීව සිතන්න

අනාගතය පිළිබඳ ධනාත්මකව සිතන විට අප නිරන්තරයෙන් සුබවාදී ආකල්පවලින් පිරී යන්නේය. එවිට නිසගයෙන්ම යහපත් අනාගතයක් පිළිබඳ සිතේ සුබසිහින මැවෙනු ඇත. එවැනි සිතිවිලිවලින් සිත පිරෙන විට අයහපත් දේවල් පිළිබඳ ඇති බිය සැක අවම වන්නට පටන් ගනී. එය ඔබගේ මේ ගතවන මොහොත හෙවත් වර්තමානය ද සතුටින් පුරවාලන අතර එවැනි සුබවාදී සිතිවිලි තරංග ඔබ විසින් විශ්වයට මුදා හරින විට ඔබගේ අනාගතය නිසැකයෙන්ම සුබදායක මඟකට හැරෙනු ඇත.

මෙය ලිපියෙහි ලියන තරම් පහසු නැති බව ඔබ මොහොතකට හෝ සිතනවා නම්, ඒ ඍණාත්මක සිතිවිල්ලෙන් ද මිදීමට ඔබට කළ හැකි දෙයක් ඇත. මේ මොහොතේ ඔබ සිටින්නේ දැඩි පීඩනයක නිසා ඔබට ඇතිවන ඒ සිතිවිල්ලෙන් මිදීමට ඔබ යමෙකු ජීවිතය ජයගත් ආකාරය පිළිබඳ ලියැවුණු පොතක් හෝ ලිපියක් හෝ චිත්‍රපටයක් වැනි දෙයක් බලන්න. එවිට ලෝකයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්නයට සමාන හෝ ඊට වඩා බෙහෙවින් දරුණු ප්‍රශ්නවලට මුහුණ දුන් අය එයින් ගොඩ එන දුෂ්කර මඟ පිළිබඳ ඇතිවන විස්මය ඔබට ඔබේ ගැටලුව පිළිබඳ වඩාත් ධනාත්මකව දැකීමට ආලෝකයක් සපයනු ඇත. එසේ නැත්නම් ඔබ සිටින ගැටලුවේ වෙනත් පැතිකඩක් දැකීමට උත්සාහ කරන්න. එය බොහෝ සුබවාදී ප්‍රතිඵල ඔබට දායාද කරනු නියතය. එසේත් නැත්නම් වෙනත් අයකුට මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඔබ දෙන උපදේශය කුමක් ද කියා සිතා බලන්න. එවිට ඔබේ ගැටලුවට ද ඉබේම විසඳුමක් ලැබෙන අතර එය තවදුරටත් ඔබට ගැටලුවක් නොව ඔබට පන්නරය ලබා දෙන අත්දැකීමක් ලෙස පෙනෙන්නට ගනු ඇත. එවිට ඔබට ‘සියල්ල සිදු වන්නේ හොඳටය‘ කියා සිතෙනු ඇත. මේ පුහුණුව මනෝවිද්‍යාඥයන් හඳුන්වන්නේ ඛ්ධඨදඪබඪමඥ පඥචනනපචඪඵචත ඥයඥපජඪඵඥ යනුවෙනි. එනම් සංජානනයෙන් නැවත ඇගැයීමේ අභ්‍යාසය වශයෙනි.

එසේම ඔබ අද දවසේ කළ කටයුතු පිළිබඳ සමාලෝචනයක් දවස නිමාවේ කරන්නට පුරුදු වන්න. එහිදී ඔබ විසින් කරන ලද යහපත් කටයුතු තුනක් දින පොතක් වැනි නිතර භාවිතයට ගන්නා පොතක ලැයිස්තුගත කරන්න. මෙය ඔබේ ජීවිතය සතුටෙන් පුරවාලන ප්‍රධානම අංගය වනවාට සැක නැත. එසේම ඔබේ අනාගතය සුබවාදී කරගැනීමට ඒ යහපත් දේ පිළිබඳ මෙනෙහි කිරීමෙන් ලැබෙන සතුට හා එයින් උපදින පින හේතුවක් වන්නේමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.