වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බුදු දහමේ වෙද දහම හෙළි කරන වෙද කවි පබාව
ස්වස්ථතා සංරක්ෂණයට අත්‍යවශ්‍ය උපදේශ රාශියකින් යුත් “වෙද කවි පබාව“ ක්‍රි.ව. 1933 වැන්නේ දී, මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ විසින් පබඳින ලද්දකි. පෙර සතියේ එහි ඡායා මාත්‍රයක් හා ඒක දේශයක් මවිසින් ඔබ වෙත ගෙන එන ලදී. අද මා අපේක්ෂා කරන්නේ වෙද කවි පවාවේ බෞද්ධ පුරුෂාර්ථ පිළිබඳව හා එහි වෙනත් වෛද්‍ය උපදේශ කිහිපයක් ඔබවෙත සමීප කිරීමටය.
පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයේ සුවිශේෂිත්වය සිත හා කාය අතර සම්බන්ධය එකට ගෙන ප්‍රතිකාර හා උපදේශනය සිදු කිරීමය. බටහිර කායික වෛද්‍ය විද්‍යාව හා මනෝ වෛද්‍ය විද්‍යාව වශයෙන් දෙකක් පැවතියත්, පෙරදිග එසේ මිනිසාගේ නාම සහ රූප කොටස් දෙකක් ලෙස නොසලකා එහි අන්තර් සම්බන්ධතාවය සලකා ඒකීයත්වයෙන් ගෙන ඇත. එය පෙරදිග බුදුදහම, ජෛන දහම ආදියෙහි බලපෑම මත සිදු වී ඇත. කායික පැවැත්ම විෂයෙහි මානසික පැවැත්ම හේතුවන බවත්, මානසික ස්වස්ථතාවය උදෙසා කායික ස්වස්ථතාවය පදනම් වන ආකාරයත් ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පෙරදිග දර්ශනය තුළ පිළිගෙන ඇත. එම අදහස බටහිර වෛද්‍ය විද්‍යාව තුළ අද්‍යතනයේ සාකච්ඡාවට භාජනය වී ඇත. එම වටිනා අදහස වෙදකවි පබාව තුළ දැක්වෙන්නේ මෙසේ ය.
කෙලෙසුන් සහය වී
මෙනර සිරුරය ඇති වී
සිත එ සිරුරෙහි වී
මෙසිතිවිලි එම සිතෙහි පළ වී
රෝ ලකුණු මුසු වේ
මල්දම විලස මෙක වේ
වැඩි විතර නැති වේ
පමණවත් එම නමුත් පළ වේ
චිත්ත සන්තානයේ ඇති වන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල චෛතසික නිසා පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීමට පත්වේ. කෙලෙස් ධර්ම වැඩි පුද්ගලයාගේ මානසික මට්ටම මෙන් ම කායික මට්ටම ද බාහිර රූපකායේ ස්වභාවය අනුවත් හැසිරීම අනුවත් හඳුනාගත හැකිය. එය පෙරදිග දේහ ලක්ෂණ විද්‍යාව ලෙස කාලන්තරයක් පැවැතී ඇත. වර්තමානයේ පවා පුද්ගලයාගේ මුහුණ බලා ‘ලෙඩ පාට’ යැයි කියන්නේ එහි ඡායා මාත්‍රයක් ලෙසය.
ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය අනුරාධපුර යුගයේ සිටම හෙළ වෙදකම සඳහා සාධනීය බලපෑමක් සිදු කොට ඇත. හෙළ වෙදැදුරන් සංස්කෘත ආදී මාතෘ භාෂා අවබෝධය ඔස්සේ ආයුර්වේද ග්‍රන්ථ පරිශීලනය කොට ඇත. එම බලපෑම මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේගේ වෙදකවි පබාව තුළින් ද හඳුනාගත හැකිය. උන්වහන්සේ සංස්කෘත භාෂා විශාරදයෙකු වූ බව වේද වේදාන්ත පිළිබඳ තත් කෘතීන්වල දක්වා තිබීමෙන් ද හඳුනාගත හැකිය.
උණුසුමැති ආරි න
එගුණ ඇති දෙය බී මෙ න
පිත ගත කිපී ය න
වේද වදනක් මතක් වී එ න
සිංහල පැරැණි සමාජයේ ගමක ගෞරවණීය ප්‍රභූත්වයක් ලැබූ වැදගත් චරිතයක් වූයේ වෙද මහතාගේ චරිතයටය. එසෙත් නැතිනම් වෙද හාමුදුරුවන්ගේ චරිතයටය. එයට හේතුව අතීත ග්‍රාමීය සමාජවල ගමේ ජනතාවගේ කායික හා මානසික රෝග පීඩා දුරුකිරීමට එම චරිත නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කිරීමය. ගැමි වෛද්‍යවරයාගේ වෛද්‍ය කර්මය කුසල චේතනාවක් ම වූයේ ය. එය මුදල මත තීරණය නොවූ වටිනා පින්කමක් සේ සලකා ගැමි වෛද්‍යවරු කටයුතු කළ අවස්ථා බුද්ධදාස රජුගේ චරිත කතාව මඟින් ද අපට මහා වංසය වැනි වංසකතා කියා දී ඇත. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුම නිර්වාණාධිගමයට හේතුවන බව වෙදකවි පබාව මඟින් ද පෙන්වා දී ඇත.
දහම් හිමිවිසි නේ
දෙසු පිළිවෙත නොයෙදු නේ
රසය එම නිව නේ
කෙසේ විඳිමුද? මතු සුදන නේ
එළිවෙත ලෙඩෙකු ට
දුකරය පුරා ගැනුම ට
එහෙයිනී මෙය සෙත ට
මඟකි දක්වන උවාරණ කො ට
හෙළ වෙදකම සමඟ එකට බද්ධ වූ අනෙක් ශාස්ත්‍රය වූයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයයි. භාරත දේශයේ ආයුර්වේදය සඳහා ද ඡ්‍යොතිෂය යොදා ගැනීම අනිවාර්ය අංගයකි.
වාතයෙන සිරුර ට
වූ ලෙඩ විමසනා කො ට
ගහසක ගැන සොඳ ට
බලව් සෙනසුරු අයුරු මොනව ට
වාතය කිපීමට සෙනසුරු ග්‍රහයාගේ බලපෑම හේතුවන බව වෙද කවි පබාවේ ඉහත කවියෙන් හඳුනාගත හැකිය. පුද්ගලයාගේ ග්‍රහ චක්‍රයේ ස්වභාවය වෙදකමට පෙර බැලීමේ වැදගත්කම මෙමඟින් හඳුනාගත හැකිය.
වා කිපුණු හොති නේ
රුදා ගතැහට ගැනු නේ
අඟ පසඟ මැඩු නේ
එයින වා කිපි බවගි දැනු නේ
වාතය කිපී හඳුනාගත හැකි ශාරීරික ලක්ෂණ ද ඉහත කවිය තුළින් හඳුනාගත හැකිය. පුද්ගල ශරීරයේ පිත කිපීම හඳුනාගත හැකි ලක්ෂණ ද පහත කවියෙන් හඳුනාගත හැකිය.
ඇත ගත දැවි ල් ලේ
මත් වී කරකැවි ල් ලේ
වෑයම හොතු ල් ලේ
පිතය කිපුමෙහි මෙම සිය ල් ලේ
සෙම කිපීමට ප්‍රතිකාරය සහ සෙම කිපීම හඳුනාගත හැකි රෝග ලක්ෂණ කවියා දක්වන්නේ මෙසේ ය.
ලකුණට සෙම කිපු න
සෝගඳ හා තෙමරි ව න
ගැල් වූ මෙන තෙලි න
දැනුම් පෙන්නුම් බවට පැමිණෙ න
පොපියා යන කැසු ම්
හැඟුනා නොමඳිනා ලො ම්
දක්වමින මැළික ම්
ඉඳියි කිපුනේ හෙයින ගත සෙම්
වෙද කවි පබාවේ කතුහිමියෝ වෛද්‍ය ශාස්ත්‍රය සමඟ ධර්ම ශාස්ත්‍රයන් ද මනාව සන්නිවේදනය කිරීමට උත්සුක වී ඇත. බෞද්ධ භික්ෂුවක් වශයෙන් එම කාර්යය උන්වහන්සේ මනාව ඉටු කොට ඇත. පුද්ගලයා නැතහොත් සත්ත්වයා යනු නාම රුප ධර්මයන්ගේ සමවාය බවත් එය පුද්ගලයාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නිතර සිහියේ තබාගත යුතු වැදගත් මනසිකාරයක් ද වන්නේ ය.
“නම් - රූ” යන දෙදෙ න
සලකව් එක් සතෙක් මෙ න
ඔහු කළ කම් ලෙසි න
උපත සිදුවෙයි සසර තැන තැන
බටහිර මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රවල ආරම්ක අවදිවල පුද්ගලයාගේ මනස සහ කය වෙනම ගෙන සලකා ප්‍රතිකාර කළ ද, පෙරදිග එසේ නොවේ. පෙරදිග වෛද්‍ය කර්ම තුළ පුද්ගලයාගේ මානසික හා කායික හේතුඵල සම්බන්ධය සලකා ප්‍රතිකාර කරනු ලැබේ. සිංහල වෙදකමේ ‘වෙදහෙදකම්’ ලෙස දක්වා ඇත්තේ එයයි. වෙදකම ප්‍රධාන වශයෙන් කයට ලබා දෙන පහසුව වන අතර හෙදකම මනසට ලබා දෙන පහසුව වන්නේ ය. හෙදකමත් වෙදකමත් ප්‍රමාණවත් නොවන තැන එම රෝගය සඳහා පුද්ගලයාගේ කර්ම ශක්තිය ද හේතුවන බව බුදුසමය මඟින් මෙරට වෛද්‍යවරු පිළිගන්නා කරුණකි. එම පදනමේ සිට මනෝ සහ කර්ම විෂයය සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් ලෙස බෝධි පූජා, පිරිත්, ශාස්තිකර්ම, බලියාග ආදී අභිචාර සම්ප්‍රදායයන් විශාල මෙහෙයක් අනාදිමත් කාලයක සිට සිංහල වෛද්‍ය ශාස්ත්‍රය හා බද්ධ වී පවතී. එය පරිපූර්ණ පුද්ගලයාගේ ස්වස්ථතා සංරක්ෂණය විෂයෙහි බලපා ඇත.
කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී
රත්මලානේ රතනසිරි හිමි