ඔසු ගුණ සපිරි හරංකහ

ඔක්තෝබර් 27, 2023

ප්‍රවීණ වෛද්‍යවරයකු වූ පීරිස් මහතා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේමය. වාත රෝග සඳහා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දුර බැහැරින් පවා බොහො රෝගීන් පැමිණියහ.

දිනක් ඔහු හමුවට පාසල් ගුරුවරයකු වූ ජයසිංහ මහතා පැමිණියේ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමටයි.

ජයසිංහ මහතා දුටු පීරිස් වෙද මහතා ඔහුගෙන් රෝගී තත්ත්වය විචාළේය.

මොකද මහත්තයා .මොකද්ද අසනීපය “යැයි පීරිස් මහතා ඇසූවිට.

“වෙද මහත්තයො. මගේ දණහිස කැක්කුමයි. නවන්නත් අමරුයි. ටිකක් ඉදිමිලත් තියෙනවා” යනුවෙන් ජයසිංහ. මහතා පිළිතුරු දුන්නේය.

“කෝ බලන්න කකුල” යනුවෙන් වෙද මහතා ජයසිංහ මහතාගේ කකුල පරීක්ෂා කල විට දුටුවේ කකුල බොහෝ ඉදිමී ඇති බවයි.

මහත්තයගෙ කකුල ගොඩක් ඉදිමිලානේ. මේකට බේතක් හදල ගාන්න ඕනෑ. කෂාය ටිකකුත් බොමු. එතකොට අඩුවේවි.”යනුවෙන් වෙද මහතා පැවසීය

“හොඳයි වෙදමහත්තයෝ. කළයුතු දෙ මම හරියට කරන්නම්. මේ අමාරුව නිසා මම ගොඩක් දුක් විඳීනවා.” යනුවෙන් ජයසිංහ මහතා කීය.

“එහෙනම් මහත්තයො. ලුණුවරන පොතු. හරං කහ එක්ක අඹරලා මුරුංගා පොතු යුෂ දමල අනල දණහිසේ ගාන්න. පැය තුනකින් අස්කරන්න. මේක සතියක් විතර කරන්න එතකොට අඩුවේවි” යනුවෙන් වෙද මහතා කීය.

“හොඳයි වෙද මහත්තයො ඒක කරන්නම්. එතකොට වෙද මහත්තයො හරංකහ කියන්නෙ කහ වගේම ජාතියක්ද?” යැයි ජයසිංහ මහතා ඇසීය.

“ඔව්. මහත්තයෝ හරංකහ කියන්නෙ හොඳ බේතක්. අපි බේත් වලට ගන්න කහ වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් හරංකහ කියන්නෙ සුවිශේෂී ඖෂධයක්.

ආයුර්වේද පොත්පත්වල හිගුරුපියලි සහ හරංකහවල බොහෝ සමානකම් තියෙනවා කියල දක්වල තියෙනවා. මේ වර්ගදෙකම එකම කුලයකට( ZINGIBERACEAE හරිද්‍රා) අයිතියි. ඒ වගේම බෙංගාල ජාතිකයන් ග්‍රහණි සහ අතීසාර රොගවලට යොදන ශටීපාලෝ කියන පිටි වර්ගය සාදාගන්නෙත් හරංකහවලින්.

ඒ වගේම අපේරටේ ගම්බද මිනිස්සු හරංකහ අත්බේතක් විදියට විවිධ රෝගාබාධ සඳහාත් යොදාගන්නවා” යනුවෙන් වෙද මහතා හරංකහ ගැන පහදා දුන්නේය.

