වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සෙම් රෝග නසන කප්පරවල්ලිය
“ආයුබෝවන් නලින් මහත්තයා. ඉදගන්න. මොකක්ද මගෙන් කෙරෙන්න ඕන” යනුවෙන් සුසිල් මහතා නලින්ට පැවසීය.
“සුසිල් මහත්තයා. මට... ලිපියක් හදන්න අවශ්‍යයි. දැන් තියෙන සෙම් රෝගවලට කළ යුතු ප්‍රතිකාර ගැන. ඒ සඳහායි මම ආවෙ.” යනුවෙන් නලින් කීය.
“හොඳයි. නලින් මහත්තයා. අපි ඒ ගැන කතා කරමු” යනුවෙන් කී සුසිල් මහතා සාකච්ජාව ආරම්භ කළේය.
“නලින් මහත්තයෝ මේ දවස්වල මේ තියෙන වැස්ස නිසා ගොඩක් අයට සෙම් රෝග හැදෙනවා වැඩියි. මොකද ඒකට හේතුව වා පිත් සෙම් තුනෙන් සෙම් දෝෂය වැඩි වීමයි. සෙම් දෝෂය වැඩි වෙනකොට සෙම් රෝග බහුලව හටගන්නවා. ඒකත් වැඩිපුර හැදෙන්නෙ, කුඩා ළමයින්ටයි” යනුවෙන් සුසිල් මහතා මුල පිරුවේය.
“එතකොට සුසිල් මහත්තයෝ මොනවද හැදෙන සෙම් රෝග?” යනුවෙන් නලින් නැවත ප්‍රශ්න කළේය.
“විශේෂයෙන් ඇදුම.. කැස්ස...ප්‍රතිශ්‍යාව... සෙම්ගෙඩි ප්‍රදාහය.. කක්කල් කැස්ස වගේ රෝග ප්‍රධානයි.
මේ රෝගවලදි බොහෝ සෙයින් ගුණ දෙන ඉතා අගනා වටිනා ඖෂධයක් තමයි. “ කප්පරවල්ලිය” කියන්නෙ. යනුවෙන් සුසිල් මහතා කීය
විශේෂයෙන්ම කුඩා ළමයින්ට හටගන්න “කක්කල් කැස්ස” හෙවත් “කුක්කුර කාස” රෝගයට හොඳම ඖෂධය වන්නෙ “කප්පරවල්ලිය “ ශාකය. ඒ වගේම කප්පරවල්ලිය නිවැරැදිව හදුනාගැනීමත් වැදගත්” යනුවෙන් පැවසූ සුසිල් මහතා
කප්පරවල්ලිය වෙන්කර හඳුනාගත යුතු වන්නේ ඉරිවේරිය පැලෑටියෙන් බවත් කප්පරවල්ලිය පැලෑටියට ආවේණික තද සුගන්ධය නිසාත්. පත්‍රවල ඇති මාංසල ස්වභාවයේ අධික බව නිසාත් ඉරිවේරිය ශාකයෙන් මෙය පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි බවද කීය.
“එතකොට සුසිල් මහත්තයෝ.කප්පරවල්ලිය කොයි පළාත්වලද හැදෙන්නෙ?” යනුවෙන් නලින් නැවත ප්‍රශ්නයක් නැඟීය.
“ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා. විශේෂයෙන් පහතරට සහ මැදරට ගල් පර්වත සහිත කැළැවල වනගතව වැවෙන අතර ගෙවතුවල ඖෂධයක් ලෙස වගා කරනවා.”
ඒ වගේම මෙහි ආදිම ජන්ම භූමිය විදියට හඳුනාගෙන තියෙන්නෙ මලක්කා දූපත්. එසේම ඉන්දියාවෙ සෑම ප්‍රදේශයකම පාහේ දකින්න පුළුවන්. ඒ ඇරුණාම මැලේසියාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදයේත් දකින්න පුළුවන්”
“එතකොට සුසිල් මහත්තයෝ කප්පරවල්ලියවල හැඩහුරුකම කොහොමද..” නලින් නැවතත් සුසිල් මහතාගෙන් විමසීය.
