රුවට ගුණට ධාතු වර්ධනයට කදිම පළා වර්ග

ඔක්තෝබර් 20, 2023

 

නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව මෙන්ම නිරෝගීතාවයද ආයු වර්ධනයද නිතැතින්ම ඇතිවේ. බොහෝවිට පළා මැල්ලුමක් හෝ පළා ව්‍යාංජනයක් සූදානම් කරන විට බොහෝ වේලාවක් එය ළිප තබා තැම්බීමෙන් එහි ගුණාත්මක භාවය නැතිව යයි.

 

එම නිසා පළා තම්බා ගත යුත්තේ සාමාන්‍ය තත්ත්වයටයි. මේ පළා වර්ග සෑම කෙනෙකුටම දිය යුතු හොඳම ඖෂධයකි. ඒවායෙහි සිරුරට අවශ්‍ය විටමින් සී මෙන්ම යකඩ, කැල්සියම්, පොස්පරස්, මැංගනීස්, පොටෑසියම්, සින්ක් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ද නො අඩුව පවතී.

මේ අතර දරුවන්ට පවතින යකඩ ඌනතාවය දුරලීමටද පළා වර්ග සමත් වේ. ගොටුකොළ, පෙනෙල කොළ, කතුරුමුරුංගා, කංකුං, ගෝවා, නිවිති, අගුණකොළ ආදී පළා වර්ග එයට බෙහෙවින් උපකාරි වේ.

 

ගොටුකොළ

 

ගොටුකොළ එදිනෙදා ආහාරයට ගැනීමෙන් ධාරණ ශක්තිය වර්ධනය වන අතර, රක්තහීනතාවය වැනි රෝගාබාධයන්ද සුව කෙරේ. කටහඬ මිහිරි බවක්ද ඇති වේ. ගොටුකොළ සම්බෝලයක් මෙන්ම සලාදයක් වශයෙන්ද සකස් කර ගත හැකිය. ඇස් පෙනීම යහපත් වන අතර, දරුවන්ගේ පණුු අමාරුවට ද ගුණ වේ. යෞවනභාවය ආරක්ෂා වන අතර, හිසකෙස්වල නිරෝගීතාවයද රැක දේ. යකඩ බහුල පළා වර්ගයක් වන ගොටුකොළ ග්‍රෑම් 100 අඩංගු පෝෂණ ගුණය, ශක්තිය කැලරි 37, තෙතමනය ග්‍රෑම් 90.3, ප්‍රෝටීන් ග්‍රෑම් 2.1, මේදය 5, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6, කැල්සියම් මිලි ග්‍රෑම් 224, පොස්පරස් මිලිග්‍රෑම් 68.5යි.

 

මුකුණුවැන්න

 

ඇස්වල පෙනීම වැඩිකරන මුකුණුවැන්න මව්කිරි වර්ධනය කරයි. හිසකෙස්වල වර්ණය රැකදෙන අතර හිසේ රෝග නසාලයි. මුකුණුවැන්න විෂ නාශකයකි. හිසකෙස් වර්ධනය කෙරේ. පිත සමනය කරන අතර, කුසගින්න ඇති කෙරේ. ලේ පිරිසුදු කරන අතර, උණ නැති කිරීමේ ගුණයක්ද පවතී. මූත්‍රා පද්ධතියේ ක්‍රියාකාරීත්වයද යහපත් කරයි.

ශරීරයේ දාහය නසනු ලබන අතර, දහඩිය දැමීමේ ශක්තියක්ද පවතී. මළබද්ධය, පාණ්ඩුව, පියයුරු අප්‍රාණිකත්වය, ඉදිමුම ආදි රෝග තත්ත්වයන්ටද ගුණ ලැබේ. මුකුණුවැන්න ග්‍රෑම් 100 අඩංගු පෝෂණ ගුණය, තෙතමනය ග්‍රෑම් 77.4, කැලරි ග්‍රෑම් 73, ප්‍රෝටීන් ග්‍රෑම් 5, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 11.7, කැල්සියම් මිලිග්‍රෑම් 510, පොස්පරස් මිලිග්‍රෑම් 60, යකඩ මිලිග්‍රෑම් 16.7, කැරොටින් මිලිග්‍රෑම් 19.26, විටමින් ඒ, මයික්‍රොග්‍රෑම් 963යි.

 

කතුරුමුරුංගා

 

ඉතා ගුණදායක රසවත් ආහාරයක් වන කතුරුමුරුංගා කොළ මැල්ලුම රෝග රැසකට ගුණදෙන මහඟු ඖෂධයකි. සෙම, පිත නසන ප්‍රබල ගුණයක් පවතී. කැල්සියම් බෙහෙවින් පවතින කතුරුමුරුංගාවල ප්‍රෝටීන් මෙන්ම මාංශජනකධාතු බෙහෙවින් පවතී. ස්නායු පද්ධතියටද කතුරුමුරුංගා වඩාත්ම ගුණාත්මක වේ. මොළයේ ක්‍රියාකාරීත්වයටද කතුරුමුරුංගා යහපත් වේ. මුඛය දෙපස පැලීම දිවේ හටගන්නා වේදනාව, උෂ්ණ ගෙඩි හට ගැනීම. බඩ වියළීම, ආදියටද කතුරුමුරුංගා ප්‍රබල ඖෂධයකි. කතුරුමුරුංගා කොළ ග්‍රෑම් 100 අඩංගු පෝෂණය මේදය ග්‍රෑම් 2.4 ශක්තිය ග්‍රෑම් 93.0 විටමින් ඒ ග්‍රෑම් 2700 මාංශධාතු මිලිග්‍රෑම් 8.4 පිෂ්ඨය මිලිග්‍රෑම් 11.8, කැල්සියම් මිලිග්‍රෑම් 1130.0, යකඩ මිලිග්‍රෑම් 3.9, කැරොටින් මිලිග්‍රෑම් 75.8, විටමින් සී (ජ) මිලිග්‍රෑම් 160යි.

 

කංකුං

 

යකඩ, කැල්සියම්, ප්‍රෝටීන් සහ විටමින් වර්ග කීපයක්ම අඩංගු කංකුං කිරිවර්ධක ගුණයෙන් හා ශුක්‍රධාතු වර්ධනය කරන ගුණයෙන් යුක්තය. මෙහි ඉන්සියුලින් කොටස්ද අඩංගුවන අතර දියවැඩියාව නොහොත් මධුමේහය රෝගීන්ට විශේෂයෙන් මහඟු ඖෂධයක් වේ. මළ බුරුල් කරන ශක්තියකින්ද යුක්ත කංකුං අර්ශස් රෝගීන්ටද වඩාත් ගුණදායක වේ. අතපය වේදනාවට අතපය හිරිවැටීම්වලට මුහුණේ සහ ශරීරයේ තෙල්ගතිය මතුවීමට කංකුං ඖෂධයකි. හිසකෙස් පැසීම වළක්වාලන අතර ශක්තියක් ඇති කෙරේ. කංකුං ග්‍රෑම් 100 ක ශක්තිය කැලරි 28 තෙතමනය ග්‍රෑම් 90.3 ප්‍රෝටීන් ග්‍රෑම් 2.9, මේදය ග්‍රෑම් 4, කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 3.1, කැල්සියම් මිලිග්‍රෑම් 110, පොස්පරස් මිලිග්‍රෑම් 46, යකඩ මිලිග්‍රෑම් 3.9, කැරටින් මිලිග්‍රෑම් 1980, තයමින් මයික්‍රොග්‍රෑම් 50 විටමින් සී මිලිග්‍රෑම් 137 අඩංගු වේ.

