අටවැන්නේ සිටින ග්‍රහයන් අනුව මරණය සිද්ධ වන ක්‍රමය

දෙසැම්බර් 11, 2020

ජන්ම කේන්ද්‍රයක අට වැන්න මාරක ස්ථානය රන්ධුස්ථානය යන නම් වලින් හඳුන්වයි. කෙනෙක් ජීවත් වන ආයුෂ ගණන මරණය සිදුවන ආකාරය අට වැන්නෙන් බැලීමට පුළුවන. එබැවින් අට වැන්නේ සිටින ග්‍රහයන් අනුව මරණය සිදුවන ක්‍රමය දැනගත හැක. මේ පිළිබඳව විමසා බලමු.

ජන්ම කේන්ද්‍රයක අටවැන්නේ රවි ග්‍රහයා සිටියේ නම් පරම්පරා ගතව එන දුර්වලතාවයකින් හෝ හෘදබාධයක් හේතුවෙන් මරණය සිදුවේ. රවි අට වැන්නේ දුර්වලව සිටියේ නම් මධ්‍ය වයසේ දී හදිසියෙන්ම දරුණු මරණයකින් ජීවිතය කෙළවර වේ.

කේන්දරයේ අට වැන්නේ චන්ද්‍රයා සිටියේ නම් අමුත්තන් රැසක් මධ්‍යයේ රෝහලක දී හෝ දියේ ගිලීමෙන් හෝ දියවැඩියා රෝගයෙන් මරණය සිදු වේ. අවසන් කටයුතු ප්‍රසිද්ධව සිදු කරයි.

කුජ ග්‍රහයා අට වැන්නේ සිටියේ නම් දරුණු වේදනා විදීමකින් හෝ සිය දිවි නසා ගැනීමෙන් හෝ හදිසි අනතුරකින් හෝ ශල්‍ය කර්මයකින් මරණය සිදුවේ.

කුජ අට වැන්නේ මිථුන, කන්‍යා, කුම්භ හෝ ධනු රාශියේ මුල් අංශක 15 තුළ සිටියේනම් මනුෂ්‍යයෙක් කරන ලද උපක්‍රමයකින් හෝ යුද්ධයක දී මරණය සිදුවේ. කුජ ශුක්‍ර සංයෝග හෝ අශුභ දෘෂ්ටි ලැබුවේ නම් ස්ත්‍රියක් විසින් කරන ලද උපක්‍රමයකින් මරණය සිදුවේ. කුජ බුධට සංයෝග හෝ අශුභ දෘෂ්ටි වී නම් රාත්‍රී ගෙවල් බිඳින සොරුන් අතින් මරණය සිදු වේ.

කුජ වෘෂභ, වෘශ්චික රාශියක් වී අට වැන්නේ අශුභ දෘෂ්ටි ආදියෙන් දුර්වලව සිටියේ නම් ශල්‍ය කර්මයකින් හෝ ගින්නක් හේතුවෙන් හෝ පැපොල , සරම්ප වැනි බෝ වෙන රෝගයකින් මරණය සිදු වේ.

බුධ අට වැන්නේ සිටියේ නම් මොළයේ හෝ නහරවල ආබාධයකින් හෝ මුර්ජා රෝගයකින් මරණය සිදු වේ.

ගුරු ග්‍රහයා අට වැන්නේ සිටියේ නම් සැප පහසුව ඇතිව ශාන්ත මරණයක් සිදු වේ.

ගුරු අට වැන්නේ දුර්වලව සිටියේ නම් හෘදයාබාධයකින් හෝ අක්මාවේ සහ ලේවල දෝෂයකින් හෝ පිළිකාවකින් මරණය සිදු වේ.

සිකුරු අට වැන්නේ සිටියේ නම් රුදා වේදනා නොවිඳ ශාන්ත ලෙස නිදහස් මරණයක් සිදු වේ. නමුත් සිකුරු දුර්වලව අට වැන්නේ නම් අධික පී‍්‍රතියක් නිසා හෝ වස විෂ ශරීර ගතවීමකින් හෝ දියවැඩියාව වකුගඩු දුර්වල වීමෙන් හෝ ලිංගික දෝෂයකින් මරණය සිදු වේ.

සෙනසුරු අට වැන්නේ සිටියේ නම් කාලයක් දුක් විඳින රෝගයක් සැදී හෝ හුස්ම හිර වීමකින් හෝ වැටීමකින් හෝ ක්ෂය රෝගයකින් මරණය සිදු වේ.

සෙනසුරු අට වැන්නේ ජල රාශියක සිටියේ නම් දියේ ගිලීමෙන් මරණය සිදු වේ. ශුභ දෘෂ්ටි සහිතව ශනි අට වැන්නේ සිටියේ නම් මහලු වයස දක්වා ජීවත් වී මරණයට පත් වේ.

සෙනසුරු ස්ථිර රාශියක්ව අට වැන්නේ දුර්වලව සිටියේ නම් හුස්ම සිරවීමෙන් හෝ බෙල්ල මිරිකීමෙන් හෝ එල්ලීමෙන් මරණය සිදුවේ. අට වැන්නේ සිටින සෙනසුරුට ගුරුගේ අශුභ දෘෂ්ටි ඇති වී නම් රාජ දඬුවමකින් මරණය සිදුවේ.

අට වැන්න මේෂ, වෘෂභ, සිංහ, ධනු, මකර, යන රාශියක් වී ශනි එහි සිටියේ නම් සතුන් සපා කෑමෙන් තිරිසන් සතුන් හේතුවෙන් මරණය සිදුවේ.

අට වැන්නේ සිටින සෙනසුරුට රවි චන්ද්‍ර දෙදෙනාගේ සප්තම දෘෂ්ටිය ලැබුණේ නම් හිරගෙදරකදී මරණය සිදු වේ.

සෙනසුරු 10 වන භාව ස්පුටයට ආසන්නව මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශියක සිට රවිගෙන් සහ කුජගෙන් අශුභ සංයෝග හෝ දෘෂ්ටි වූයේ නම් උසකින් වැටීමෙන් මරණය සිදු වේ.

සෙනසුරු සිකුරුව සහ බුධව සංයෝගව අශුභ ස්ථානවලට අශුභ දෘෂ්ටි දුන්නේ නම් හිරගෙදරක දී හෝ ස්ත්‍රියකගේ ක්‍රියාවක් හේතුවෙන් මරණය සිදු වේ.

යුරේනස් අට වැන්නේ සිටියේ නම් බලාපොරොත්තු රහිතව හදිසියේ අස්වාභාවික හදිසි මරණයක් හෝ සිය දිවි නසා ගැනීමක් හෝ මී මැස්මොර රෝගයෙන් හෝ අංශභායෙන් හෝ විදුලිය ,වෙඩි උණ්ඩ ,ගෑස් ආදියෙන් මරණය සිදු වේ.

නැප්චූන් අට වැන්නේ සිටියේ නම් අස්වාභාවික ගුප්ත මරණයක් සිදු වේ. තවද අභිරහස් හේතුවකින් හෝ බෙහෙත් විෂ වීමකින් රෝහලක දී ශල්‍ය කර්මයක් හේතුකොටගෙන මරණය සිදු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.