ඉක්කාව සුව කරන මුඛය සුගන්ධවත් කරන ඉඟුරුපියලි

නොවැම්බර් 10, 2023

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක වූ වරුණි ශාක පිළිබඳ නිබන්ධනයක් සඳහා කරුණු ටිකක් දැනගැනීමට ප්‍රවීණ වෛද්‍යවරියක හමුවිය.

තම මාපියන්ද හොඳින් හඳුනන වෛද්‍යවරියක් වූ තමරා මහත්මිය තම නිවසේම බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියාය.

තමා හමුවට පැමිණි වරුණි දුටු වෛද්‍යතුමිය “මොකද දුව අද මේ පැත්තේ. නිවාඩුද?” යනුවෙන් ඇසීය.

ඔව්. අද නිවාඩුයි. මම ආවේ වෙදනෝනාගෙන් මගේ නිබන්ධනයකට කරුණු ටිකක් දැනගන්න. යනුවෙන් වරුණි පිළිතුරු දුන්නාය.

“මොනවද මගෙන් දුවට දැන්ගන්න ඕන.” යැයි වෛද්‍යතුමිය වරුණිගෙන් විමසීය.

මට ඖෂධ පැළෑටි ගැන නිබන්ධනයකට කරුණු ටිකක් තමයි දැන ගන්න ඕනෑ .”හිඟුරුපියලි “ කියන පැළෑටිය ගැන තමයි විස්තර අවශ්‍ය.”හිඟුªරුපියලි“ කියන්නේ “ඉඟුªරු” වලම ප්‍රභේදයක් ද? “යැයි වරුණි විමසිය.

ඉඟුරු සහ හිඟුªරුපියලි නැත්නම් ඉඟුරු පියලි කියන්නෙ දුව වර්ග දෙකක් හැබැයි. එකම කුලයට අයිතියි. හර්‍රිද්‍රා කුලයට හිඟුරුපියලි සහ ඉඟුරුකියන වර්ග දෙකම අයිතියි. ඒ වගේම අරත්ත, තෙබු, කහ, හරන්කහ, එන්සාල්, වගේ ද්‍රව්‍ය‍යත් අයිති වෙන්නෙ හරිද්‍රා කුලයටම තමයි”යනුවෙන් වෛද්‍යතුමිය වරුණි ඇසූ ගැටලුව නිරාකරණය කළාය.

ඒ වගේම තමයි වරුණි හිඟුරුපියලි කියන්නෙ ප්‍රයෝජන රාශියක් ලබාදෙන ද්‍රව්‍යයක්. සුගන්ධ ද්‍රව්‍ය සාදන්න බොහෝවිට හිඟුරුපියලි අල ගන්නවා. ඒ වගේම බුලත්විටට මෙය එකතුකර ගැනීමෙන් මුඛය තුළ සුවදවත් බව ඇතිකරනව.

ඒ වගේම තමයි හිඟුªරුපියලි සඳහා සංස්කෘත භාෂාවෙන් යෙදෙන “ශටී” කියන නම හරංකහවලටත් යෙදෙනවා. මේ නිසා වෛද්‍යවරු ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලදි “ශටී” නම යෙදෙන විට ගනු ලබන්නේ හරංකහ ශ්වසන ව්‍යුහාගත රෝගවලදි “ශටී” නම යෙදෙනව නම් ගන්නෙ “හිඟුරුපියලි.” යනුවෙන් ඉතා වැදගත් කරුණක් වෛද්‍යතුමිය විසින් වරුණිට මතක් කර දුන්නාය.

අනේ. ඔබතුමියට ගොඩක් ස්තූතියි. ඒ ගැන මාව දැනුවත් කළාට. මම ඒ තොරතුරු දැනගෙන හිටියෙ නැහැ.“යනුවෙන් පැවසූ වරුණි. නැවත ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ හිඟුªරුපියලි වැවෙන ප්‍රදේශ ගැනයි.

එයට පිළිතුරු දුන් වෛද්‍යතුමිය” ශ්‍රී ලංකාවෙ පහතරට තෙත් කලාපීය සහ අතරමැදි කලාපයේ ගෙවතු වලත් වගා කරනු ලබනවා.

