වඳවී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් පාලින්ද නුවරින්

නොවැම්බර් 10, 2023

ශී‍්‍ර ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra)  ශාක විශේෂය බස්නාහිර පළාතේ කළුතර දිස්ති‍්‍රක්කයෙහි පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුළින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේ දී පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදු කළ ගවේෂණයක දී මේ ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව ඇත‍. එම සොයා ගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරන(වයඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය) කණ්ඩායමේ සාමාජිකයෙකු සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්ද්‍රඛීල මාදොල මහතා දැනුවත් කොට Lagenandra  ශාක ගණයට අයත් ශාක විශේෂවල ශාකාගාර නිදර්ශක, ජීවි ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කර සොයාගත් ෙමේ ශාක විශේෂය වඳ වී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් බවට තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.

පොදුවේ මේ ශාක විශේෂ අයත් ශාක ගණය හැඳීන්වීම සඳහා කෙතල (Lagenandra) යන නාමය භාවිතා කරනු ලබයි. මෙලෙස සොයා ගත් ශාක විශේෂය සිංහල භාෂාවෙන් හැඳීන්වීම සඳහා වෙනත් සිංහල නාමයක් පවතීද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංගී‍්‍රසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මේ ශාක විශේෂය සඳහා නොමැත. Lagenandraerosa  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Alismatales පෙළපතට අයත් Araceae  පවුලට අයත් Lagenandra ගණයට අයත්වේ.

ජලාශි‍්‍රත පරිසර පද්ධති තුළ දක්නට ලැබෙන මෙම කෙතල ශාක විශේෂ 21ක් ලෝකයේ විවිධ රටවල් තුළින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 14 ක් ශී‍්‍ර ලංකාව තුළින් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම විශේෂ 14 න් 13 ක්ම මෙරටට ආවේණික විශේෂ වීමය. මෙම Lagenandraerosa ශාක විශේෂය අඩසියවසකට පෙර 70 දශකයේදී විසිතුරු ජලජ ශාකයක් ලෙස ශී‍්‍ර ලංකාවෙන් යුරෝපයේ මින් මැදුරු සඳහා අපනයනය කොට ඇති අතර එසේ අපනයනය කළ ජලජ ශාක අතර පැවති මේ ශාක නිදර්ශක කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම ශාක විශේෂය පිළිබඳව ලොවට හඳුන්වා දී තිබේ. එලෙස සොයාගත් ශාක විශේෂය නාමකරණය එකල යුරෝපය තුළ සිදුකර ඇතත් එහි ස්වාභාවික ගහනය සොයා ගෙන ඇති මුල් ප්‍රදේශය ආදී කිසිදු තොරතුරක් මුල් හඳුන්වා දීමේදී සඳහන් කිරීමට ඔවුන් සමත් වී නොමැත. මෙසේ නාමකරණය පමණක් සඳහන්ව පැවති මෙම ශාක විශේෂය පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි වීම ස්වාභාවික පරිසරයෙන් මේ විශේෂය සොයා ගත් පළමු අවස්ථාව වේ. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ප්‍රකාශිත 2022 ජාතික රතු දත්ත වාර්තාවේ මේ ශාක විශේෂයේ ජාතික සංරක්ෂණ තත්ත්වය Critically Endangered (Possibly Extinct) (CR(PE))   දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (සමහර විට වඳ වී ගොස් ඇති) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබේ.

මේ සොයා ගැනීමෙන් පසු මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය කපිල යකන්දාවල මහතා (වයඹ විශ්වවිද්‍යාලය),ඉන්ද්‍රඛීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය) සහ පේශල පසන් කරුණාරත්න මහතා (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය) යන පර්යේෂක කණ්ඩායම විසින් මෙම ශාක විශේෂය පිළිබඳ දත්ත රැස් කොට පර්යේෂණ කටයුතු සිදු කර පර්යේෂණ පති‍්‍රකාවක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම සඳහා යොමුකර ඇත. එම පර්යේෂණ පති‍්‍රකාව පසුගිය දා අන්තර් ජාතික පර්යේෂණ පති‍්‍රකා ප්‍රකාශයට පත් කරන  https://phytotaxa.mapress.com/pt/article/view/phytotaxa.622.3.5  යන වෙබ් අඩවිය තුළින් ප්‍රශකාශයට පත් කොට තිබේ. එය ශී‍්‍ර ලංකාවේ වටිනාකමට මෙන්ම ලංකාව තුළ සිදුවන ශාක පිළිබඳ පර්යේෂණ සඳහා විශාල වටිනාකමක් එක් කිරීමට හේතු වී තිබේ.

දැනට ලංකාව තුළ පරිසර හායනයන් විශාල ලෙස සිදුවීම නිසා මෙවැනි ශාක විශේෂ හඳුනා ගැනීමටත් පෙර ලෝකයෙන් තුරන් වීම සිදුවන අතර ඒ සඳහා පිළියම් ලෙස ලංකාව තුළ පවත්නා පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ජාතික මට්ටමෙන් කටයුතු කිරීම සිදු කළ යුතුව ඇති බව විද්වත් මතයයි. ඒ මඟින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මේ ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.