 

කරපිංචා

 

කරපිංචා මුළුතැන්ගෙට අත්‍යාවශ්‍ය වන ප්‍රධාන කුළුබඩුවක්ද වේ. විවිධ රෝගාබාධයන්ට සහනය ගෙන දෙන ඖෂධයකි. සුවඳක් පවතින කරපිංචාවල ඇත්තේ ව්‍යාංජන රසවත් කිරීමේ පුදුම බලයක් හා නිරෝගිතාවය ගෙන දෙන බලයකි. ආහාර රුචිය ඇති කරන අතර අධික රුධිර පීඩනයද පාලනය කරයි. කොලෙස්ටරෝල ද අවම කරන අතර කරපිංචා ශරීරගත වන විෂ මර්දනයද සිදු කරයි. අජීර්ණය සමනය කර දරුවන්ගේ පණු රෝගද නසාලයි. උගුරේ හට ගැනෙන විෂබීජ ද නසාලයි. කරපිංචා ග්‍රෑම් 100 පෝෂණ ගුණයට ප්‍රෝටීන් ග්‍රෑම් 6.1 මේදය ග්‍රෑම් 1, කාබෝහයිඩ්‍රේට් 18.7, පොස්පරස් මිලිග්‍රෑම් 830 හා යකඩ, ප්‍රෝටීන්, විටමින් සී, තයමින් හා නියැසින්ද අඩංගු වේ.

 

මුරුංගාකොළ

 

විෂ නැසීමේ පුදුම බලයක් ඇති මුරුංගාකොළ මැල්ලුම රෝග රැසකටම ගුණ වේ. ආහාර රුචිය ඇති කෙරේ. ආහාර ජීර්ණය වේ. පණුවන් නසයි. ඉස්සන්, කකුළුවන් වැනි මාංශ පිසින විට මිරිස්, තුනපහ සමඟ මුරුංගා කොළ ස්වලපයක්ද එක්කරයි. ඉන් උෂ්ණාධික ගතිය විෂ ගතිය හා අගුණ ගතිය ඉවත් වේ. උගුරේ ලෙඩට හා මුඛයේ උෂ්ණාධිකත්වයට ගුණවේ. කුෂ්ට රෝගීන්ටද යහපත් වේ. මුරුංගා කෑමෙන් ශුක්‍ර වර්ධනය වේ. ඔස්ටියෝපොරෝසිස් රෝගීන්ටද මුරුංගා මඟින් සහනයක් ඇති කෙරේ. දරුවන්ගේ අස්ථි වර්ධනයටද මුරුංගා මැල්ලුම ශක්තියක් වේ. අධික රුධිර පීඩනයටද ගුණ වන මුරුංගා මැල්ලුම, යකඩ ඌනතාවයටද හොඳ ඖෂධයකි. මුත්‍රා ගල් නැසීමේ හා මුත්‍රා කිරීමේ අපහසුතාද යටපත් කරයි. රත්පිත් ශාරීරික වේදනාව තොල් පැලීම, කකුල්වල විලුඹ පැළීම ආදී රෝගයන්ට ද මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ටද ගුණදායකය.

මුරුංගා කොළ ග්‍රෑම් 100 පෝෂණ ගුණයට, ශක්තිය කිලෝකැලරි 64, ප්‍රෝටීන් ග්‍රෑම් 9, ජලය ග්‍රෑම් 78.66, මැග්නීසියම් මිලිග්‍රෑම් 147, පොටෑසියම් මිලිග්‍රෑම් 337, විටමින් ඒ, මයික්‍රොග්‍රෑම් 368, පොස්පරස් මිලිග්‍රෑම් 112, යකඩ 4ක් ද අයත් වේ. ඉහත පැවසූ පළා වර්ගවලට අමතරව අගුණකොළ, නිවිති, කොහිළ දලු, තම්පලා, රාබු, පෙතිතෝර, වාතභංග, කුරිඤ්ඤං, තෙබු කොළ වැනි පළා වර්ග ද ඖෂධීය වශයෙන් ඉහළ ගුණයක් උසුලයි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.