වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලිංගික දුබලතා නසන සියඹලා
අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකු වූ සිතාරා සහ ජයනි එදින පාඩම් කරමින් සිටියේ ඖෂධීය ශාක පිළිබඳ කරුණු ගැනයි. එහිදී ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන් වැදගත් ශාක ගැන කතා කිරීමේදී සියඹලා ශාකයේ ගුණාගුණ ගැන කතා කරන්නට විය.
ජයනි සියඹලා කියන්නේ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් ගොඩක් වැදගත් ශාකයක් නේද යනුවෙන් සිතාරා ජයනිගෙන් විමසා සිටියාය.
ඔව් සිතාරා සියඹලා විශේෂයෙන් ම ආහාර රසවත් කරන්න ගන්න කුළුබඩු වලට අයිති ප්‍රධාන ම ද්‍රව්‍යයක්. කුළුබඩු වලින් ශරීරයේ වර්ධනය විශාල වශයෙන් සිදු නොවුණත් ආහාර රුචිය ඇතිකරන ආහාර හොදින් දිරවන ආහාර රසවත් කරන දේවල් නේ. සියඹලාවලින් ඒ දේ හොඳටම ඉෂ්ට කරනවනේ. යනුවෙන් ජයනි පිළිතුරු දුන්නේය.
ඒ කතාව අතර තුර සිතාරාට මතක් වූයේ තම නිවසේ මිදුල කෙලවර පිහිටි විශාල සියඹලා ගසයි.
සියඹලා ගැන කියන කොට ජයනි මට මතක් වුනේ අපේ මිදුලේ කොනේ තියෙන සියඹලා ගහ ළඟ හොඳට හෙවණයි.
එතැන පාඩම් කරන්න පුළුවන් අපි එතැනට යමු.” යනුවෙන් පැවසූ සිතාරා ජයනි කැටුව සියඹලා ගස ළඟට ගියේය. සියඹලා ගස ළඟට ගියවිට ඔවුන් දුටුවේ මිදුල පුරා විසිරී තිබූ සියඹලා කරල් ය. ඉදුණු සියඹලා කරල් දෙකක් අහුලා ගත් ඔවුන් දෙදෙනා එහි රස බලමින් කතාව පටන් ගත්හ.
ෂා සියඹලා හරි රසයිනේ. ඒවගේම මේවා ගොඩක් ගුණ ඇතිනේ. යනුවෙන් ජයනි ඇසූ විට සිතාරා කීවේ රස මෙන්ම ගුණයෙනුත් සියඹලා ඉතා අගනා බවයි. එතකොට සිතාරා මේ සියඹලා ගස් ගොඩක් විශාලයි නේද .යනුවෙන් ජයනි ඇසීය.
ඔව් ජයනි මේ සියඹලා ගස් ගොඩක් උසට වැවෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තියෙනවා .ගස් කොච්චර විශාල වුණත් මේවායේ කොළ ඉතා කුඩායි. සාමාන්‍යයෙන් නෙල්ලි පත්‍ර වලට සමානයි. මේවායේ හැදෙන කරල් අඟල් 6 ක් විතර දිගයි. පොත්ත ඉතා ඝනකම්. බලන්න ඔයා ඔය කන කරලෙ මදේට යටින් ඇට තියෙනවා නේ සාමාන්‍යයෙන් එක කරලක ඇට 2ක්3ක් විතර තියෙනවා. ඒ ඇටවලත් මදයක් තියෙනවා යනුවෙන් සිතාරා විස්තර කළේය.
එතකොට සිතාරා සියඹලා වැවෙන්නෙ මොන ප්‍රදේශ වලද. ලංකාවේ විතරද වැවෙන්නේ යනුවෙන් ජයනි ප්‍රශ්නයක් නැඟීය.
ඉන්දියාවෙ විශේෂයෙන් දකුණු ඉන්දියාවේත් ඒ වගේම බෙංගාලයෙත්. මියැන්මාරයේත් හොඳින් වැවෙන ශාකයක්.
එසේම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන ශාකයක් “ යනුවෙන් සිතාරා පිළිතුරු දුන්නේය .
එතකොට සිතාරා සියඹලාවලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ තින්තිඩී කියල නේද .යැයි ජයනි ඇසීය.
