පිරිමින්ගේ ධාතු වඩන මවුවරුන්ගේ කිරි වඩන උඳුපියලිය

පෙබරවාරි 16, 2024

දේශීය වෛද්‍යවරයකු වන ලලිත් මහතාගේ නිවසේ මිදුලේ වැඩි ප්‍රමාණයක් වැසී තිබුණේ උඳුපියලිය වලිනි. ඔහු උදෑසන අවදිවීමෙන් පසු කරන ප්‍රථම කාර්‍යය වූයේ මේ උඳුපියලිය පලස මත ඇවිදීමයි. මේ ක්‍රියාව දුටු ඔහුගේ දියණිය විමසුවේ “ඇයි තාත්තා හැමදාම උදේට උඳුපියලිය උඩ ඇවිදින්නෙ. මොනව හරි විශේෂයක් තියෙනවාද “ යනුවෙනි .

“ඔව් දුවේ උඳුපියලිය කියන්නේ හොඳ ඖෂධීය පැළෑටියක්. මේවා ඖෂධ සඳහා බොහෝ සෙයින් යොදාගන්නවා. ඒ වගේම මේවා උඩ උදේම පින්නෙ ඇවිදින එක ඇස්වලටත් හොඳයි, ශරීරයේ උෂ්ණය අඩුවෙන්නත් හොඳයි. තවත් ගොඩක් දේවලට ගුණදායකයි.” යනුවෙන් ලලිත් මහතා තම දියණිය වූ සිතාරා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය .

සිතාරා විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවියක වූ අතර ඇයට ශාක ගැන අවබෝධය ලබා ගැනීම වැදගත් වන නිසා උඳුපියලිය ගැන තවත් තොරතුරු දැන ගැනීමට උත්සුක විය .

එහෙම නම් තාත්තේ උදුපියලිය හොඳ ඖෂධයක් නිසා ඒ ගැන විස්තර ගොඩක් දන්නව ඇතිනේ. මටත් ඒවා වැදගත් ඒ නිසා ඒ ගැන විස්තර ටිකක් කතා කරමු .”

“හොඳයි දුවේ. ඔයා දන්නවා. උඳුපියලිය කියන්නේ අප අවට පරිසරයේ තණකොළ සමඟ වැවෙන ඖෂධීය පැළෑටි රාශිය අතුරින් එකක්. ගෙවත්තේ වගේම අවට පරිසරයේ තණබිම්වල බොහෝ සෙයින් දක්නට ලැබෙන පැළෑටියක්.උඳුපියලිය වල ඖෂධීය වටිනාකම ගැන දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් හොදින් විස්තර කරල තියෙනවා. ඒ වගේම ඒවා යොදා ගන්නා අත්බේත් සහ වෙනත් ඖෂධ යෝග රාශියක් පිළිබඳව විස්තර කරලා තියෙනවා.

ඒ වගේම එදිනෙදා ඇතිවන සරල රෝගාබාධ බොහෝමයකදී යොදාගනු ලබන සරල ඖෂධ යෝග සඳහා උඳුපියලිය යොදා ගනු ලබනවා. මේ වෙද්දී උඳුපියලිය වර්ග 3 ක් හඳුනාගෙන තිබෙනවා.”

“එතකොට තාත්තේ ඒ උඳුපියලිය වර්ග මොනවාද “ යනුවෙන් සිතාරා විමසීය.

“ඒවා තමයි දුවේ..

හීන් ඳුදුපියලිය

මහ ඳුදුපියලිය

ඇත් ඳුදුපියලිය කියන වර්ග තුන. මේ අතුරින් ඖෂධීය වශයෙන් අතිශයින් වැදගත් වන්නේ හීන් උඳුපියලිය කියන වර්ගයයි.” යනුවෙන් ලලිත් මහතා පිළිතුරු දුන්නේය .

“එතකොට තාත්තේ උඳුපියලිය වැවෙන්නේ මොන පළාත්වලද .” සිතාරා ඇසීය.

“අපේ රටේ නම් හැම ප්‍රදේශයකම වගේ හීන් උඳුපියලිය වැවෙනවා. එයිනුත් පහත රට ප්‍රදේශවල බහුලව දකින්න පුළුවන්. ඇත් උඳුපියලියත් අපේ රටේ තෙත් ප්‍රදේශවලත් කඳුකර ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා. මහ උඳුපියලියත් අනෙක් ප්‍රභේද දෙක වගේම ඒ ප්‍රදේශවල වැවෙනවා.

විදේශීය රටවල් ගත්තොත් ඉන්දියාව..මලයාව... පිලිපීනය ආදී රටවල හොදින් වැවෙනවා” යනුවෙන් ලලිත් මහතා පිළිතුරු දුන්නේය.

“ඒ වගේම මේ උඳුපියලිය ප්‍රභේදවලින් අපිට වඩා වැදගත් වන්නේ හීං උදුපිය්ලිය නේ..

මේවා අඟල් 4 ක් 5 ක් පමණ දිගකින් යුක්ත කුඩා බහු වාර්ෂික පැළෑටියක්. මෙය සිහින් දිග අතු බොහෝ ගණනකික් යුක්තයි. ඒවායේ තියෙන ගැටවලින් මුල් හටගනු ලබනවා. මේවායේ පත්‍ර සෙන්ටිමීටර් 1/2 ක් විතර දිගයි. ඒ වගේම පත්‍ර 3 ක් බැගින් එකට තියෙනවා. ඒ වගේම පත්‍ර කක්ෂවල කුඩා මල් හටගනු ලබනවා. එක කක්ෂයක මල් 1සිට 5 දක්වා සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. මල් අක්‍රමවත්. දම් පාටින් යුතුයි. මේවායේ හටගන්නා කරල් සෙන්ටිමීටර් 1/2 ක් විතර දිගයි. ඒවායේ පුරුක් තියෙනවා.

ඒ වගේම ඇත් උඳුපියලියත් තරමක් සෘජු වාර්ෂික පැලෑටියක්. ඒවායේත් අතු බොහොමයක් තියෙනවා. කුඩා මල්වලින් යුක්තයි. ඒවාත් දම් පාටයි. මෙවායෙ කරල් සෙන්ටිමීටරයක් විතර දිගයි.

මහ උඳුපියලියත් සෑම අතින්ම අනෙක් ප්‍රභේද 2 හා සමාන ලක්ෂණ පෙන්නනු ලබනවා “ යනුවෙන් ලලිත් මහතා උඳුපියලිය ගැන තවත් විස්තර ඉදිරිපත් කළේය .

“තාත්තේ උඳුපියලියවලට කියන වෙනත් නම් තියෙනවා නේද .” යනුවෙන් සිතාරා නැවතත් ලලිත් මහතාගෙන් ඇසූවිට ඔහු කීවේ විවිධ භාෂාවලින් නම් රැසක් ඇති බවයි.

“දුවේ උඳුපියලිය වලට විවිධ භාෂාවලින් නම් රාශියක් තියෙනවා .

සංස්කෘත භාෂාවෙන්

අම්ලන යනුවෙන් ද

දෙමළ භාෂාවෙන්

සිරුප්‍රලාසි යනුවෙන් ද

හිංදි භාෂාවෙන්

කුඩලිය යනුවෙන් ද යෙදෙනවා .

ඒ වගේම

හීන් උඳුපියලියවල

උද්භිද විද්‍යාත්මක නාමය

Desmodium triflorum D.C.

ඇත් උඳුපියලියවල උද්භිද විද්‍යාත්මක නාමය

Desmodium neterocarpum D.C.

මහ උඳුපියලියවල උද්භිද විද්‍යාත්මක නාමය

Desmodium hetero phylium D.C.  යනුවෙන් හදුන්වනවා.

උඳුපියලියවල කුලය

LEGUMINOSEA  හෙවත් ශිම්බී කුලය යි” යනුවෙන් ලලිත් මහතා විස්තර ඉදිරිපත් කළේය

“එතකොට තාත්තේ උඳුපියලියවල ඖෂධීය වටිනාකම කොහොමද?” යනුවෙන් සිතාරා නැවතත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලේය .

“උඳුපියලිය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් මෙයිනුත් හීන් උඳුපියලිය තමයි වඩා වැදගත් වන්නේ. මේවායේ පැළෑටිය සහ ස්වරසය (යුෂය) ඖෂධ සඳහා යොදා ගනු ලබනවා. මෙහිදී හීන් උඳුපියලිය නොමැති අවස්ථාවල මහ උදුපියලිය උපයෝගි කරගනු ලබනවා. රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී මහ උදුපියලිය හීන් උඳුපියලියවලට සමාන ගුණවලින් යුක්ත බව පෙනී යනවා.

ඒ වගේම මේවා

ගුණයෙන් සිසිල් වන අතරම

රසයෙන් තික්ත සහ මධුර මිශ්‍ර රසයෙන් යුක්තයි.

ඒ වගේම ශුක්‍ර වඩන ගුණයෙන් සහ සෙම් වඩන ගුණයෙන් යුක්තයි.

වාතය ..පිත...උණ..ඉදිමුම් සහ ලේ දෝෂ නසනු ලබනවා” යැයි ලලිත් මහතා තම දියණියට තවත් තොරතුරු පැහැදිලි කර දුන්නේය .

“එතකොට තාත්තේ මේවා කොහොමද බෙහෙත් සදහා යොදා ගනු ලබන්නේ” යැයි සිතාරා නැවතත් පියා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය .

“බෙහෙත් වර්ග නම් ගොඩක් තියෙනවා” යනුවෙන් පැවසූ ලලිත් මහතා ඒවා විස්තර කිරීමට පටන් ගත්තේය .

*අතීසාරයට

හීන් උඳුපියලිය...ඉරිවේරිය...අමුකහ කොටා දෙහි ඇඹුලින් අනා වණ්ඩුවේ..හෝ පුටපාක ලෙස හෝ තම්බා යුෂ ගෙන මී පැණි දමා බීම ඉතා ගුණදායකයි .

*බඩ පිපුමට

හීංඋඳුපියලිය පවනේ වියළා කුඩු කර කෝපි මෙන් වත්කර බීම ඉතා ගුණදායකයි.

*ආමවාතයට

හීන් උඳුපියලිය කලං 12 යි. අරත්ත අල..සාරණ මුල් ...හීන් නෙරෙංචි... දේවදාර...ඇහැළ පොතු ...රසකිඳ...කලං 1 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සීනි ..සහිඳ ලුණු දමා බීම ඉතා ගුණදායකයි.

*තුවාලයකින් ලේ ගලන විට

හීන්උඳුපියලිය අඹරා බැඳීම ගුණදායකයි.

*ඇස් පෙනීම දුබල අයට

තනිකර උඳුපියලිය යුෂ බීමට දීම ඉතා හොඳයි.

*ආමවාතයට

දශාංග ලේපය. හීංඋඳුපියලිය යුෂයෙන් අනා ගෑම ඉතා හොඳයි .

*මධුමේහයේදී ඇතිවන පිපාසයට

හීන් උඳුපියලිය පවනේ වියළා කුඩු කර එයට දැමූ උළුහාල් කුඩු 1/2 ක් සමඟ කෝපි මෙන් වත්කර බිම ගුණදායකයි.

*ශ්වේත ප්‍රදරයට

පවනේ වියළා ගත් හීන් උදුපියලිය කුඩු..සුදුහඳුන්..බෙලි ගැට මද..කුඩු කරගත් චූර්ණය තැඹිලි ගෙඩියක දමා රාත්‍රියක් පින්නේ තබා පසුදා උදේ හිස්බඩ බීම ගුණදායකයි.

*තොල කට පැලීමට

උඳුපියලිය බුලත් මෙන් හපා යුෂය ගිලීම හොඳයි .

*ශරීරයේ ඇතිවන ඉදිමුම් සඳහා

හා බෙටි උඳුපියලිය යුෂයෙන් අනා ගෑම හොඳයි.

*මල බුරුල්ව යන විට.වමනය ද ඇති විට.

උඳුපියලිය සහමුලින් ගෙන පොල් සමඟ කොටා මිරිකා එම යුෂයට නවරත්න කල්කය දියකර බීමට දීම ගුණදායකයි.

*නියඟලා අල, ගොඩකදුරු අත්තන විෂ සඳහා

හීන්උඳුපියලිය සහමුලින් ගෙන පැසුණුු සමඟ කොටාමිරිකා යුෂ පෙරා කිතුල් හකුරු සමග බීම හොඳයි .

*මව්කිරි හොඳින් පැවතීමට

උඳුපියලිය සහමුලින් කොටා මිරිකා ගත් යුෂ එළකිරට දමා දිනපතා උදේට බීම හොඳයි .

*බාලයන්ගේ සියලුම රෝග සඳහා

හීන්උඳුපියලිය කොළ යුෂයෙන් විලඳ කැඳ සාදා දීම ඉතා ගුණදායකයි.

*ඇස් තැලුණු විට සහ ඇසේ කුණු රොඩු වැඩුණු විට

හීන්උඳුපියලිය යුෂ ඇසට මිරිකීම හොඳයි

*සුනඛ විෂ සදහා

හීන් උදුපියලිය කොළ ..බුලත් කොළ .මුරුංගා දළු..සුදුළූනු..අමුඉගුරු..ගම්මිරිස් සිනිඳුව අඹරා සැපූ ස්ථානයේ ආලේප කිරීම ඉතා හොඳයි” යනුවෙන් ලලිත් මහතා උඳුපියලිය අඩංගු ඖෂධ යෝගයන් රැසක් පහදා දුන්නේය .

“ඒ වගේම තමයි දුවේ. හීන් උඳුපියලිය කැඳ ආහාරමය වශයෙන් වගේම ඖෂධීය වශයෙන් වැදගත් කැඳක්. මේ කැඳ සෙංගමාලය ..අක්මා රෝග සමනය කරනු ලබනවා. එසේම පිත සමනය කරනු ලබනවා. ලේ පිරිසුිදු කරනවා, විෂ නසනවා, අක්ෂි රෝග, අතීසාර, අර්ශස් වගේ රෝගවලටත් හොඳයි” යනුවෙන් ලලිත් මහතා තවත් විස්තර ඉදිරිපත් කළේය.

ඉතින් දුවේ මේ විදියට විවිධ රෝගාබාධ රාශියකට යොදන්න පුළුවන් විශිෂ්ට ඔසුවක් තමයි හීන් උඳුපියලිය කියන්නේ. ඒ වගේම අතීසාර චිකිත්සාවෙදි ආම සහ නිරාම යන අවස්ථා දෙකටම එකවර යෙදිය හැකි ඔසුවක් විදියට හීන් උඳුපියලිය හදුන්වන්න පුළුවන්. ඒ වගේම ග්‍රහණි සහ පාණ්ඩු රෝගවලදි සහ බඩවැල් ආශ්‍රිත රෝගවලදිත් උඳුපියලිය විශිෂ්ට ගුණ ගෙන දෙනවා. ඒ වගේම වාජීකරණ ගුණත් මෙහි තිබෙනවා. නිවෙස්වල හාත්පස අලංකාරය සඳහා වැවීම පිණිසත් උඳුපියලිය යොදා ගන්නවා. එනිසා දුවේ උඳුපියලිය ගැන හොදින් දැනගෙන ඒවා නිසිපරිදි ප්‍රයෝජනයට ගන්න හිතට ගන්න” ලලිත් මහතා කථාව නිමා කළේ එසේය.ල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.