විස්මිත ඖෂධ ගුණ පිරි දිවුල්

සැප්තැම්බර් 29, 2023

නගරයට ආසන්නව බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන විමලා මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය කර්මයේ නිරත වන්නියකි.

තම පියා පවත්වාගෙන ආ බෙහෙත් ශාලාව ඔහුගේ අභාවයෙන් පසු කරගෙන ආවේ එකම දියණිය වූ විමලා මහත්මියයි.

ඉතා දක්ෂ අන්දමින් ප්‍රතිකාර කළ ඇය වෙත දිනපතා රෝගිහු රාශියක් පැමිණියහ.

දිනක් සවස් කාලයේ ඇය බෙහෙත් ශාලාවේ සිටින විට මවක සහ පුතෙක් ඇය වෙත ආහ.

අවුරුදු 10 ක් පමණ වයස ඇති තම පුතා සමග පැමිණි මව අමතා. වෙද නෝනා පුතාට බෙහෙත් ගන්න ආවෙ. යැයි කීය.

ඇයි පුතාට මොකක්ද තියෙන අසනීපය” යනුවෙන් විමලා මහත්මිය මවගෙන් ඇසූ විට පුතාගේ වම් කකුල පෙන්වූ මව පුතාගෙ කකුලෙ වළලු කර ළඟ සුදු ලප කීපයක් තියෙනවා.කියමින් එම ලප පෙන්වීය.

එම ලප හොදින් පරීක්ෂා කළ වෛද්‍යවරිය “ මේක බොහෝවිට සුදු කබර රෝගයේ මුල් අවස්ථාව වගේ. බයවෙන්න එපා අපි බේත් කරමු

හොඳකරන්න පුළුවන්” යැයි මවට කීය.

අනේ වෙද නෝනා මේක කොහොමහරි හොඳ කරල දෙන්න.කීයක්ගියත් කමක් නැහැ.

ඇඟ පුරාම පැතිරුණොත් හරි අපරාධයක්.” යනුවෙන් මව බැගෑපත් විය.

හරි බය වෙන්න එපා. මුලින්ම දිවුල් කොළ කැඳ දිනපතාම දෙන්න. ඒ වගේම දිවුල් කොළ වේලලා කුඩු කරල දවසට සැරයක් වත් වක්කරල බොන්න. ඊට අමතරව මම දෙන බේත් ටිකත් නියම විදියට බොන්න.

අපි ඒ විදියට කරමු .

යනුවෙන් විමලා මහත්මිය මවට උපදෙස් දුන්නාය.

හොඳයි. වෙදනෝනා එහෙම කරන්නම්. එතකොට දිවුල් කියන්නෙ එච්චරටම හොද බේතක්ද.”යැයි. මව ප්‍රශ්නයක්ද ඇසීය.

ඔව්.ඔව්. දිවුල් කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියකටත් ඒ වගේම ආහාරමය වශයෙන් කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක් යනුවෙන් විමලා මහත්මිය පැවසුවාය.

ඒ වගේම අතීසාර.

ග්‍රහණි, හික්කා, ශ්වාස, අර්ශස් වගේ රෝගවලටත් විෂ නැසීම . සඳහාත් දිවුල් උපයෝගී කරගනු ලබනවා”යැයි නැවතත් විමලා මහත්මිය විස්තර කළේය.

එතකොට වෙදනෝනා දිවුල් හැදෙන්නෙ අපේ රටේ විතරයිද .යනුවෙන් මව ඇසූවිට විමලා මහත්මිය”ශ්‍රි ලංකාවෙ විතරක්නෙවේ අසල්වැසී ඉන්දියාවෙත් බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන් ශාකයක්, ශ්‍රී ලංකාවෙ වියළි ප්‍රදේශවල බොහෝවිට දකින්න පුළුවන්. ඒවගේම පොදුවෙ ගත්තම අධික ශීතල නොවන සියලුම ප්‍රදේශවල වැවෙන ශාකයක් යනුවෙන් විස්තර කළාය.

එතකොට වෙදනෝනා. දිවුල් ගහ සාමාන්‍යයෙන් අඩි 20 ක් 25 ක් විතර උසට වැවෙන ගහක් නේද, යනුවෙන් මව ඇසූ විට ඔව්. අම්මේ, බොහෝ දුරට බෙලි ගහට සමානයි.

ඒ වගේම දිවුල් ගහේ පිට පොත්ත සුදු පැහැයට හුරුයි. ඒ වගේම දිවුල් කොළ ඉතා කුඩායි. මේ කොළ රාශියක් තියෙනවා. එම සියලුම කොළ උඩු අතට පිහිටල තියෙනවා. ඒ වගේම මේ ගස්වල හටගන්න මල් ක්‍රමවත්. රතු පාටට හුරු දම් පාට තැනින් තැන ඇති ළා කොළපාට මල් පොකුරු ලෙස තියෙනවා. මල් රේණු තද රතු පාටයි. ගෙඩි ගෝලාකාරයි.තද කටුවකින් ආවරණය වෙලා තියෙනවා. මේ කටුව සුදු පාටට හුරු අළු පාටයි. ඉදුණාම කළු පාටට හැරෙනවා. ගෙඩියේ මදය දුඹුරු පාටයි. මදයේ බීජ රාශියක් තියෙනවා යනුවෙන් විමලා මහත්මිය දිවුල් ගැන හොද විස්තරයක් කළාය.

එතකොට වෙදනෝනා. දිවුල්වලට වෙනත් නම් තියෙනවද? යනුවෙන් මව නැවතත් ප්‍රශ්නයක් නැඟීය. එයට පිළිතුරු දුන් විමලා වෛද්‍යවරිය ඔව් නම් ගොඩක් තියෙනවා.

සිංහල භාෂාවෙන් දිවුල්, ගිවුල්, ජූල් කියන නම් කියවෙනවා.

ඒ වගේම සංස්කෘත භාෂාවෙන්. කපිත්,දධිත්, දධිනාම, සුරභිච්ජද, ග්‍රාහී, පුෂ්පඵලී, කපිප්‍රියී, දන්තතශඨ ආදී නම් රැසක් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් විලකපිත්තම් කියනවා.

හින්දි භාෂාවෙන් කෛථ කවත් යන නම් යෙදෙනවා. ඒ වගේම දිවුල් වලට ඉංග්‍රිසි භාෂාවෙන් එධධඤ ඒනනතඥ නම යෙදෙනවා. දිවුල්වල උද්භීද විද්‍යාත්මක නාමය ඹ්ඪථධදඪරච චජඪඤඪඵඵඪථච ඹ්ඪදද වන අතර කුලය වෙන්නෙ අඋඊඒඛ්ඡ්ඒඡ්, හෙවත් ජම්බීර කුලයයි. යනුවෙන් දිවුල් ගැන තවත් කරුණු රැසක් වෛද්‍යතුමිය පෙන්වා දුන්නාය.

දිවුල් මද අපි කෑවට ඒවගේම කැඳ බිව්වට මෙතරම් ගුණයි කියල දැනන් හිටියෙ නැහැ. අනේ වෛද්‍යතුමියනි. දිවුල් ගැන අපි නොදන්න අනෙක් කරුණුත් කියල දෙන්න. යනුවෙන් මව වෛද්‍යතුමියගෙන් ඉල්ලා සිටියාය.

තව ගොඩක් විස්තර දිවුල් ගැන කියන්න පුළුවන් යැයි කී වෛද්‍යතුමිය. දිවුල්වල කොළ, පොතු, මුල්, මල්, ගෙඩියේ මදය සහ මැලියම් කියන කොටස් සියල්ලම බෙහෙත් සඳහා ගනු ලබනවා.

ඒ වගේම දිවුල් මදයේ විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතයි.

විශේෂයෙන් දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වෙනවා. එහි ඇති සංඝටක මළ බද්ධය දුරු කරනවා.

ඒ වගේම බඩේ ඇතිවන රිදිම් .අපහසුතා දුරු කරනු ලබනවා.

එසේම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව පවතිනවා.

එසේම ලේ පිරිසිදු කිරීමේ ගුණයත් දිවුල්වල පවතිනවා”. යැයි වෛද්‍යතුමිය දිවුල්වල ගුණ පෙන්වා දුන්නාය.

ඒ අසා සිටි රෝගී දරුවාගේ මව “අනේ වෙදනෝනා අපිට දිවුල් ගැන හුඟක් කරුණු කියල දුන්න.එතකොට දිවුල් ආහාරයක් විදියට කොයි විදියටද වඩා හොද. යනුවෙන් නැවත් ප්‍රශ්නයක් නැගීය.