ඔව් තින්තිඩී කියනවා .ඒ වගේම
අම්ලිකා.. දන්තශඨා..චූක්‍රා..ත්‍රින්ත්‍රිනී..අම්ලා.වගේ නම් සංස්කෘත භාෂාවෙන් යෙදෙනවා .
හින්දි භාෂාවෙන්
චිංචාඉම්ලි කියනවා .
දෙමළ භාෂාවෙන්
පුලයම්පලම්.. සහ පුලි... යන නම් යෙදෙනවා
ඉංග්‍රීසි භාෂාවෙන් Tamarind Tree කියනවා.
ඒ වගේම සියඹලාවල උද්භිද විද්‍යාත්මක නාමය Tamarindus indica Linn වන අතර
කුලය LEGUMINOSAE හෙවත්
ශිම්බී කුලයයි උප කුලය පූතිකරංජ කුලයයි.” යනුවෙන් සිතාරා ජනනී ට විස්තර කර සිටියේය. එතකොට ජයනී සියඹලා කරල් තමයි ආහාරමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නෙ. ඉදුණු කරල්වල පොතු ඉවත් කරල හොඳින් වේලල කල්තියා ගෙන ප්‍රයෝජනයට ගනු ලබනවා .
ඖෂධීය වශයෙන්
සියඹලා කොළ, පොතු, මල්, කරල්, සියඹලා බොර, කරලේ පොතු සහ ඇට ප්‍රයෝජනයට ගන්නවා.”යැයි ජයනි වෙත විස්තර කර සිටියේ .
එතකොට සිතාරා කරලේ මදය ආහාර රසවත් කරන්න බඩගිනි වැඩි කරන්න ..ආහාර හොදින් දිරවන්න උදවු කරනවා නේද ? ඒ වගේම තැම්බුම් හොද්ද හදද්දි අත්‍යවශ්‍යම නේද යනුවෙන් ජයනි මතක් කර සිටියේය .
ඔව් ජයනි. ඔබ කිව්වා හරි සියඹලා කරලේ මදය හරිම පෝෂ්‍යදායකයි. ඒ ගැන අන්තර්ජාලයෙන් මම හොයා ගත් සංඛ්‍යා ලේඛන මෙන්න මේවා එතකොට සිතාරා සියඹලා ඖෂධීය වශයෙනුත් ඉතා වටිනවා නේද යනුවෙන් ජයනි ඇසීය.
ඔව් ජයනි සියඹලා කියන්නේ ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් වැදගත් ද්‍රව්‍යයක්. මේවා ඉතා ඈත අතීතයේ ඉඳන්ම ඖෂධ සඳහා යොදා ගෙන තියෙනවා .
මේවා රසයෙන් අම්ලයි.
ගුණයෙන් ගුරු සහ රූක්ෂයි
වීර්‍යයෙන් උෂ්ණයි..
විපාකයෙන් අම්ලයි
එතකොට අමු සියඹලා කරල් අම්ල බව අධික නිසා වාත සමන ගුණයෙනුත් සෙම් පිත් වඩන ගුණයෙනුත් යුක්තයි. ඒ වගේම රත්පිත් කාරකයි. උෂ්ණ වීර්‍යයයි. භේදක ගුණයි.
ඉදුණු සියඹලා කරල් මධුර හා අම්ල රස නිසා වාත සමනයි. උෂ්ණ වීර්‍යයි. ඒ වගේම පරණ සියඹලා බොර ආහාර රුචිය වඩනවා. පිපාසය සමනය කරනවා.
මේ හේතු නිසා අමු සියඹලා වාත රෝග සඳහාත් ඉදුණු සියඹලා සෙම් වාත රෝග වලටත් යොදනු ලබනවා. ඒ වගේම ඉදුණු සියඹලා පානය පිත් රෝග සඳහා විශිෂ්ට ගුණ ගෙන දෙනවා යනුවෙන් සිතාරා සියඹලා ගැන හොඳ විස්තරයක් ජයනි වෙත ඉදිරිපත් කළාය .
සිතාරා අපි සියඹලා ඖෂධාංග ඖෂධ සඳහා යොදා ගන්නා විදියත් කතා කරමු “යනුවෙන් ජයනි අදහසක් ඉදිරිපත් කළාය.
ඔව් ඒ ටික තමයි ගොඩක් වැදගත්.” යනුවෙන් පැවසූ සිතාරා ඒවා විස්තර කළාය.