“අපි කලිනුත් කිව්වා කප්පර වල්ලිය ඉරිවේරියවලට සමාන පැළෑටියක් කියල. සුවඳ සහ පත්‍ර වල මාංසල ගතිය වැඩි බව ආදිය නිසා කප්පරවල්ලිය ඉරිවේරියවලින් වෙන් කරල හඳුනගන්න පුළුවන්. ඒ වගේම කප්පරවල්ලිය සෙ. ම්.80 ක් පමණ උසට වැවෙන අර්ධ පඳුරුමය බහු වාර්ෂික පැළෑටියක්. කඳේ පහළ ගැටවලින් මුල් හටගන්නවා. පත්‍ර සෙ.මි. 5 ක් පමණ දිගයි. පත්‍රවල වටේට දාර ස්වරූපයෙන් යුතුයි.
පත්‍රවල නටුව සෙ.මි. 2-3 පමණ වෙනවා. මේ පත්‍ර අතිශයින් සුවදයි. අගින් ඇති මල් කිනිත්ත ඉතා දිගයි. මෙහි මල් 10ක් 20ක් පමණ තියෙනවා. මේ මල්වල පෙති සහ පෙති අඩංගු නාළය දම් පැහැයක් ගන්නවා. ඒ වගේම පැළය හටගෙන මාස 2 - 3 කින් මල් හට ගන්නවා. විශේෂයෙන් මැයි සිට ඔක්තෝම්බර් දක්වා කාලයේ මල් පිපෙනවා” යනුවෙන් විස්තර කළේය.
“සුසිල් මහත්තයෝ කප්පර වල්ලිය හඳුන්වන වෙනත් නම් මොනවද?” යනුවෙන් නලින් නැවතත් සුසිල් මහතාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
“මේ සදහා විවිධ භාෂාවලින් නම් රැසක් භාවිත වෙනවා. සිංහල භාෂාවෙන් කප්පරවල්ලිය සහ කප්පරවේලිය යන නම් යෙදෙනවා. සංස්කෘත භාෂාවෙන් පාෂාණ භේදි කර්පූරවල්ලී සහ පර්ණයවාකී නම් යෙදෙනවා.
හිංදි භාෂාවෙන් පත්තා සහ අජවායන යන නම් ද දෙමළ භාෂාවෙන් කර්පූරවල්ලී නාමයද ඉංග්‍රීසි භාෂාවෙන් Country borage නමද යෙදෙනවා.
එසේම කප්පරවල්ලියවල උද්භිද විද්‍යාත්මක නාමය
Coleus amboinicus Lour වන අතර එයට අමතරව Plectranthus amboinicus (Lour ) Sprenge සහ Coleus aromatious (Benth) Roxb යන නාමයනුත් යෙදෙනවා.
එසේම මෙහි කුලය
LAMIACEAE (LABIATAE) හෙවත් තුලසි කුලය.”
“එතකොට සුසිල් මහත්තයෝ.කප්පරවල්ලියවල ඖෂධීය ප්‍රයෝජන ගැන විස්තර ටිකකුත් කියන්න. ඒවා තමයි අවශ්‍යම ටික.” යනුවෙන් නලින් කී විට සුසිල් මහතා “ඔව් අපි ඒ තොරතුරු ගැන කතා කරමු” යැයි පවසා කප්පරවල්ලියවල ඔසු ගුණ ගැන කීමට පටන් ගත්තේය.
“කප්පරවල්ලිය පත්‍ර සහ සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබනවා. මේවා ගත යුත්තේ අමුවෙන්මයි. ආයුර්වේදයට අනුව මෙය රසයෙන් කටුක හා තික්තයි.
ගුණයෙන් ලඝු..රූක්ෂ..සහ තීක්ෂ්ණයි. වීර්‍යයෙන් උෂ්ණයි විපාකයෙන් කටුකයි.
මේ නිසා සෙම් සහ වාත දෝෂ සමන ගුණ යුක්තයි. එබැවින් සෙම් සහ වාත රෝග සඳහා යොදාගනු ලබනවා.
එසේම බාහිර වශයෙන් සැලකුවාම හිසේ වේදනා... වාත වේදනා... සහ ජංගම විෂ නිවාරණය සඳහා මේවායේ යුෂ ආලේප කරනු ලබනවා. විශේෂයෙන් ඇස් රුදාවේදි කප්පරවල්ලිය යුෂ ඇස වටා අලෙපයෙන් ඇස් රුදාව සමනය වෙනවා” යනුවෙන් සුසිල් මහතා විස්තර කළේය.
ඒ වගේම බඩගිනි වඩන, ආහාර රුචිය ඇතිකරන, පණුවන් නසන, වාත සමන සහ අක්මා උත්තේජක ආදී ගුණවලින් කප්පරවල්ලිය යුක්ත නිසා බඩගිනි අඩුකම... අජීර්ණ, මළ බද්ධය, අක්මා රෝග, උදර වේදනා,ජඅතිසාර, ග්‍රහනි, අර්ශස, අම්ල පිත්ත සහ පණු රෝග ආදියෙදි යොදනු ලබනවා.
එසේම වැඩිහිටියන්ගේ සහ විශේෂයෙන් බාලයන්ගේ බඩේ කැක්කුම් අවස්ථාවල කප්පරවල්ලිය කොටා වණ්ඩුවේ තම්බාගත් යුෂ මේස හැදි 1 ක් පමණ සීනි සමග ගැනීම ඉතා හොඳයි.
එසේම අතීසාර අවස්ථාවල පුටපාක හෝ වංඩුවේ තම්බා ගත් යුෂ මීපැණි සමඟ පානයෙන් හොඳ ගුණයක් ලැබෙනවා.
ඒ වාගේම කප්පරවල්ලිය කොළ අඹරා කැඳ උයා ආහාරයට ගැනීමෙන් ග්‍රහනි රෝගය සුව කළ හැකියි. එසේම කල්ගත වූ අජීර්ණ සහ බඩපුරවා දැමීමද සුව වෙනවා.”
මෙසේ කප්පරවල්ලියවල ගුණ ගැන කතා කළ සුසිල් මහතා නලින්ට කීවේ කප්පරවල්ලිය විශේෂයෙන්ම ගුණ සෙම් රෝගවලට බවයි.
“නලින් කප්පරවල්ලිය කියන්නෙ සෙමට හොඳම බේතක් සෙම් නසන සෙම් දුගඳ නසන සහ හතිය නසන ගුණ මෙහි හොඳීන්ම තියෙනවා.එනිසා කල්ගත වූ කැස්ස, ඇදුම, හික්කා ආදී රෝගවලට යොදනවා. කක්කල් කැස්ස රෝගයට මෙය ඉතා විශේෂයි.
කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බාගත් යුෂ සීනි, මීපැණි, තිප්පිලි කුඩ සමඟ යෙදීමෙන් ඉහත රෝග සමනය කර ගත හැකි වෙනවා.
ඒ වගේම කප්පරවල්ලිය කොළ යොදා සජස් කළ පැණිය කක්කල් කැස්සේදි බොහෝ ගුණයි” යනුවෙන් සුසිල් මහතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළේය.
ඔබතුමා අපි නොදන්නා වැදගත් කරුණු රාශියක් කියල දුන්නා. තවත් තොරතුරු ටිකක් කියල දෙනවනම් අපි කාටත්වැදගත් වේවි” යනුවෙන් නලින් සුසිල් මහතාට කීය. එවිට සුසිල් මහතා කප්පරවල්ලිය ගැන තව විස්තර කියන්නම්. කියමින් නැවත කතාව ආරම්භ කළේය.
හදවත් දුබලතාවය, ආක්ෂේප, අපතන්ත්‍රක වගේ රෝගවලටත් අශ්මරී, මූත්‍ර කෘච්ජ ආදී රෝග වලටත් කප්පරවල්ලිය යුෂ සහ කෂාය යොදාගනු ලබනවා ඒ විතරක් නෙවෙයි කල්ගත වූ කැස්සට කප්පරවල්ලිය යුෂ සීනි හෝ මීපැණි සමඟ සාදාගත් පැණිය යෝග්‍යයි. ඒ වාගේම කප්පරවල්ලිය අර්කය, කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාථය ආදි සංස්කාරක ඖෂධ ද සෙම් රෝග ඇතුළු රෝිග රාශියකට විශිෂ්ට ගුණ ගෙනදෙනවා” යනුවෙන් සුසිල් මහතා තවත් කරුණු පෙන්වා දුන්නේය.
“ඉතිං නලින් කප්පරවල්ලිය කියන්නෙ සෙම් රෝග ඇතුළු රෝග රැසකටම විශිෂ්ට ගුණ ගෙන දෙන අගනා ඔසුවක්. නිවරැදි මාත්‍රාවෙන්.නියමිත රෝගයට යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් “ යනුවෙන් කියමින් සුසිල් මහතා අදහස් දැක්වීම නිමා කළේය.
“මට අවශ්‍ය කරුණු කියල දුන්නට ඔබතුමාට බොහොම පිං” යනුවෙන් පැවසූ නලින් සුසිල් මහතාගෙන් සමු ගත්තේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන