වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ශුක්‍ර-ගර්භාෂ දුබලතා නසන තල්
“සුමනා මිස්. අද ඉස්කෝලේ නිවාඩූ දවසේ. මේ බෑරක් යන ගමන්ද?”
“නැහැ. වෙදනෝනා. මම මේ ඔබතුමිය මුණගැහෙන්නමයි ආවේ. මට නිබන්ධනයකට කරුණු ටිකක් දැනගන්න, තල් ගසේ ඖෂධීය වැදගත්කමක් තියෙනවා ද කියලා?”
“තල් කියන්නෙත් ඖෂධීය වශයෙන් වගේම තවත් ප්‍රයෝජන රාශියක් තියෙන ශාකයක් තමයි. මිස් දන්නවානේ තල් කියන්නෙ ශ්‍රීලංකාවෙ උතුරු ප්‍රදේශ යෙ විශේෂයෙන් දකින්න තියෙන ශාකයක් බව. ද්‍රවිඩ ජනතාව මේ ශාකයෙන් ප්‍රයෝජන රාශියක් ලබා ගන්නවා. ශාක වර්ගීකරණයේදී තාල වර්ගයට අයත් ශාකයක් විදියට හඳුන්වන තල් ගස උෂ්ණ කලාපීය වගා ගණයට වැටෙන්නේ. ඒ වගේම උද්භිද විද්‍යාත්මක වර්ගීකරණයේදී නාරිකේල ගණයට අයත් ශාකයක් විදියට තල් ගස හඳුන්වනු ලබනවා. තල් ගස කියන්නෙත් පොල් වගේ සියලුම කොටස් ප්‍රයෝජනයට ගන්න කප්රුකක් වැනි වටිනා ශාකයක්.”
“වෙදනෝනා තල්ගස් වැවෙන්නෙ අපේ රටේ විතරයි ද.?”
“නැහැ මිස්.
විදේශීය වශයෙන් ගත්තාම
ඉන්දියාවේ ඝර්ම කලාපීය සියලුම ප්‍රදේශ වලත්.. බෙංගාලය.. මියැන්මාරය ආදී රටවලත් බහුලව වැවෙන ශාකයක්.
ශ්‍රීලංකාවෙ ගත්තාම විශේෂයෙන් උෂ්ණ කලාපීය වැලි මිශ්‍ර මුහුදු බඩ ආශ්රිත පසේ සරුවට වැඩෙනවා. ශ්‍රීලංකාවෙ විශේෂයෙන් උතුරු නැගෙනහිර මුහුදු බඩ ප්‍රදේශවල සාරවත්ව හැදෙනවා.”
“මේ තල් ගස්වල ස්වරූපය කොහොමද වෙදනෝනා?”
“මේ ගස් තාල වර්ගයට අයත් අතු නොබෙදෙන ශාකයක්නේ..පොල්..කිතුල්..පුවක් ආදී ගසුත් මේ වර්ගයටයි අයිති.
ඒ වගේම තමයි සුමනා මිස්. තල් ගස් ගැන ආයුර්වේදයේ ප්‍රධානම සංහිතා ග්රන්ථ වන චරක සංහිතාව.. සුශ්‍රැත සංහිතාව වගේම භාව ප්‍රකාශය වගේ පොත්පත්වල දක්වා තිබීමෙන් පැහැදිලි වන්නේ අතීතයේ ඉඳලම තල් ඖෂධ සඳහා යොදා ගත් බවයි. ඒ නිසා තල් ගස හොඳ ඖෂධයක් වගේම විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා වටිනා අමුද්‍රව්‍යයක්.
කඩදාසි භාවිතකරන්න පෙර ලියන්න භාවිතා කළේ තල් පත්. වර්තමානයේ කඩදාසි කර්මාන්තය දියූණු වුණත් තවමත් කේන්දර වැනි දේ ලිවීමට යොදාගන්නේ තල්පත්මයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ තල් පත්වල ලියන දේ ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමයි.
පදම්කර ගත් තල් පත්වල ලිවීමට යොදාගන්නෙ පන්හිඳයි. එසේ ලියන ලද දේ පැහැදිලව බලාගන්න කළු මදිනවා. මේ විදිහට තල් පත්වල ලියපුවා වසර සිය ගණනක් ගියත් නොමැකී තියෙනවා. අපේ වෙදකම ගැන ලියපු තල්පත් (පුස්කොළ පොත්) විශාල ප්‍රමාණයක් වර්තමානයේත් ප්‍රයෝජනයට ගන්නවා.
ඒ වගේම මිස් දැකලා ඇති පදම් කරපු තල්පත් වලින් පැදුරු.. වට්ටි..පෙට්ටි..වටාපත්.. හිස්වැසුමි ආදී නොයෙක් භාණ්ඩ සකස් කරනවා.
තල් ගෙඩිවල කිරි ඉතා ගුණදායක පානයක්. හොඳට පැසුණු තල් ගෙඩිවල ඇස්ස ගලවලා ඒ පැත්ත ගිනි අඟුරු උඩ ටික වෙලාවක් තැම්බෙන්න ඉඩහැරලා පිට පොත්ත ගලවලා. ලබාගත්තු තල් ඇට උණු වතුර ටිකකට මිශ්‍ර කරලා පෙරාගත්තු යුෂ කොටස අවශ්‍ය තරමට එළකිරි මිශ්‍ර කරල සීනි දමා ශීත කර මිහිරි බීමක් විදිහට ප්‍රයෝජනයට ගන්නවා.
විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර ජනප්‍රිය ආහාරයක්වන කොට්ට කිලංගු සාදා ගන්නෙ තල් අංකුර වියළා ගෙනයි. ඒ වගේම වේල ගත්තු තල් අංකුරවලින් සාදා ගන්නා තල් අග්ගලාත් හොඳ ආහාරයක්. මේවායින් වාතය හා පිත සමණය වෙනවා.”
“එතකොට වෙද නෝනා තල්වලට කියන වෙනත් නම් මොනවද?”
තල්වල පොදු සිංහල නාමය වන්නේ තල් යන්නයි. සංස්කෘත භාෂාවෙන් තාල.. තාඩ..තාලද්රැම..දීර්ඝ ස්කන්ධ.. ධ්වජ ද්‍රැම..තෘණරටජ..මධුරස...දීර්ඝ පාද...තෘණ... තෘණරාජ..ගජභක්ෂ.. ගුච්ජපත්ර.. ලේඛ්යපත්ර.. ද්රැමේශ්වර..ප්‍රාංශ.. මහෝන්තක. යන නම් රාශියක් තියෙනවා
හිංදි භාෂාවෙන් තෙඩ. හා තාරී නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් පනධිමරමි නම් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Palmyra Palm සහ Desert Palm නම් යෙදෙනවා
තල්වල උද්භිද විද්‍යාත්මක නාමය
Borassus flabellifera Linen නාමයයි.
කුලය PLAMME හෙවත් නාරි කේල කුලයයි. ඒ වගේම මිස් තල් ගසේ මල්.. මුල්.. ගෙඩි.. ගෙඩි යුෂ...පොතු... ඇටමද..කොළ..රා...මීරා..සුඹුළු...තල්ගොබ (තල් මොටෙයියා)ආදී සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගන්නවා.”
“එතකොට වෙද නෝනා තල්වල ඖෂධීය ගුණා ගුණ කොහොමද?”
“සුමනා මිස් තල්වල මැලියම්.. මේද සහ ඇල්බ්යුමිනොයිඩ් කියන රසායනික සංඝටක අන්තර්ගතයී.
ඒ වගේම ආයුර්වේදයට අනුව සැලකුවාම
රසයෙන් මධුර යි.
ගුණයෙන් ගුරු හා ස්නිග්ධ යි
වීර්යයෙන් ශීත යි
විපාකයෙන් මධුර යි
දෝෂ අනුව සැලකුවාම
තල් වාතය සහ පිත සමනය කරන ගුණ යුතු නිසා වාත පිත්තජ රෝග සඳහා යොදා ගනු ලබනවා.
තල්වල ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකුවාම
බාහිර වශයෙන්
තල් ගස්වල කොළ යුෂ ලේ නතර කරන (රක්ත ස්තම්භන) ගුණයෙන් යුක්තයි. ඒ වගේම ශරීරයේ දැවිලි නසන.. ඉදිමුම් සමනය කරන සහ තුවාල සුවකරන ගුණ වලින් යුක්තයි.
එසේම තල් ගෙඩිවල මදය සමේ දෝෂ නසන ගුණයෙන් යුක්තයි.
තල් කොළ යුෂ දැවිලි.. ඉදිමුම්.. ලේ ගැලීම්.. සහ තුවාලවලට ආලේප වශයෙන් යොදනු ලබනවා. තල් ගෙඩිවල මදය සහ ක්ෂාරය සමේ රෝගවලට ආලේප වශයෙන් භාවිතා කරනු ලබනවා.
අභ්‍යන්තර වශයෙන්
තල් කොළ යුෂ මොළයේ ක්‍රියා වර්ධනය කරන ගුණ යුතුයි. ඒ නිසා මොළයේ දුබලතා.. මූර්චා..ප්‍රලාප ආදියට ළා තල් කොළ යුෂ යොදනවා.
තල් ගෙඩි ස්නේහක හා මෘදු විරේචන ගුණ යුක්තයි. තල් තෙලිජ්ජ (කාඩි) බඩගිනි වඩන සහ අනුලෝමන ගුණ සහිතයි.
පිපාසා සහ මළ බද්ධය සඳහා තල් ගෙඩියේ අමු මදය කැබලි කර යොදනු ලබනවා. බඩගිනි අඩුකම... පිපාසා සහ මළබද්ධයට තල් මීරා ගුණ දෙනවා.
ප්ලීහාවේ ඉදිමුම් සහ ගුල්මයේදී තල් මල් ක්ෂාරය උක්හකුරු සමඟ කෑමට දෙනවා
තල් ගෙඩි හදවතට හිතකර නිසා පැසුණු තල් ගෙඩි හදවත් දුබලතා සඳහා යොදනවා.
තල් කොළ යුෂ ලේ නතරකරන (රක්ත ගුණ සහ ලේ පිරිසිදු කරන (රක්ත ශෝධන) ගුණ යුක්තයි. මෙනිසා තල් කොළ යුෂ රත්පිත..උපදංශ..වැනි ලේවලින් හටගන්නා රෝග සඳහා යොදනු ලබනවා.
තල් ගසේ මුල්වල යුෂ සහ කොළවල යුෂ සෙම පිටකරන ගුණ යුතු නිසා මේවා කක්කල් කැස්ස ආදියේ දී යොදනවා.
පැසුණු තල් ගෙඩි වාජීකරණ ගුණයෙන් යුතු නිසා ශුක්‍ර දුබලතාවලදී උපයෝගී කර ගනු ලබනවා
තල් මල්වල දණ්ඩ ආර්තව ඇති කරන ගුණ යුතු නිසා මල් දඬුවලින් කළ ක්වාථය ඔසප් දෝෂ සහ රක්ත ගුල්ම ආදියට යොදනවා.
තවද තල් ගෙඩියේ වතුර ශුක්‍ර වර්ධනය සඳහා යොදා ගන්නවා.
මූත්‍ර කෘච්ජ්‍ර වැනි රෝග සඳහා තල් ගෙඩියේ මදය.. මීරා..මුල් වල යුෂ ආදිය යොදා ගන්නවා.
ඒ වගේම තමයි සමේ රෝග පහකරන ගුණ ද තල් වල තියෙනවා. පැසුණු තල් ගෙඩි සමේ රෝගවලදී කෑමට දෙනවා.
ඒ වගේම තල් උණ රෝග නසන ගුණයෙන්ද ප්‍රශමන ගුණයෙන් යුතු වනවා.
මෙනිසා තල්කොළ යුෂය උණ සන්නිපාතයේදී අනුපානයක් විදියටත් උණ සහ දැවිල්ලේදී ඖෂධයක් ලෙසත් යොදා ගන්නවා. එසේම තල් ශරීරයේ බලය.. ශක්තිය ඇති කිරීමට උපකාරී වන නිසා තල් ගෙඩි.. මීරා.. හකුරු.. සීනි ආදිය ශරීරයේ දුබලතා නැසීමට යොදා ගන්නවා.
ඒ වගේම සුමනා මිස්. තල් අඩංගු ඖෂධ තවත් රාශියක් තියෙනවා.
ඒ අතුරින් කිහිපයක් නම් මූත්‍ර කෘච්ජ්‍රයට සහ මූත්‍ර විවර්ණතාවයට තල් මද යොදා සිඳගත් ගිතෙල් හෝ කිරි යොදා ගනු ලබනවා.
මූත්‍රාඝාතයට තල් මුල් හාල්පානු වතුරෙන් අඹරා පොවනු ලබනවා.
උන්මාදයට තල් තෙලිජ්ජ මීපැණි සහිතව හෝ රහිතව යොදනු ලබනවා.
ප්ලීහෝදරයට තල් මල්වලින් සෑදූ ක්ෂාරය උක්හකුරු සමඟ කෑමට දෙනවා.
කැස්ස හා ඇදුම ආදියට තල්සූකිරි අඩංගු පැණි වර්ග යොදනු ලබනවා
විසූචිකාවට තල් මුලක් හාල් පානු වතුරෙන් අඹරා නාභිය ප්‍රදේශයේ ආලේප කරනවා.
නිවැරැදිව ප්රසවය සිදුවීමට වැඩුණු තල් ගසක උතුරු පැත්තට ගිය මුල් කැබැල්ලක් අරගෙන ගැබිනියගේ ඇඟේ ප්‍රමාණයට ගත් නූල් පටකට සම්බන්ධ කර ඉණවටේ බැඳීම යෝග්‍යයයි.
ඉතින් මිස් මේ වගේ තල් අඩංගු ඖෂධ යෝග රාශියක් ව රෝගාබාධ රැසකට යොදනවා.
ඒ වගේම මිස් හොඳට වැඩුණු තල් ගහක් සිහිනෙන් දැක්කොත් අවිවාහක අයගේ විවාහ සාර්ථක වීම හෝ දරුවන් නැති අයට දරු සම්පත් ලැබීම හෝ විවාහකයන් ජීවිත සමෘද්ධිමත් වීම හෝ සිදුවිය හැකි යැයි මතයක් පවතිනවා
ඒ නිසා තල් කියන්නෙ ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් ශාකයක්
මිස්ට නිබන්ධනයට මේ කියපු කරුණු ටික ඇති කියල හිතෙනවා”
“ඔව්. වෙදනෝනා. තල් ගැන මට කියල දුන්න කරුණු ටික මගේ නිබන්ධනයට හොඳටම සෑහෙනවා.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය
වෛද්‍ය මධුර පරණවිතාන