වඳබව නසා දරුඵල ලබාදෙන වද

නොවැම්බර් 17, 2023

තරුණ වෛද්‍යවරියක වු ලලනී හමුවීමට විවාහක තරුණ යුවළක් පැමිණියේ ප්‍රතිකාර ගැනීමටයි. විවාහ වී වසර කිහිපයක් ගතවුව ද දරුවකු නොමැති කමින් කනස්සල්ලෙන් පසූවූ අනිල් සහ නිශානි යුවළ වෛද්‍යවරිය හමුවූයේ ඒ සඳහා උපදෙස් ගැනීමටයි.

ඔවුන් දුටු වෛද්‍යතුමිය

.”මොකද ඔයගොල්ලො බෙහෙත් ගන්නද” යැයි ඔවුන්ගෙන් විමසීය.

ඔව් වෙදනෝනා බෙහෙත් ගන්න තමයි ආවෙ. අපි බැඳල දැනට අවුරුදු 4 ක් වෙනවා ඒත් තාම බබාලා නැහැ. ඒ නිසයි බේත් ගන්න ආවෙ. යනුවෙන් අනිල් සහ නිශානි යුවළ වෛද්‍යතුමියට කීය.

ඉන්පසු ඔවුන් දෙදෙනාගෙන් ඔවුන්ගේ පෞද්ගලික කරුණු විමසූ වෛද්‍යතුමිය ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ ශාරීරික උෂ්ණාධික බව අධික බවත් ඒනිසා ශරීරය සිසිල්වීමට බෙහෙත් දියයුතු බවයි.

ඔයගොල්ලන්ගෙ ඇඟ නිවෙන්න බේත් ටිකක් බොන්න ඕන. කෂාය ටිකක් එක්ක තව බේත් ටිකක් බොන්න වෙනවා. මාස කීපයක් බොන්න වේවි. ඒ වගේම දවසට දෙපාරක් විතර පොකුරු වද මල් තම්බපු වතුරත් බොන්න ඕන. ඒ විදියට කළාම ඔය ගොල්ලන්ගෙ ප්‍රශ්නය විසඳේවි යැයි වෛද්‍යතුමිය බලාපොරොත්තු සහගතව කීවාය.

ඒ ඇසූ අනිල් සහ නිශානි “ හොඳමයි. වෛද්‍යතුමිය. අපි ඔබතුමිය කියන විදියටම කරන්නම්.එතකොට වදමල් කියන්නෙත් හොඳ බේතක්ද. යැයි විමසා සිටියාය.

එයට පිළිතුරු දුන් වෛද්‍යතුමිය. “ඔව්. වදමල් කියන්නෙ. හොඳ බේතක් තමයි. දරුපල නැති අයට වගේම ලේ අඩු අයටත් හොඳම ඖෂධයක් තමයි වදමල් යනුවෙන් පිළිතුරු දුන්නාය.

එතකොට වෛද්‍යතුමියනි. වදමල් ඖෂධයක් විදියට ගන්න එක තමයි හොඳ නේද? ගොඩක් දෙනා මල් ගහක් විදියට නිවෙසේ අලංකාරයට වවනවා මිසක් ඖෂධීය වටිනාකම ගැන දන්නෙ නැහැනේ. යනුවෙන් නිශානී පැවසීය.

ඔව්.ඔව්. මල් ගහක් විදියට නිවෙස් අලංකාරයටත් ඉඩම්වල වැටවල්වලටත් බොහෝ දෙනා යොදාගත්තත් පොකූරු වද කියන්නෙ හොඳ ඔසුවක් කියල දේශීය වෙදකමේ දක්වල තියෙනවා. ඒ වගේම බොහෝ දෙනා ඒ ගැන නොදන්න නිසා ක්‍රම ක්‍රමයෙන් ඖෂධ සඳහා යොදා ගැනීමෙන් ඈත්විමෙන් පවතිනවා. ඒවගේම අලුත් මල් වර්ග බහුල ලෙස වැවීම නිසා පොකුරු වද වැවීම ගොඩක් අඩුවෙලා තියෙනවා” යනුවෙන් වෛද්‍යතුමිය පැවසුවාය.

එතකොට වෙදනෝනා පොකුරු වද මොන ප්‍රදේශවලද වැවෙන්නෙ. යනුවෙන් අනිල් ප්‍රශ්නයක් ඇසීය.

දරුවනේ. පොකුරු වද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන් කුඩා ශාක විශේෂයක්. ඒ වගේම ඉන්දියාවෙත් බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන් “ යැයි වෛද්‍යතුමිය කීවාය.

ඒ වගේම පොකුරු වද ගස අඩි 7 ක් 8ක් විතර උසට වැවෙන ගහක්. මේ ගසේ අතු සිටුවීමෙන් පැළ කර ගන්න පුළුවන්. වද ගසේ කඳ අලු පාටයි. ඒ වගේම මේ කදේ පොත්ත පහසුවෙන් ගැලවිලා යන්න පුළුවන් ආකාරයේ ලිහිල් බවක් ගන්නවා.

මේ ගසේ අතු බොහෝ සෙයින් බෙදීගොස් තියෙනවා. එතරම් ශක්තිමත් නැහැ. වද ගසේ කොළ අඟල් 3ක් 4ක් පමණ දිගයි.පත්‍රවල වටේට දාර වැනි ස්වරූපයක් තියෙනවා. මේ පත්‍ර තද කළු පැහැයට හුරු කොළ පාටක් ගන්නවා. අතුවල අග කෙළවරේ සහ තැනින් තැන පොකුරු වශයෙන් මල් හටගන්නවා.” යනුවෙන් වෛද්‍යතුමිය වදගස ගැන හොඳ විස්තරයක් කළේය.

එතකොට වෛද්‍යතුමිය. වදගස හඳුන්වන වෙනත් නම් තියෙනවද? යැයි අනිල් නැවත වෛද්‍යතුමියගෙන් විමසීමක් කළේය

ඔව්. ඔව් නම් ගොඩක් තියෙනවා”යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය සිංහල භාෂාවෙන් බඳුවද පාකුරුවද සපත්තු මල් කියන නම් යෙදෙනවා.

සංස්කෘත භාෂාවෙන් ජපා, ජපාපුෂ්ප, රුද්‍රාපුෂ්ප, ශිවපුෂ්ප, බන්ධුක, රාගපුෂ්පී, අරුණ, ආදී නම් රාශියක් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් ශපාත්කුප්ප, ශම්බර රක්තයි ආදී නම් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් ගුඩතර සහ අඩෞල යන නම් යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් Shoe flower  නම යෙදෙන අතර පොකුරු වදවල උද්භිද විද්‍යාත්මක නාම වන්නේ.

Hibiscus rosa Sinensis සහ Pentapetes phoenicea L  යන නාමයන්. ඒ වගේම කුලය වන්නෙ STERCULIACEAE හෙවත් වන කර්පාස කුලයයි යනුවෙන් විස්තර කළේය.

එතකොට වද මල්වල ප්‍රභේදත් තියෙනවද. වෛද්‍යතුමියනි. යනුවෙන් නිශානි නැවතත් ප්‍රශ්නයක් නැගුවාය.

ඔව්. මල්වල පාට අනුව ප්‍රභේද තියෙනවා ළමයිනේ.

කහ, රතු සුදු මිශ්‍ර වර්ණ වශයෙන් ප්‍රභේද 4ක් තියෙනවා.

මෙයිනුත් තද රතු පාට සහ පෙති වැඩි වදමල් ගුණයෙන් ඉහළයි. සුදු පාට වර්ගය එළවළු ලෙසත් භාවිතා කරනවා. ඒ වගේම සපත්තු මල්. සහ බංගලි රෝස ත් වද පවුලටම අයත්”

යනුවෙන් වද ගැන වැදගත් කරුණු රාශියක් වෛද්‍යතුමිය විසින් අනිල් සහ නිශානි වෙත පෙන්වා දුන්නාය.

වෛද්‍යතුමියනි ඔබතුමිය පොකුරු වද ගැන නොදන්න කරුණු ගොඩක් අපිට කියල දුන්න. ඒ වගේම “පොකුරු වද” ඖෂධ සඳහා යොදාගන්නෙ කොයි ආකාරයටද කියල විස්තර කරල දෙන්න පුළුවන්ද.ඔබතුමියට බොහොම පින්.” යැයි නිශානි කීය

ඔව්. දරුවනේ වදවල මල් තමයි ප්‍රධාන වශයෙන් ඖෂධ සඳහා යොදාගන්නෙ. ඒ වගේම සමහර අවස්ථාවල කොළ ද බෙහෙත් සඳහා ගනු ලබනවා. වදමල්වල ගුණ ඉතා අධිකයි.

මෙයින් පිත සමනය කෙරෙනවා, සෙම් නසනවා, වාතය නසනවා, ඒ වගේම ග්‍රාහී ගුණයෙන් යුක්තයි. මධුර රසයි. ඒ වගේම දරුවනේ වදමල්වල මල වියළවීමේ ගුණ පවතින නිසා වදමල් කිහිපයක් උනුවතුරට දමා තම්බලා තේ මෙන් පානය ඉතා ගුණදායකයි.

තවද වරකට පොකුරු වද මල් දෙක බැගින් දිනකට තුන් පාරක් පාණ්ඨ කර බීම නිසා මූත්‍ර වැඩිපුර පිටවීම පාලනය වනවා.

‍ඒ වගේම තමයි පොකුරු වද මල් වල හිසකෙස් වඩන ගුණ තියෙනවා.

වදමල් සහ කොළ එකට අඹරල හිසේ හොඳින් අතුල්ලලා විනාඩි 10 ක් පමණ තබා ඊට පස්සෙ හිස හොදින් පීරිමැද සබන් නොගා නෑමෙන් හිස කෙස් ගැලවීයාම නතරවීමත් කෙස්මුල් ශක්තිමත් වීමත්සිදුවේවි.

සතියකට දෙවරක් බැගින් සති තුන හතරක් නොකඩවා මේ ප්‍රතිකාරය කිරීමෙන් හිසකෙස් ගැලවී යාම සහහිසකෙස් පැසීම නතර වේ.

ඒ වගේම කුඩා ළමයින්ගෙ සියලු රත රෝග (රතගාය) සඳහා පොකුරු වදමල් ප්‍රතිකාර සඳහා උපයෝගී කරගනු ලබන අතර වදමල් තම්බා සීනි දමා දීමෙන් ඉක්මන් සුව ලැබේ

එසේම අරලු, වැල්මී, ලුණුවිල පොකුරු වද රත්මල් සමව ගෙන තම්බා සීනි දමා පානයෙන් කුඩා ළමයින්ගේ ලේ පිරිසිදු වී රතගාය වැනි රෝගවලින් සුවය ලැබේ.

ඒ වගේම කාන්තාවන්ට බහුලව වැලඳෙන සෝම රෝගයට සහ ගුද මාර්ගයෙන් ලේ යන නොයෙක් රොග සඳහාත්.උපදංශ(සිපිලිස්) රෝගය සමනයටත් වදමල් බෙහෙවින් ගුණදායකයි.

තවද වදමල් කීපයක් උණුවතුරට දමා තැම්බුනාට පසු තද රතු පාටක් ගත් වතුර නිවා. සීනි දමා දිනපතා පානය කිරීමෙන් කාන්තාවන්ගේ පමණක් නොව ඕනෑම කෙනෙකුගේ ශරීරයේ උෂ්ණාධික ගති සමනය වී ශරීරය සිසිල් වන අතර එමගින් උෂ්ණාධික හේතු නිසා ඇතිවන බොහෝ රෝග සුවවනවා.

ඒ වාගේම අතීසාරය, පාචනය, අර්ශස් ප්‍රමේහ ආදී රෝග සඳහාත් විශිෂ්ඨ ගුණ දෙන ඔසුවක් ලෙස වදමල් හඳුන්වන්න පුළුවන්.

එසේම විවාහයෙන් පසු දීර්ඝ කාලයක් යනතෙක් දරුවන් නොමැතිවීම නිසා මානසික පීඩාවලින් පෙළෙන කාන්තාවන් සඳහාද වදමල් ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතරම මේ සඳහා ගුණදෙන අගනා කෂාය යෝගයන් කිහිපයක්ද වදමල් අඩංගුව දේශීය වෛද්‍යක්‍රමයේ දකින්න පුළුවන්.

මේ අතර වදමල් සහ සූකිරි මිශ්‍ර කෂාය කුඩා ළමුන්ට ඉතා ගුණදායක කෂායක් වන අතර “මල් කෂාය” නමින්ද එය ප්‍රකටයි. මේ ආකාරයට ඖෂධීය වශයෙන් වදමල් විශිෂ්ට ගුණ ගෙනදෙනවා යනුවෙන් වෛද්‍යතුමිය තොරතුරු රාශියක් ගෙනහැර දැක්වීය.

වෛද්‍යතුමිය කියන විදියට පොකුරු වද කියන්නෙ ඉතාමත් වටිනා ඖෂධයක්. අපි හිතාගෙන හිටියෙ මල් වර්ගයක් වගේම සාමාන්‍ය අත්බේතක් කියලයි. දැන් තමයි දැනගත්තෙ වටින බේතක් කියල. යනුවෙන් අනිල් කීය.

ඒ වගේම ආහාරමය වශයෙනුත් වදමල් වැදගත් වෙනවා. රතුළූනු ආදිය මිශ්‍ර කරල සම්බෝල සාදනු ලබනවා. ඒ වගේම රසවත් පානයක් විදියටත් සකස් කරනු ලබනවා. යනුවෙන් වෛද්‍යතුමිය තවත් කරුණු දැක්වීය.

වෛද්‍යතුමියට ගොඩක් පිං. අපිව දැනුවත් කළාට. අපි ඔබතුමිය කියන විදියටම බේත් කරගෙන යන්නම්. ඒ වගේම වදමල් දිනපතාම බොන්නම්. “යැයි අනිල් හා නිශානි බලාපොරොත්තු සහගතව කීය.

ඔව්. මම කියන විදියටම බෙහෙත් බොන්න. ඒ වගේම වදමල් බීමත් කරන්න. එතකොට ඉක්මනට ප්‍රතිඵල ලැබේවි. යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය කථාව හමාර කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.