ජයනි සියඹලා කොළ සහ ඇට ඉදිමුම් නසන සහ වේදනා සමන ගුණයෙන් යුක්තයි. ඒ නිසා සියඹලා කොළ සහ ඇට අඹරා රත් කර ගත් ලේපය ඉදිමුම් සහ වේදනා සහිත ආබාධවලදි ප්‍රශස්ත යි.
ඒ වගේම සියඹලා මද ප්‍රලේපය සැරවා සහිත අවස්ථාවන්ට හිතකාරියි. තුවාල වලටත් හොඳයි. වැටීම් තැලීම් ආදිය නිසා හටගත් ඉදිමුම්වලදි අමු සියඹලා මද සහ වෙඩිලුණු සහිත ආලේපයෙන් වහා සුව ගෙන දෙනවා .
ඒ වගේම සියඹලා කොළ තැම්බූ වතුරින් තැවීමෙන් ඉදිමුම් සුව වෙනවා .
ඒ වගේම සියඹලා කොළ තම්බා ආලේපය හෝ තැවීමෙන් වෙදනා සහිත අර්ශස් සමනය කරන්න පුළුවන් යනුවෙන් සිතාරා සියඹලාවල බාහිර ප්‍රයෝග ගැනහොද විස්තරයක් ජයනි වෙත ඉදිරියේ කළාය.
එතකොට සිතාරා සියඹලා අඩංගු තවත් ඖෂධ යෝග තියෙනවා ද ජයනි නැවතත් ඇසීය
එයට පිළිතුරු දුන් සිතාරා” ඔව් ජයනි තවත් ගොඩක් ඖෂධ යෝග තියෙනවා “යනුවෙන් පවසා ඒවා විස්තර කළාය.
කටේ තුවාලවලදි
සියඹලා කොළ තම්බා ගත් වතුරින් කට සේදීම හොඳයි. බඩවැල පහත් වීමේ දී (ගුදභ්‍රංශයේදී) සියඹලා ඇට බැද වතුරෙන් අඹරා ආලේප කිරීම ප්‍රශස්ත යි
ඒ වගේම පැසුණු සියඹලා කරලේ මදය ඇට ඉවත් කරල පිරිසිදු වතුරේ දියකර පෙරා එයට සීනි, ගම්මිරිස්, කරාබු නැටි, කපුරු සහ කුරුඳු පොතු චූර්ණය මිශ්‍ර කර බඩගිනි අඩුකමට සහ ආහාර අරුචියේදී යොදනු ලබනවා.
ඒ වගේම සියඹලා මෝරු ඉතා ප්‍රශස්ත පානයක් මළ බද්ධය, අජීර්ණ, අරුචි ආදියට ඉතා ගුණදායකයි.
එසේම අර්ශස්, අතීසාර ආදියට සියඹලා මල් සහ දලු ඉතා ප්‍රශස්තයි යනුවෙන් සිතාරා සියඹලාවල ගුණාගුණ ගැන ජයනි හොඳින් දැනුවත් කළාය.
එතකොට සිතාරා ඉදුණු සියඹලා මද හදවතට හොඳයි කියන කතාව ඇත්තද .” යනුවෙන් ජයනි නැවත ප්‍රශ්න කර සිටියාය .
ඔව් හදවතට හොඳයි. ඒ වගේම රක්ත වාතයටත් හොඳයි. “යනුවෙන් පිළිතුරු දුන් සිතාරා සියඹලා ක්ෂාරය මූත්‍ර කාරක ගුණයෙන් යුතු බවත් එනිසා මූත්‍ර කෘව්ජ්‍ර රෝගයටත්, මූත්‍ර නාල ප්‍රදාහයටත්, මූත්‍ර අම්ලතාවයටත් යෝග්‍ය බවත් කීය.
ඒ වගේම සියඹලා ඇට දිනක් හෝ දෙකක් වතුරේ බහා තබා ඊට පසු පොතු ඉවත් කර එලකිරිවලින් තම්බා වියළා චූර්ණ කර ඖෂධ සදහා යොදා ගනු ලබන බව පැවසූ සිතාරා මෙම චූර්ණය ශුක්‍ර මේහය ප්‍රදර රෝග, සෝම රෝග ආදී රෝගවලදි වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර වටිකා සාදා ප්‍රයෝගකරනු ලබන බවත් කීය
එසේම සියඹලා පානකය(සර්වත්) දැවිලි සහ උණ සමන ගුණයෙන් යුතු නිසා උණ ..වමන, පිපාසා සහ දැවිලි ආදියේදී යොදනු ලබන බවත් පැවසූ සිතාරා තවත් ඖෂධ යෝග රාශියක්ම සියඹලා අඩංගු ව රෝග සමනය ට යෙදෙන බව ද කීය. මොනවද සිතාරා සියඹලා අඩංගු අනෙකුත් ඖෂධ යෝග ඒවා තව කීපයක් කියන්න පුළුවන් ද.”යනුවෙන් ජයනි නැවතත් ඇසීය.
ඔව් .ජයනි සියඹලා අඩංගු ඖෂධ යෝග තවත් රාශියක් තියෙනවා අපි එයින් කීපයක් ගැන කතා කරමු .” යනුවෙන් පැවසූ සිතාරා එම ඖෂධ යෝග විස්තර කරන්නට විය.
නේත්‍ර රෝගවලදි සියඹලා කොළ තම්බා මද උණුසුමින් තවනු ලබනවා. ඇස් රතුවීම, කඳුළු ගැලීම සහ දැවිල්ලට සියඹලා කොළ යුෂ එළකිරි සමඟ තබා බඳුනක ගලගා ඇස වටේට ආලේප කරනු ලබනවා.
වාතජ තිමිර ඇස් රෝගයට සහ ඇස් කැසීමට සියඹලා කොළ යුෂ ගම්මිරිස් ඇට කීපයක් දමා අඹරා දියකර ගිතෙල් ස්වල්පයක් සමග බිංදු ඇසට දමනු ලබනවා.
එසේම කුකුණක නම් ළමයින් ගේ ඇස් රෝගයට සියඹලා ඇට පැළවෙන අවස්ථාවේ අංකුර ගෙන යබොර සමඟ විනාකිරි වල දියකර ඇස වටේ ආලේප කරනු ලබනවා.
අණ්ඩ වෘද්ධියට සියුම් ලෙස අඹරා රත්කර ගත් සියඹලා කොළ ආලේපයෙන් ඉදිමුම සහ වේදනාව සමනය වෙනවා
අධික ලෙස දහඩිය ගැලීමේදී
ඉදුනු සියඹලා බොර සහ එම මල් සහ කුඹුරු ඇටමද වතුරින් අඹරා ආලේප කරනු ලබනවා
සර්ප විෂට
සියඹලා කොළ යුෂ සහිද ලුණු දමා පානයට දෙනු ලබනවා
මෙන්න මේ වගේ ඖෂධ යෝග රාශියක් තියෙනවා “.යනුවෙන් පැවසූ සිතාරා සියඹලා අඩංගු විශේෂිතම ඖෂධ කීපයක් ඇති බවද කීය .
සිතාරා ඒ විශේෂිත ඖෂධ මොනවාද කියල කියන්න පුලුවන්ද “ යනුවෙන් ජයනි නැවතත් ඇසීය.
ඔව් ජයනි ඒ ඖෂධ මෙන්න මේවා යි යනුවෙන් පැවසූ සිතාරා
සියඹලා නැටි කරපිංචා නැටි පෙති පුවක් අරළු කෂාය එයින් එකක්
මේක මල බද්ධය..සහිත පුරාතන අතීසාරයේදී ඉතාමත් ගුණදායකයි යනුවෙන් කීය. ඒ වගේම සියඹලා කොළ කෂාය රක්ත අතීසාරයේදී යොදනු ලබනවා. එසේම සියඹලා බස්නය අජීර්ණ, අරුචිය ආදියට යොදනු ලබනවා .
ඒ වගේම සියඹලා ඇට මද වටිය විශිෂ්ට වාජීකරණ ඔසුවක්.
ලිංගික දුබලතා සඳහා මෙය අතිශයින් ගුණදායකයි යනුවෙන් සිතාරා සියඹලා ගැන විස්තර සාකච්ඡා කිරීම නිමකළේය. සිතාරා ඔයා නිසා මට සියඹලා ගැන හොඳ දැනුමක් ලැබුණා
ඒ නිසා ඔයාට බොහොමත්ම ස්තූතියි. යනුවෙන් පැවසූ ජයනි ද සාකච්ඡාවට විරාමයක් තැබීය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන