වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
කහඹිලියාවලට බිය නොවී ගුණ ගැනත් දැනගන්න
“මොකද සරත් ළමයා අද මේ පැත්තෙ. විශ්වවිද්‍යාලය නිවාඩුද?”
“නිවාඩු නැහැ වෙද මහත්තයා... මම මෙහාටමයි ආවෙ.”
“ඇයි මොකක්ද අසනීපය?” “අසනීපයක්ම නෙමෙයි වෙද මහත්තයෝ... මම ආවෙ පැළෑටියක් ගැන තොරතුරු ටිකක් දැන ගන්නයි”
“කියන්න සරත් පුතා... මොකක්ද පැළෑටිය? දැනගන්න ඕනෑ කියන?”
“වෙද මහත්තයෝ. මම අපේ වත්ත ශුද්ධ කරකර හිටියා. ඒ වෙලාවෙ මගේ අතේ ගෑවුණ පැළෑටියක් නිසා අත කසල ඉදිමුණා.මම ඒ පැළෑටියේ කොටසකුත් අරගෙන ආවා. බලන්න වෙද මහත්තයෝ මේ මොනවද කියල?”
“කෝ බලන්න සරත් පුතා ගෙනාපු පැළෑටිය? ආ... මේ වැල්කහඹිලියා පැළෑටියක්නේ. මේවායේ කොළ ගෑවුණාම කසනව තමයි...”
“එතකොට වෙද මහත්තයෝ මේවත් ඖෂධවලට ගන්නවද?”
“ඔව් සරත් පුතා වැල්කහඹිලියා කියන්නේ බෙහෙත් පැළෑටියක් තමයි. මේ අපි අවට පරිසරයේ දකින්න තියෙන ගස් වැල් අතරින් රෝගාබාධ රාශියකට ගුණ දෙන ඉතා අගනා වටිනා ඖෂධ පැළෑටියක්.
ඒ වගේම තමයි පුතා මේවා ඉතා ඈත අතීතයේ ඉඳලම දේශීය ඖෂධයක් විදියට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ භාවිත කර තිබෙන පැළෑටියක්. ඒ වගේම වැල්කහඹිලියා කියන්නේ සුවිශේෂ ලක්ෂණ පෙන්වන්නක්. මේ පැළෑටිවල විෂ සහිත සියුම් බූවක් දකින්න තියෙනවා. මේ සියුම් බූව සමේ ගෑවුණොත් ඒ තැන්වල කැසීම් හටගන්නවා.
මේ කසන නිසා තමයි කහඹිලියා කියන නම යෙදිලා තියෙන්නෙත්. ඒ වගේම දේශීය වශයෙන් ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේත් වැල් කහඹිලියාමයි. ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර කහඹිලියා කියල වැඩි වශයෙන් හඳුනාගෙන තියෙන්නෙත් වැල්කහඹිලියාමයි.”
“එතකොට වෙද මහත්තයෝ වැල්කහඹිලියා මොන රෝගවලටද වඩාත් ගුණ?”
“බොහෝ විට වාත රෝගවලට විශේෂයෙන් ගුණදායක දෙයක් විදියටයි වැල්කහඹිලියා හඳුන්වන්නෙ.
ඒවගේම පුතා ආයුර්වේද පොත්පත්වල දක්වලා තියෙන දුරාලභා, යවාස ආදි නම්වලින් හඳුන්වන ඖෂධ ද්‍රව්‍යය වෙනුවට අපේ රටේ දේශීය වෛද්‍යවරු යොදා ගන්නෙ වැල්කහඹිලියායි. ඒ වගේම වැල්කහඹිලියා තනි ද්‍රව්‍යයක් විදියටත් දේශීය වට්ටෝරුවල දකින්න පුළුවන්. එසේම ශ්‍රී ලංකාවෙ අතීතයේ හිටපු වෙද රජු විදියට සලකන බුද්ධදාස රජතුමා ලියපු සාරාර්ථ සංග්‍රහය කියන වෙද පොතේ දක්වල තියෙන වැල්පස්මුලට ගන්න එක ද්‍රව්‍යයක් තමයි වැල්කහඹිලිය කියන්නේ...
අනෙක ආයුර්වේදයේ දැක්වෙන ස්ථීරාදී ගණය..වැල්පස්මුල් ගණය..තෘෂ්ණා නිග්‍රහණ ගණය..හික්කා ගණය..විදාරී ගන්ධාදී ගණය සහ වෘහත්‍යාදී ගණය ආදියට අයත් එක් වර්ගයක් වන්නේ වැල්කහඹිලියායි.”
“වෙද මහත්තයෝ වැල්කහඹිලියා කොයි ප්‍රදේශවලද වැවෙන්නේ?”
විදේශීය වශයෙන් ගත්තාම ඉන්දියාව, චිනය, මියැන්මාරය වගේ රටවල දකින්න පුළුවන්. ඒ වගේම දේශීය වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ පහතරට පාළු බිම්වලත් වියළි දේශගුණ තත්ත්ව ඇති ප්‍රදේශවලත් වැවෙනවා. වගා බිම් සහ අත් හැර දැමූ බිම්වල වල් පැළෑටියක් ලෙසත් වැවෙනවා.”
“එතකොට වෙද මහත්තයෝ වැල්කහඹිලියා අඳුනා ගන්නෙ කොහොමද?”
“පුතා මේවා වැල් විදියටනේ හැදෙන්නේ... සාමාන්‍යයෙන් අඩි 3- 4 ක් විතර දිගට හැදෙනවා. මේ වැලේ කඳ ආරෝහකයක් විදියට වැවෙනවා. මේ මුළු වැලේම විෂ සහිත ඝන දැඩි රෝම බූවකින් වැහිල තියෙනවා. මේ කඳ සිහින් දිගටි සහ එතෙන සුලුයි. පත්‍ර සරලයි.පත්‍ර සහ නටුවත් විෂ බූවෙන් වැහිලා තියෙනවා.
මේ වැල්වල හැදෙන මල් කහපාටට හුරුයි. සාමාන්‍යයෙන් මේ වැල්කහඹිලියා වැල්වල මල් හැදෙන්නේ පෙබරවාරි-මාර්තු සහ ජූනි මාසවලයි.
ඒ වගේම මේ වැල්වල හටගන්න ගෙඩිවල තිබෙන බීජ සිනිඳුයි. ගෝලාකාරයි. පුල්ලි සහිතයි. මේවා අළු පාටට හුරු දුඹුරු පාටක් ගන්නවා.”
“වෙද මහත්තයෝ මේ වැල්කහඹිලියාවලට කියන වෙනත් නම් තියෙනවාද?”
“ඔව්... සිංහල භාෂාවෙන්
වැල්කහඹිලියා සහ හැල්කහඹිලියා කියනවා.
සංස්කෘත භාෂාවෙන්
විෂඝ්නී.. දුරාලභා, දුස්පර්ශිත, වෘශ්චිකාලී, වෘශ්චික පත්‍රී, නාගදන්තිකා, කාල, අමරා, කාසග්නී, විරූපා, ඛර්ගන්ධා ආදි නම් රාශියක් තියෙනවා.
හින්දි භාෂාවෙන්
ඛර්ගන්ධා, බිජුවාසාස් යන නම් යෙදෙනවා.
දෙමළ භාෂාවෙන්
කන්නිඩී සහ කන්චූරි යන නම් යෙදෙනවා.
වැල්කහඹිලියාවල උද්භිද විද්‍යාත්මක නාමය
Tragis involucrate L වෙනවා
එසේම කුලය
EUPHORBIACEAE හෙවත් ඒරණ්ඩ කුලයයි.
ඒ වගේම කහඹිලියාවල ප්‍රභේද කිහිපයක්ම තියෙනවා
එක් ආකාරයකට
1 ගස්කහඹිලියා
2 වැල්කහඹිලියා වශයෙන් ප්‍රභේද 2ක් දක්වනවා
තවත් ආකාරයකට
1 ගස් කහඹිලියා
2 වැල් කහඹිලියා
3 හීංවැල් කහඹිලියා
වශයෙන් ප්‍රභේද 3 දක්වනවා
එසේම තවත් විදියකට
1 හැල් කහඹිලියා
2 වැල් කහඹිලියා
3 හීංවැල් කහඹිලියා
4 ගැට කහඹිලියා
වශයෙන් ප්‍රභේද 4 කියවෙනවා
මීට අමතරව
1 දුරාලභා (ධන්වයාස)
2 යවාස
3 වෘශ්චිකාලී(වැල්කහඹිලියා)
4 වන්‍ය දුරාලභා (වල්කහඹිලියා)
ලෙස ප්‍රභේද කර තියෙනවා
මේ සියල්ලම සැලකුවාම
දුරාලභා සහ යවාස යන දෙකම වෙනුවට ප්‍රතිනිධි වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් වැල්කහඹිලියා තමයි යොදා ගන්නෙ.
ඒ වගේම දේශීය ක්වාථ ආදියේදී භාවිත කරනු ලබනවා
එසේම දියතාරාමය, කෝලදවුණ්ඩ ආදි ඖෂධ බොහෝ සෙයින් අඩංගුයි. ඒ නිසා උණ රෝග චිකිත්සාවෙදි විශිෂ්ට ගුණ ලබා දෙනවා.”
“වෙද මහත්තයෝ එතකොට වැල්කහඹිලියාවල ගුණාගුණ කොහොමද.? ඔබතුමා විස්තර කළ විදියට වැල්කහඹිලියා ගොඩක් ගුණදායක ඔසුවක් බවයි පේන්නෙ?”
“ඔව් පුතා වැල්කහඹිලියා කියන්නේ ඉතා ගුණදායක ඔසුවක්...
මෙය රසයෙන් කටුක හා තික්තයි
ගුණයෙන් ලඝුයි
වීර්‍යයෙන් උෂ්ණයි
විපාකයෙන් කටුකයි
දෝෂ අනුව සලකන විට
වාත සමන සහ සෙම නසන ගුණ යුතුයි .