ඒ වගේම විදේශීය වශයෙන් දකුණු ඉන්දියාව, මලයාව, සහ පිලිපීන දූපත්වලත් හොඳින් වැවෙන පැළෑටියක් “ යනුවෙන් පිළිතුරු දුන්නාය. “එතකොට වෛද්‍යතුමියනි. ඉඟුªරුපියලි මොනවගේ පැළෑටියක්ද.යනුවෙන් වරුණි තවත් ප්‍රශ්නයක් ඇසීය.

හිඟුරුපියලි කියන්නෙ ද්විවාර්ශික සුගන්ධවත් පැළෑටියක්. මේ පැළෑටියේ මාංසල ආකන්දි මුල් තියෙනවා. ඒ වගේම මෙහි පත්‍ර සරලයි. සෙ.මි.10-15 පමණ දිගයි. තද කොළ පාටයි. පේළි දෙකට පොළොව මත තිරස්ව පිහිටනවා. මෙහි අල ඉතා සුවදයි. ජුනි, ජූලි මාසවල මල් හටගන්නවා

අවුරුද්දකින් විතර පස්සෙ අල ගලවාගන්න පුළුවන් යනුවෙන් වෛද්‍යතුමිය පිළිතුරු දුන්නාය.

එතකොට වෛද්‍යතුමියනි හිඟුªරුපියලි හඳුන්වන විවිධ නාමයන් මොනවද? යනුවෙන් වරුණි නැවත ඇසීය.

නම් රාශියක් තියෙනවා.යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය සිංහල භාෂාවෙන් හිඟුරුපියලි සහ ඉඟුරුපියලි යනුවෙන් හඳුන්වනවා.

සංස්කෘත භාෂාවෙන් ශටී, චන්ද්‍රමූලා, සුගන්ධවචා, චන්ද්‍රමාලිකා, ගන්ධමූලිකා, ගන්ධපාශී. ගන්ධනිශා, ගන්ධපල්ලවා, ගන්ධපලාශු, ආදී නම් යෙදෙනවා.

වංග භාෂාවෙන් චන්ද්‍රමූලා සහ කර්පූරකචුරී නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් කච්චෝලකිලංගු සහ කච්චූරම් යන නම් යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් Java Galangal  සහ Resurrection lily  යන නම් යෙදෙනවා.

ඒ වගේම හිඟුරුපියලිවල උද්භිද විද්‍යාත්මක නාමය Kaempferia galanga Linn  වන අතර කුලය ZINGIBERACEAE හෙවත් හරිද්‍රා කුලයයි.

ඒ වගේම ඉඟුරුපියලිවල ඖෂධිය අංග වනුයේ වේලන ලද රවුම් පියලි වශයෙන් කපන ලද අල සහ කොළයි යනුවෙන් විස්තර කළේය.

ඒ වගේම හිඟුරුපියලිවල පිෂ්ඨ, උපක්ෂාර, මැලියම්, වසා, සුගන්ධ තෛල සහ පාර්ථීව පදාර්ථ ආදී රසායනික උපාදාන අඩංගු බවද වෛද්‍යතුමිය පැවසීය.

“ඖෂධීය වශයෙන් හිඟුරුපියලිවල වටිනාකම කොහොමද වෛද්‍යතුමියනි.” යනුවෙන් වරුණි නැවතත් වෛද්‍යතුමියගෙන් විමසීය.

ඉඟුරුපියලි ඖෂධීය වශයෙන් ඉතා වටිනා ද්‍රව්‍යයක්.

මෙය රසයෙන් කටුක, තික්ත, සහ කෂාය රසයි.

ගුණයෙන් ලඝු හා තීක්ෂණයි.

වීර්‍යයෙන් උෂ්ණයි.

විපාකයෙන් කටුකයි.

දෝෂ අනුව සැලකුවාම

උෂ්ණ නිසා සෙම් හා වාතය සමනය කරන නිසා සෙම් හා වාත රෝගවලදී යොදනු ලබනවා.

ඒ වගේම උෂ්ණ නිසා ඉදිමුම් නසන සහ වේදනා සමන ගුණ යුතුයි. ඒ වගේම දුගඳ නසන ගුණ සහ කෙස් වඩන ගුණ යුතුයි. එනිසා කට ගඳ ගැසීම නැසීමට ප්‍රශස්ත වන අතර දත් කැක්කුම ද නසනු ලබනවා.

ඒ වගේම සන්ධි ඉදිමුමේදී හිඟුරුපියලි අඹරාගත් ලේපය ගෑමට සුදුසුයි.

එසේම හිඟුරුපියලි කැබලි මුඛයේ තබා ගැනීමෙන් කට ගඳ ගැසීම සුවවෙනවා.

විදුරුමස් දියවීම ආදී දන්ත රෝගවලදි යොදන දන්ත චූර්ණවල අඩංගු එක් ද්‍රව්‍යයක් වන්නේද හිඟුරුපියලියි.

එසේම හිසකෙස් වැටී තට්ටය පෑදීමේදී තලතෙල් මිශ්‍ර හිඟුරුපියලි චූර්ණය ආලේප කරනු ලබනවා.

එසේම හිඟුරුපියලි චූර්ණය සමඟ සිඳගත් තෙල නස්‍ය කිරීමෙන් ශිරෝ රෝග සමනය වන අතර හිසකෙස් සුවඳවත් කිරීමට හිඟුරුපියලි කොළ අඹරා ආලේප කර හිස සෝදනු ලබයි.

ඉඟුරුපියලි ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, හික්කා, වගේ ශ්වසන ව්‍යුහ ආශ්‍රීත රෝගවලදිත් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා.

හිඟුරුපියලි දවාගත් දුම ඉරීමෙන් හික්කාව සුවවෙනවා.

ඉඟුරුපියලි චූර්ණය මී පැණි සමඟ ලේහ කිරීමෙන් සහ තලතෙල් සහිතව සිදගත් තෙල පපුවේ ආලේප කිරීමෙන් ප්‍රතිශ්‍යාය සහ කැස්ස සුවවෙනවා.

ඒ වාගේම සමේ රෝගවලදිත් ආලේපවශයෙන් යෙදීම ඉතා යෝග්‍යයයි.

ආමවාත රෝගයේදි හිගුරුපියලි ඖෂධීය තෙල් වර්ග සමඟ මිශ්‍ර කර මදක් රත්කර ආලේප කිරීමෙන් වේදනා සමනය කෙරෙනවා

හිස් හොරිවලදි හිඟුරුපියලි අලවලින් සකස් කළ දියරය හිසේ ආලේපයට සුදුසු යි.

නාසය හිරවීමට, පීනස සහ හිසේ වේදනාවට තලතෙල් හිඟුරුපියලි චූර්ණය සමඟ එක්කර සකස් කල තෙල නාසයට ඉරීම සුදුසුයි.

ඒ වගේම කට ගඳ ගැසීම වළකා කට සුවඳ වත් වීමට බුලත් විට සමඟ ඉඟුරුපියලි සැපීම ඉතාමත් යෝග්‍යයි.

මේ වගේ ඖෂධ යෝග රාශියක් හිගුරුපියලි යුක්තව රෝගාබාධ රාශියකට යොදනු ලබනවා.

මීට අමතරව කෂාය, අරිෂ්ඨ, ආසව, තෛල ආදී සංස්කරික ඖෂධ කිහිපයකම එක් ද්‍රව්‍යයක් වන්නේ ඉඟුරුපියලි යි.

ඒවා අතුරින් හිඟුරුපියලි චූර්ණය සහ හිඟුරුපියලි තෛලය ප්‍රධාන වෙනවා යනුවෙන් හිඟුරුපියලිවල ඖෂධීය වටිනාකම ගැන හොඳ විස්තරයක් වෛද්‍යතුමිය විසින් ඉදිරිපත් කළාය. ඒ ඇසූ වරුණි

“ වෛද්‍යතුමියට බොහොමපින්.මට කරපු උදව්වට. මම ගොඩක් කරුණු ඉඟුරුපියලි ගැන දැන ගත්තා මගේ නිබන්ධනය හොඳටම කරගන්න ලොකු උදව්වක් වුණා. ඔබතුමිය කියූ කරුණු.” යනුවෙන් වෛද්‍යතුමියට ස්තුති කළාය.

ඔව්. දුව ඔය කරුණු නිබන්ධනයට වගේම ඉදිරියේදි බෙහෙත් කරන විටත්, ප්‍රයෝජනවත් වේවි. හිඟුරුපියලි වගේම අනෙක් ඖෂධ ගැනත් දැනගන්න අවශ්‍ය වුවහොත් එන්න මම උදව් කරන්නම්. යනුවෙන් පැවසු වෛද්‍යතුමිය වරුණිට සුබපැතුවාය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.