“වෙදමහත්තයෝ එතකොට හරංකහ හැදෙන්නෙ කොයි පලාත්වලද?” යනුවෙන් ජයසිංහ මහතා නැවතත් ඇසූවිට “හරංකහ පහත රට තෙත් කලාපයේ සුලභව තියෙනවා. ඒවගේම සිසිල් තෙත් පරිසරවල හොඳින් වැවෙනවා. විදේශීය වශයෙන් ගත්තම හරංකහ ඉන්දියාවේ හිමාල ප්‍රදේශ දකුණු දිග ආසියා ප්‍රදේශ ආදියෙත් දක්නට ලැබෙනවා” යනුවෙන් වෙද මහතා විස්තර කළේය.

“එතකොට වෙද මහත්තයෝ හරංකහත් කහ වගේම පැළෑටියක්ද?” යනුවෙන් ජයසිංහ මහතා නැවතත් වෙදමහතාගෙන් ඇසූ අතර එයට පිළිතුරු දුන් වෙද මහතා

හරංකහ ළා කහ සුදු පාටක් සහ කපුරු සුවඳකින් යුක්ත අලයක් සහිත මීටර් 1ක් විතර උස පඳුරුමය පැළෑටියක්. ඒ වගේම කහ පැළෑටිය වගේ“ යනුවෙන් කීය.

ඒ වගේම සිංහලෙන් හරංකහ කියද්දි සංස්කෘත භාෂාවෙන් ගන්ධමූලක ගන්ධසාර කර්චූර ද්‍රාවිඩ වේධමුඛ්‍ය කල්පක ශටී කචුර කස්තුරි මංජල් ඒකාංගී යන නම් යෙදෙනවා

හිංදි භාෂාවෙන් කචුර නරකචුර යන නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන්

කස්තුරි මංජල් කිච්ලි කිලංගු පුලන් කිලංගු කියන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන්

Zedoary, Round Zedoary  යන නාමයන් යෙදෙනවා.

ඒ වගේම හරංකහවල උද්භිද විද්‍යාත්මක නාම

1 Curcuma zedoaria(Curistm) Roseoe
2 Amomum zedoaria Christm
3Curcuma zerumbet Roxb  යන නාමයන් යෙදෙනවා ඒ වගේම හරංකහ අයිති කුලය වන්නෙ

ZINGIBERACEAE හෙවත් හරිද්‍රා කුලයටයි” යනුවෙන් වෙද මහතා හරංකහ ගැන තවත් තොරතුරු පෙන්වා දුන්නේය. “එතකොට වෙද මහත්තයො හරංකහවල අල විතරද බේත් වලට ගන්නේ” යැයි ජයසිංහ මහතා තවත් ප්‍රශ්නයක් ඇසීය.

එයට පිළිතුරු දුන් වෙද මහතා “අල විතරක් නෙවෙයි. කොළත් බේත් වලට ගන්නවා.

මේ අල දෙසැම්බර් මාර්තු අතර කාල සීමාවේදී උගුල්ලා සෝදල පෙති කපල වේලලා වියළි භාජනවල දමලා තියාගන්නවා. බෙහෙත් සඳහා ප්‍රයොජනයට ගැනීම සඳහා යනුවෙන් පැවසූ අතර ඖෂධීය වශයෙන් හරංකහ රසයෙන් කටුක හා තික්ත බවත් ගුණයෙන් ලඝු හා තීක්ෂණ බවත් වීර්‍යයෙන් උෂ්ණ බවත්

විපාකයෙන් කටුක බවත් පහදා දුන්නේය. ඒ වගේම හරංකහවල සෙම් සහ වාත දෝෂ සමන ගුණ ඇති නිසා සෙම් හා වාත රෝගවලට ගුණදායක බවත් පැවසීය

හරංකහ ගැන තවත් කරුණු දැක්වූ වෙද මහතා කීවේ

ඖෂධ සඳහා යෙදීමේදී හරංකහ යුෂ කර්ෂ 1 සිට 2 දක්වාත් හරංකහ චූර්ණය රක්තිකා 6 සිට 12 දක්වාත් යොදන බවයි

ඒ වගේම හරංකහවල වේදනා නසන...සෙම් නසන..උණ නසන..බඩගින්න වඩන...කුෂ්ඨ නසන..පණුවන් නසන..ලේ පිරිසිදු කරන..වාජීකරණ සහ මූත්‍රකාරක ගුණ අඩංගු බවයි

එසේම හරංකහ අතීසාර ..මූත්‍ර කෘච්ජ්‍ර..කුෂ්ඨ.. ශ්වේත ප්‍රදර ..අර්ශස්..අජීර්ණ.. අරුචි..බඩගිනි අඩුකම..ආමවාත..ගුල්ම වේදනා..සමේරෝග..කැස්ස..හතිය..පණුරෝග ආදී රෝග සඳහා විශේෂ ගුණ සහිතයි. යනුවෙන්ද වෙදමහතා විස්තර කළේය.

“එතකොට වෙද මහත්තයෝ හරංකහ කොහොමද බෙහෙත්විදියට රෝගවලට යොදන්නෙ. ඒ යොදන ඒ යොදන විදියත් කියන්න පළුවන්ද?” යනුවෙන් ජයසිංහ මහතා වෙදමහතාගෙන් ඇසීය

“එක් එක් රෝගයට එක් එක් විදියට තමයි යොදාගන්නෙ” යනුවෙන් පැවසූ වෙදමහතා බෙහෙත් යොදන ආකාරට මෙසේ පෙන්වා දුන්නාය.

1 වාත කණ්ඨක රෝගයට

හරංකහ අල..සීනක්කාරම් සමඟ අඹරා ආලේපය

2 මුඛය සහ උගුරේ සෙම බැඳීමට

හරංකහ අල කැබලි. කටේ තබා සූප්පු කිරීම

3 මූත්‍රාබාධ සදහා

අමු හරංකහ අල යුෂ දෙනු ලබයි.

4 සමේ රෝගවලට

හරං කහ අල ආලේප කරයි.

5 අතීසාරයට

හරංකහ පිටි..අරළුප් පිටි..මෙන් කැඳ සාදා බීම.

6 ග්‍රන්ථි සහ අර්බූද සඳහා

හරංකහ කොළ අඹරා ආලේප කරයි

7. ප්‍රතිශ්‍යා කැස්ස හා ශරීරයේ වේදනා සහිත උණට

හරංකහ අල. කෂාය තිප්පිලු කුඩු..කුරුඳු පොතු කුඩු..වැල්මි.

මීපැණි හෝ සූකිරි සමඟ දීම..

8 සීරීම් ආදියට

හරංකහ මුල් කුඩුකර සීනක්කාරම් සමඟ මිශ්‍රකර ආලේපය

මේ ආදී රෝග රාශියකට ඖෂධ ලෙස යොදා ගනු ලබනවා

ඒ වගේම හරංකහ අඩංගු නිෂ්පාදිත ඖෂධත් කිහිපයක් තියෙන බව පැවසූ වෙද මහතා

ඒ අතුරින් මහා වායු රාක්ෂ තෛලය සර්ව විෂාදී තෛලය. මුරුංගාදී ලේපය ප්‍රධාන වන බවද කීය.

මේ අනුව හරංකහ කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණදෙන අගනා ඔසුවක් බවත් මෙය නිසි ලෙස සුදුසු මාත්‍රාවෙන් අවශ්‍ය අවස්ථාවල රෝගාබාධ සදහා යෙදීමන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බවත් ජයසිංහ මහතා වෙත පෙන්වා දුන්නේය. මෙම විස්තර ඇසූජයසිංහ මහතා.

“වෙද මහත්තයට ගොඩක් පිං නොදන්න බොහෝ දේවල් දැනගන්න සැලැස්සුවට. මම බෙහෙත් ටික කියූ විදියටම කරලා ආපහු එන්නම් .ඔබතුමාට ගොඩක් ස්තූතියි” යනුවෙන් පවසා නිවස බලා පිටත් විය.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.