එයට පිළිතුරු දුන් විමලා වෛද්‍යතුමිය “දිවුල් කෝඩියල, ජෑම්, බීම, ආදිය සඳහා යොදාගනු ලබනවා. ඒ වගේම ඉඳුනු දිවුල් මදය පොල්කිරි සමඟ දියකර මිරිකා සීනි සහ මදක් ලුණු මිශ්‍රකර ගත් විට හොඳ අතුරු පසක් විදියට ගන්න පුළුවන්

ඒ වගේම දිවුල් කොළ කැඳ ශරීරයේ විෂ සමනයට සහ සුදු කබර රෝගීන්ට හොඳ ඖෂධාහාරයක් යනුවෙන් ඖෂධීය සහ ආහාරමය ගුණ ගැන හොඳ විවරණයක් වෛද්‍යතුමිය ලබාදුන්නාය.

එතකොට වෙද නෝනා දිවුල් අඩංගු ඖෂධ යෝග ගැන කියන්න පුළුවන්ද “මව ඇසූ විට “ඔව් කියන්න පුළුවන්. හැබැයි. ඒවා හරි විදියට යොදන්න ඕන යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය එම ඖෂධ යෝග කීමට පටන් ගත්තාය.

අර්ශස් සදහා දිවුල් සහ බෙලි යුෂ පානය හොඳයි.

සුදුකබර සදහා දිවුල් පොතු කෂාය හොඳයි.

මී විෂ සදහා දිවුල් ගසේ පංචාංගය කෂාය බීම ඉතාමත් ගුණදායකයි.

ප්‍රදර රෝග සදහා දිවුල් කොළ සහ උණ ගොබ සමව ගෙන කෂාය කර මී පැණි සමග යෙදීම හොදයි

වමනයට දිවුල් මදයේ යුෂයට තිප්පිලි කුඩු සහ මී පැණි මිශ්‍රකර වරින්වර බීම හෝ ලේහ කිරීම යෝග්‍යයි. ඇස් රෝගවලට දිවුල් යුෂයට මී පැණි දමා අදුන් ලෙස ගානු ලබනවා

සූතිකාවන්ගේ ගර්භාෂගත රෝග සඳහා දිවුල් පොතු කෂාය යොදනු ලබනවා.

හිසේ රෝගවලට දිවුල් කොළ යුෂ නානු සාදා හිසේ ආලේප කරනු ලබනවා.

ඒ වගේම කුඩාදරුවන්ගේ බඩේ අමාරුවලට දිවුල් කොළ යුෂ ඉතාමත් ගුණදායකයි.

මෙන්න මේ වගේ ඖෂධ යෝග රාශියක් දිවුල්වල ඖෂධ අංග සහිතව බොහෝ සෙයින් යොදනු ලබනවා” යැයි වෛද්‍යතුමිය ප්‍රකාශ කර සිටියාය. ඒ වගේම දිවුල් අඩංගු සංස්කාරික ඖෂධ කිහිපයකුත් තියෙනවා යැයි පැවසූ වෛද්‍යතුමිය ඒවා නම් කපිත්ථාදී පේයාව, කපිත්ථ පංචක තෛලය ආදියයි යනුවෙන් කීය.

ඒ වගේම් සර්ව ,විෂාදී තෛලය, කෝලශ්ලේෂ්මා තෛලය ආදියේ එක් ද්‍රව්‍යයක් වන්නෙත් දිවුල් යනුවෙන් කී වෛද්‍යතුමිය දිවුල් කියන්නෙ අගනා ඖෂධාහාරයක් “යැයි පැවසීය.

දැන් එතකොට දිවුල් ගැන කියපු විස්තර ටික ඇති නේද. යනුවෙන් වෛද්‍ය තුමිය විමසූ අතර එයට පිළිතුරු දුන් රෝගී දරුවාගේ මව කියා සිටියේ දිවුල් ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඒකට ගොඩක් පිං වෙද නෝනා කියපු දේවල් අපිට ගොඩක් ප්‍රයොජනයි යනුවෙනි.

මම අදම දරුවට දිවුල් කොළ කැඳ හදල දෙන්නම්. බෙහෙත් ටිකත් දෙන්නම් යනුවෙන්ද ඇය පැවැසුවාය. ඒ ඇසූ වෙදනෝනා හොඳයි. අම්මෙ මම කිව් විදියට බේත් දෙන්න. දිවුල් කොළ කැඳ පුළුවන් විදියට දෙන්න එතකොට ඉක්මනින් ඔය අසනීපය සුව වේවි. යනුවෙන් කියූ වෛද්‍යතුමිය ඊළඟ ලෙඩා බැලීමට සූදානම් වුවාය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.