ඒ වගේම වැල්කහඹිලියා මුල්
මූත්‍රකාරකයි. උණ නසනවා. දහඩිය ඇති කරනවා. තුවාල ආදිය සුව කරන ගුණ සහිතයි.
මේවායේ ගුණ ප්‍රධාන වශයෙන් සැලකුවාම
හදවතට හිතකරයි.. මූත්‍ර කාරකයි.. දහඩිය ඇති කරයි... පිත් ඇති කරන ගුණ යුතුයි. කට පිරිසිදු කරන ගුණ යුතුයි. බලය වඩන ගුණ යුතුයි. කැස්ස, හතිය සහ විෂ නසන ගුණ සහිතයි.රත්පිත් සමනය කරන ගුණ සහිතයි. බඩගිනි වඩන නිසා ආහාර පිළිබඳ කැමැත්ත ඇතිකරයි.
ඒ වගේම
කල්ගත වුණු උණ, උපදංශ රෝග, ශ්වාස නාළ ඉදිමුම්, කුෂ්ඨ රෝග, හිසේ වේදනා, තුවාල, ඉන්ද්‍රලුප්ත (උදුගොව්වා කෑම ), ලේ ගෙඩි, ශ්වසනජ්වර ( න්‍යුමෝනියා), උගුරේ ඉදිමුම්, සන්නිපාත උණ, කැස්ස, ඇදුම, මහා කුෂ්ඨ සඳහා යොදා ගනු ලබනවා.
එසේම කුෂ්ඨ තුවාල සහ ලාදුරු ආදි රෝගවලදි බාහිර ආලේප සඳහා යොදා ගනු ලබනවා.
එසේම වැල්කහඹිලියා අඩංගු ඖෂධ යෝග ගැන සලකා බැලුවම
කුෂ්ඨ රෝග සඳහා
වැල්කහඹිලියා මුල් අඹරා ආලේප කරනු ලබනවා.
හිසරදයට.
වැල් කහඹිලියා මුල් අමු ඉඟුරු සමඟ අඹරා හිසේ ආලේපයෙන් හිසරදය සමනය වෙනවා
ව්‍රණ (තුවාල ) සඳහා
වැල් කහඹිලියා මුල් මදුරුතලා කොළ යුෂයෙන් අඹරා ආලේප කරනු ලබනවා
ගඩු(ලේ ගෙඩි ) පැසවා පිපිරීමට, උදුගොව්වන් කෑමට
වැල්කහඹිලියා ගෙඩි ඇල් දියෙන් අඹරා ආලේප කරනු ලබනවා.
කලගතවූ උපදංශ රෝගයේදී
වැල් කහඹිලිය ක්වාථය යොදනවා
මෙන්න මේ ආදි වශයෙන් වැල්කහඹිලියා රෝගාබාධ රාශියකට ඖෂධ වශයෙන් යොදනු ලබනවා.
ඒ වගේම පුතා මේ වැල්කහඹිලියා ගුණයෙන් දුරාලභා සහ යවාසවලට සමාන නිසා එම ඖෂධ දෙවගයම සඳහා ප්‍රතිනිධි ලෙස ගනු ලබනවා.
ඒ වගේම වැල්කහඹිලියා අඩංගු සංස්කාරික ඔසුවක් විදියට නිශ්ශ්‍රිකවල්‍යාදී ක්වාථය හඳුන්වන්න පුළුවන්.
මේ අනුව පුතා අපට පෙනී යන්නේ වැල්කහඹිලියා කියන්නේ ඖෂධීය වශයෙන් අත්ශයින් ප්‍රයෝජනවත් පැළෑටියක් කියලායි.”
“එතකොට වෙද මහත්තයෝ වැල්කහඹිලියා යොදා ගන්නේ ඔය අවස්ථාවලට විතරද?.”
“නෑ... අලින්ගේ හොරි ගඩු ආදියේ ආලේපයට ගනු ලබනවා.
ඒ වගේම මුං ඇට, කව්පි, කඩල, මෑ ආදි බීජවල ආරක්ෂාවට කෘමි නාශකයක් විදියටත් වැල්කහඹිලියා කොළ යොදා ගන්නවා. මේ නිසා සේනක පුතා වැල්කහඹිලියා කියන්නේ ඖෂධයක් වගේම තවත් ප්‍රයෝජන රාශියක් ගෙනදෙන පැළෑටියක්.
මේවායේ තියෙන කැසීම ඇති කරන ගුණය නිසා මෙය ස්පර්ශ කරන්නත් ඖෂධ සඳහා යොදා ගන්නත් සමහර අය අකමැති වුණත් වැල්කහඹිලියා කියන්නේ වටිනා ඖෂධයක්.”
“වෙද මහත්තයෝ... ඔබතුමාට බොහොම පින් මේ ගැන තේරුම් කරලා දුන්නට”පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන