වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වාත රෝග නාඩි දුබලතා නසන මී ගස
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා දක්ෂ ගොවි මහතකු වූ පියදාස සිටියේ මහත් කනස්සල්ලෙනි. ගොවියකු වගේම දැඩි පරිසර හිතකාමියකු වූ ඔහු තවත් දුක්වූයේ ප්‍රදේශයේ තිබූ විශාලතම මී ගස දැඩි සුළඟ නිසා කඩා වැටීම හේතුවෙනි.
එම සිත් තැවුලෙන්ම ඔහු ප්‍රදේශයේ සිටින වෙද මහතා හමුවීමට ගියේ ඔහුට ඒගැන පැවසීමටය. පීරිස් වෙද මහතා පියදාස ගොවි මහතා ගේ හොඳ මිතුරෙකු වූ අතර නිතර ඔවුනොවුන් හමුවී සාකච්ඡා කිරීම පුරුද්දක් විය.
පියදාස එනු දුටු පීරිස් වෙද මහතා
“අද මොකද පියදාස උදේම.අද කුඹුරට ගියේ නැද්ද .?”යනුවෙන් පියදාස ගෙන් ඇසීය. කුඹුරට ගිහින් එන ගමන් තමයි මේ ආවේ. වෙද මහත්තයට කාරණාවක් කියන්න තියෙනවා .ඒකයි මේ ගමන්ම ආවේ.” යනුවෙන් පියදාස පිළිතුරු දුන්නේය .
මොකක්ද පියදාස කාරණය “යනුවෙන් වෙද මහතා නැවතත් පියදාස ගෙන් විමසීය.
වෙද මහත්තයෝ අපේ කුඹුරට උඩින් ඇල අයිනේ තිබුණු මී ගහ ඊයේ රෑ මහ වැස්සත් එක්කම කඩා වැටිලා .ලොකු අපරාධයක්.ඒක කියන්න ආවේ .”යනුවෙන් පියදාස පිළිතුරු දුන්නේය.
අයියෝ. හරි පාඩුවක් නේ. මී ගස් කියන්නේ කොච්චර වටින ගස්ද” යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය .
අපොයි. ඔව් වෙද මහත්තයෝ .මී ගස්.කියන්නේ හරි වටින ගහක් කියලයි මමත් අහල තියෙන්නේ .” යැයි පියදාස නැවතත් කීය .
මී ගස් වෙන ගස්වලට වඩා වෙනස් ගහක් .දිවා රාත්‍රි දෙකටම පරිසරයට ඔක්සිජන් මුදාහරින විශේෂ ගුණයක් මී ගස්වල තියෙනවා යැයි වෙද මහතා විස්තර කළේය. ඒ වගේම තමයි වෙද මහත්තයෝ කුඹුරුවලටත් මී ගස් ගොඩක් උදව් කරනවා මී මල් පිපෙන කාලෙට මී ගස් වවුලන්ගෙ හොඳ වාසස්ථානයක්. ඒ ගස් වල තියෙන ගෙඩි සහ මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දානවා. මේවායේ යූරියා නයිට්‍රජන් වගේ රසායනික උපාදාන තියෙනවා. ඒ වගේම මීගසේ කොළ වැටෙන්නේත් කුඹුරට. ඒ කොළත් හොඳ පොහොරක් යනුවෙන් පියදාස පිළිතුරු දුන්නේය.
“ඔව්. ඔව්. ඒ වගේම මී ගස් හොඳ ඖෂධීය ශාක. අපේ බෙහෙත් වර්ග ගොඩක් හදන්න මී ගසේ කොටස් උදව් වෙනවා.” යැයිද වෙද මහතා කීය.
එතකොට වෙද මහත්තයෝ මී ගස් හැදෙන්නේ අපේ රටේ විතරයිද ” යැයි පියදාස ප්‍රශ්න කර සිටියේය .
නැහැ. පියදාස මීගස් ඉන්දියාවෙත් වැවෙනවා. ඉන්දියාවෙ නොයෙක් ප්‍රදේශවල බහුල වශයෙන් දකින්න පුළුවන්. බිහාර්, ඔරිස්සා මධ්‍ය ප්‍රදේශ. මධ්‍යම භාරතයේ ගුජරාටි ආදී ප්‍රදේශ ඒ අතුරින් ප්‍රධාන වෙනවා. ඒ වගේම මේ මී ගස් වල එක් ප්‍රභේදයක් වන ජල මධූක මලබාරය, මයිසෝර්, ත්‍රිවංකර් සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ ආදියේ දක්නට තියෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වැවෙන ගසක්. විශේෂයෙන් වියළි කලාපයේ වන ගත ප්‍රදේශවල සුලබයි, යනුවෙන් වෙද මහතා විස්තර කළේය.
එසේම මී ගස් කාලවර්ණ යි. ගස්වල පොත්ත දුඹුරු පැහයක් ගන්නවා. ගැලවෙන සුලු ඝන පොත්තක්. මේ ගස්වල කොළ පොකුරු විදියට අතුවල අග පිහිටනවා. එක කොළයක් සෙ.මි.7-12 දක්වා දිගයි. මේ ගස්වල හැදෙන මල් කුඩායි. දුර්වර්ණ කහ පාටින් යුතුයි .මල් කස්තුරි සුවදයි. මල් ඝන පොකුරු ලෙස පවතිනවා. මෙහි හටගන්නා ගෙඩි ඉදුණාම කහ පාටයි. ගෙඩිවල බීජ කහ පාටට හුරු තද ගතියෙන් යුක්තයි.”
යනුවෙන් වෙද මහතා හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය. වෙද මහත්තයෝ එතකොට මී ගසට කියන වෙන නම් තියෙනවාද” යනුවෙන් පියදාස ප්‍රශ්න කර සිටියේය . එයට පිළිතුරු දුන් වෙද මහතා ඔව්. විවිධ භාෂාවලින් නම් රැසක් ම තියෙනවා. සිංහල භාෂාවෙන් මී ගස කියනවා .
සංස්කෘත භාෂාවෙන් මධූක ගුඩ පුෂ්ප.
මධුස්ථිල..ලෝධ්‍රපුෂ්ප...මහා ද්‍රෑම.රෝධ්‍ර පුෂ්ප ආදී නම් රැසක් වෙනවා .
හින්දි භාෂාවෙන් මහුග නම යෙදෙනවා .
දෙමළ භාෂාවෙන් ඉලුප්පු ඉල්ලුම් සහ ඉරුපෙ යන නම් යෙදෙනවා .
ඉංග්‍රීසි භාෂාවෙන් ධ්දඤඪචද ඕභබබඥප සහ ඩ්ධදඥර බපඥඥ යන නම් යෙදෙනවා .
ඒ වගේම මී ගසේ උද්භිද විද්‍යාත්මක නාමය ර්චණදභජච තධදඨඪටධතඪච(ඹ්) බ්.ජ්. ර්චජඡප වෙනවා . කුලය ඉඒර්‍ථර්‍ණඊඒඛ්ඡ්ඒ හෙවත් මධූක කුලය යි යනුවෙන් විස්තර ඉදිරිපත් කළේය .
වෙද මහත්තයෝ .මී ගස් ඖෂධීය වශයෙනුත් වැදගත් ගස් කියලනේ කියන්නේ. මොන ලෙඩ වලට ද සුදුසු. යනුවෙන් පියදාස ප්‍රශ්න කර සිටියේය.
පියදාස මී ගස් කියන්නේ ඖෂධීය වශයෙන් ඉතා වැදගත් ශාකයක් .මීගසේ පොතු, කොළ, මුල්, බීජ, තෛල, මල් සහ මී ගසේ අරටුව ඖෂධ සඳහා බෙහෙවින් යොදාගනු ලබනවා යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.
එතකොට මී මල් සකස් කර ගැනීමෙදි මල් පිපෙන කාලෙට එකතු කරලා වේලලා වියළි භාජනවල අසුරල තබා ගන්නවා යනුවෙන් ද වෙද මහතා විස්තර කළේය.
එතකොට වෙද මහත්තයෝ මී ශාකයේ ගුණාගුණ කොහොමද යනුවෙන් පියදාස නැවතත් විමසා සිටියේය.
මී ශාකයේ ගුණාගුණ කිව්වොත් රසයෙන් මධුර සහ කෂාය රසයි.
ගුණයෙන් ගුරු හා ස්නිග්ධ යි.
වීර්‍යයෙන් මධුරයි.
විපාකයෙන් ශීත යි.
දෝෂ අනුව ගත්තම
වාතය සහ පිත සමනය කරන නිසා වාත සහ පිත් රෝග වලදි යොදාගනු ලබනවා, යනුවෙන් වෙද මහතා කියා සිටියේය .
ඒ වගේම බාහිර වශයෙන් මී ඇට තෙල් වල කුෂ්ඨ නසන සහ වේදනා සමනය කරන ගුණ ඇති නිසා වාත රෝගවලදි සහ සමේ රෝගවලදි ආලේප කරනු ලබනවා.
ඒ වගේම මී මල් යුෂ ස්නේහන ගුණයෙන් යුක්ත නිසා පිතෙන් හටගත් හිසේ වේදනා ආදියේ දී නස්‍ය කරනු ලබනවා .
එසේම මී තෙල් පුෂ්කර අලු සමඟ දදවල ආලේප කරනු ලබනවා යනුවෙන් වෙද මහතා තවත් විස්තර ඉදිරිපත් කළේය .
ඒ වාගේම ස්නායු පෝෂණය කරන සහ වාත සමන ගුණ මෙහි ඇති නිසා මි මල් ක්ෂීර පානය ස්නායු දුබලතා වලදි සහ වාත රෝග වලදි ප්‍රයෝග කරනු ලබනවා.
තවද මෙහි ස්නේහන ස්තම්භන අනුලෝම සහ පිපාසා නසන ගුණ ඇති නිසා පිපාස අතීසාර ග්‍රහණි සහ කෝෂ්ඨ ගත වාත වැනි රෝගවලදි මීමල් යුෂ හෝ පොතු කෂාය බීම සුදුසුයි.
එසේම රත්පිත් සමන ගුණ මෙහි ඇති නිසා අමු මී මල් යුෂ ඉතා ප්‍රශ්ස්තයි.
ඒ වගේම සෙම් පිටකරන ගුණ මෙහි ඇති නිසා මී අරටුව සහ මී ඇට මදය නස්‍ය කර්මවලදි යොදාගනු ලබනවා.
එසේම ඔසප් වීමේ දුබලතාවලදි මී ඇට මද වර්තිය යොදනු ලබනවා.
ඒ වගේම මී මල් කෂාය සීනි සමඟ බීමෙන් පිපසා දැවිලි, කැස්ස සහ ශර්‍රීරයේ අස්ථිරතාවයන් නිවාරණය කරනු ලබනවා
ඒ වගේම මී මල්වලින් මෝදක මෙන්ම රම් හා සමාන මද්‍ය වර්ගයක් පෙරාගනු ලබන බවත් එමගින් උෂ්ණය සහ බඩගිනි වඩන බවත් දක්වා තියෙනවා .
හික්කා සදහා මී මල් මී පැණියෙන් අඹරා නස්‍ය කරනු ලබනවා. සන්ධිවාතයේදී
මී මල් වලින් රොටී සාදා ප්‍රලේප ලෙස යෝදනු ලබනවා .
යනුවෙන් වෙද මහතා විස්තර කර සිටියේය.
වෙද මහත්තයෝ ඔබතුමා මී ගහ ගැන නොදන්න කරුණු ගොඩක් කියල දුන්නා. ඒක ගොඩක් වැදගත් .
ඒ වගේම වෙද මහත්තයෝ තව දෙයක් දැනගන්නට ඕන. මේවායේ හදපු බේත් වර්ගත් තියෙනවාද “ යනුවෙන් පියදාස නැවතත් ප්‍රශ්න කර සිටියේය .
ඔව්. නිෂ්පාදිත ඖෂධත් කීපයක් ම තියෙනවා යනුවෙන් පැවසූ වෙද මහතා ඒ ගැන විස්තර ඉදිරිපත් කළේය .
මේ අතුරින් මධුකාසවය ප්‍රධානයි. මේ සදහා අමු මී මල් යුෂ ගනු ලබනවා .මෙය ග්‍රහණි රෝගයට බෙහෙවින් හිතකර යි.
එසේම සර්ව විෂාදී තෛලය සදහා මී කොළ පොතු සහ මී තෙල් යොදාගනු ලබනවා. මේ තෙල බොහෝ රෝගවලදි නස්‍ය කිරීමට පානයට සහ අභ්‍යංගයට යොදාගනු ලබනවා .
ඒ වගේම නිශාදී තෛලය සදහා මී තෙල් යොදාගනු ලබනවා. පීනස් රෝගවලදි මේ තෙල නස්‍යට සහ ආලේප සඳහා ගනු ලබනවා. ඒ වගේම තවත් තෙල් වර්ග කීපයකටම මී තෙල් උපයෝගි කරගනු ලබනවා යනුවෙන් පැවසූ වෙද මහතා රත්පිතේදී මි පොතු ක්ෂාරය යොදා ගන්නා බවත් පැවසීය.
බලාගෙන ගියාම වෙද මහත්තයෝ මී ගස් කියන්නේ සෑම කොටසක් ම ප්‍රයෝජනයට ගන්න ඉතා වටිනා ශාකයක්. ඒ ගැන ඔබතුමා කියපු දේවල් අපිට ගොඩක් වැදගත්. වැටුණු මී ගහ වෙනුවට මම මී ගස් කීපයක් ම හිටවන්න ඕන. ඔබතුමා ට ගොඩක් පිං. මාව දැනුවත් කළාට.” යනුවෙන් පැවසූ පියදාස වෙද මහතාගෙන් සමුගෙන නැවතත් වැටුණු මී ගස ඇති පෙදෙස බලා පිටත් වීය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන