ඖෂධීය හා පෝෂණීය ගුණයෙන් යුත් දියර එළවළු

අගෝස්තු 4, 2023

අම්මා - දුවේ සුමනා, තාත්තා පොළට යනව නම් කියන්න වැටකොළු, පතෝල, අළුපුහුල්, පිපිඤ්ඤා, රාබු, අළුකෙසෙල් වගේ එළවළුත්, මුරුංගා කොළ, කතුරුමුරුංගා, නිවිති ගොටුකොළවගේ පලා මිටි දෙකතුනකුත් ගේන්න කියලා.

සුමනා - අම්මේ ඒවා කන්න පුළුවන්ද? බතට තියෙන්න ඕනෙ තෙල්දාලා තෙම්පරාදු කරල කන්න පුළුවන් එළවළු. අම්මා කියන එළවළු හොඳයි සීයලා ආච්චිලාට. අනෙක අම්මේ බත් එකට ගෙනියන්න පුළුවන්ද ඔය එළවළු. ඔෆිස් එකේ කවුරුවත් අම්ම කියපු එළවළු ගේනවා මම දැකල නැහැ.

තාත්තා - දුවේ මේක අහන්න ඔයාටයි ඔයාගේ අයියල දෙන්නටයි පොඩිකාලෙ ඉඳලම දන්න කියන කාලෙ වෙනකම්ම දුන්නෙ ඔය අම්ම කියපු එළවළු. උදේ බත් කැඳ දුන්න. කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණමත් දුන්නෙ ඉඟුරු කොත්තමල්ලි. ඒ නිසා තමයි දුවේ ඔයාල ඔය විදියට ඉන්නෙ.

අම්මා - සුමනා බලන්න රන්දීරයි, දෙව්මිණියි හැමතිස්සෙම ලෙඩින් සෙමලු. ඒ ළමයින්ට කවන්න තියෙන අමාරුව ඔය හැම ලෙඩකටම මුල කෑම බව අපේ වෙද මහත්තය කීවෙ. දූට මතක ද දවසක් වෙද මහත්තය කීව

එළවළුවල ගුණාගුණ. කොතෙක් එළවළු වර්ග තිබුණත් ඒ හැම

එළවළුවක්ම වැලඳෙන රෝගාබාධවලට ගුණයක් ලබා දෙන්නේ නැහැ. සමහර එළවළු වර්ග වා, පිත්, සෙම් කෝප කරන ඒවා. බොහෝවිට මෑ කරල්, වම්බටු, බණ්ඩක්කා වැනි එළවළු වාත රෝග ඇති කරන සෙම් වැඩිකරන එළවළු වනවා. එහෙත් දියර එළවළු සියලු රෝග සඳහා අගුණ නොවන අතර රෝග වැලඳුණුවිටත් සුව වූ විටත් දෙනු ලබන ප්‍රබල ඖෂධයක් වෙනවා. එසේම කුමන ඖෂධයක් ගත්තත් කිසිඳු විෂවීමක් දියරමය එළවළුවලින් ඇතිවන්නේ නැහැ. ලෙඩ කෑම යැයි හැඳින්වීමට පුරුදුව සිටින දියරමය එළවළු නීරෝගිකම ලබාදෙන එළවළුය කීවේ.

දුව - ඔය කියන දියරමය එළවළු තෙල් දාන්න බැහැනේ. එහෙම වුණාම කොහොමද බත් එකට ගෙනියන්නේ. ඕවටනේ කියන්නෙ ලෙඩකෑම කියල නේද

තාත්තා - දුවේ ඔයා දන්නේ නැහැ. තෙල්, පිටි, සීනි වැඩියෙන් ශරීරගත වුණාම වෙන දේ. දියවැඩියාව, හෘදරෝග, සෙම් රෝගවලට හේතුව මේවගේ කෑම නිසා ඇතිවන රෝගයි. වෙද මහත්තය කියනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී බොහෝ රෝගවලට ඖෂධ දීම වගේම ආහාර ගැනීම ගැනත් විශේෂ අවධානයක් යොමුකරන බව. විශේෂයෙන් දියලබු, පතෝල, වැටකොළු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි දියර එළවළු කෑමට ගැනීම ගැනත් දන්වා සිටිනවාලු. මේ

එළවළු බඩගින්න ඇතිකරනවා වගේම සිරුර නීරෝගිකරවීමට ක්‍රියා කරන බවත් කියනවා.

වෙද මහත්තය කියන විදියට දියර එළවළු රෝගයක් වැලඳීමෙන් පසු රෝගියාගේ සිරුර යථා තත්ත්වයට පත්වීම සඳහා ගන්නා ආහාරයයි. පහසුවෙන් දිරවාගත හැකි මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය ආරක්ෂා කරන පදාර්ථ මෙහි අඩංගුව පවතිනවා. මේ එළවළු ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වයන් අනුවත් ක්‍රියාත්මක වෙනවා.

 

පතෝල

පතෝල දියර ගතිය වැඩියෙන් ඇති එළවළුවකි. ආහාර දිරවීම පහසු කරන එළවළුවක් වන එය මලබද්ධය දුරුකරයි. අම්ල පිත්තයට හිතැති අතර විරේක වේ. කුඩා දරුවන්ට දිය යුතුම

එළවළුවකි. ලේ පිරිසුදු කරන පතෝල උණ සමනය කිරීමේ හැකියාවක් ද පවතී. ඉදිමුම් තත්ත්වය අඩුකරන පතෝල පොටෑසියම් ඌණතාවය නිසා හට ගැනෙන ක්ලාන්තය ශරීරයේ අප්‍රාණිකත්වය, ආතතිය අඩු කරලීමටත් සමත් ය.

 

අළුපුහුල්

ආහාර විෂ වූ අවස්ථාවලදී බීමට දෙන අළුපුහුල් ඉස්ම විෂ නැති කරයි. අර්ශස් රෝගීන්ට මුත්‍රාදැවිල්ලට මුත්‍රා ආශි‍්‍රත රෝගවලින් පෙළෙන්නන්ට අළුපුහුල් ආහාරයට ගැනීම සුවදායකය. මුත්‍රා ගල් රෝගීන්ට ස්ත්‍රීන්ගේ රක්ත ප්‍රදරය රෝගවලදී ඖෂධ මිශ්‍ර අළුපුහුල් යුෂ ලබාදෙයි.

උෂ්ණ කාලවලදී ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීමේදී ද අළුපුහුල් ඉතාම ගුණ වේ. අළු පුහුල් වකුගඩුවලින් හොඳින් මුත්‍රා පෙරීමටද උපකාරී වේ. අළුපුහුල් වාතය හා පිත සමනය කරනු ලබන අතර ශරීරය තර කරයි. ශුක්‍ර වඩයි. හෘද රෝගීන්ටත් හිතකර වේ. ශරීර ශක්තියද, ඇති කරනු ලබන අතර අධික පිපාසය ද සන්සිඳුවයි.

 

වැටකොළු

වැටකොළු වර්ග දෙකකි. ඒ නියං වැටකොළු සහ දාර වැටකොළුය. දාර වැටකොළු වශයෙනි. පිත සමනය කරයි. උණ, කැස්ස රෝගීන්ට ආහාරය සඳහා දෙනු ලබයි. බඩගින්න ඇති කරයි. පණුවන් නසයි. මුත්‍රා කාරකයි. මුත්‍රා දැවිල්ලට, මුත්‍රා පිටකිරීමේ අමාරුවට ගුණ ගෙන දෙයි. වැටකොළුවල පොතු ආහාරයට එක් කර ගැනීමෙන් මලබද්ධය දුරලයි.

 

පිපිඤ්ඤා

පිපිඤ්ඤා පිපාසය, විඩාව, නිවාලයි. මළ පිටකිරීම පහසුකරයි. මුත්‍රා ගල්වලට ද ගුණදායකය. දියරමය සැහැල්ලු ආහාරයකි. ශරීරගත දාහය රක්තයට ගුණදායකය. අජීර්ණයට ලක්නොවෙන ආහාරයකි.

 

දියලබු

ආහාර වශයෙන් මෙන්ම ඖෂධ වශයෙන් ද බෙහෙවින් ප්‍රයෝජනයට ගනියි. දියර අධික එළවළුවක් වන දියලබු ආහාරයට ගැනීමෙන් ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවීම මුත්‍රා අඩුවෙන් යෑම, නින්ද නොයෑම ආදී රෝගවලට ගුණාත්මක ඖෂධයකි. වාතය හා පිත සමනය කරනු ලබන අතර හෘදයටද හිතකරයි.

 

රාබු

ලේ පිරිසුදු කරන රාබු දිරවීමේ ශක්තිය ඇතිකරවයි. ආහාර රුචිය ඇතිකරන අතර මුත්‍රා ගල්වලටද ගුණදායකය. අර්ශස් රෝගීන්ටද වඩාත් ගුණදායක රාබු ඇදුම, පීනස, කැස්ස ආදී රෝග ඇති අයටද සුදුසුය.

 

කැකිරි

මුත්‍රාගල් දියකර හැරීමේ විශේෂ ගුණයක් පවතී. මුත්‍රාගල් දියකර හැරීමේ ගුණය පවතින්නේ කැකිරි ඇටවලය. සෙම් සමන කරයි. බඩගින්න ඇති කරයි. ලේ හොඳින් පිරිසුදු කරන අතර ශරීරගත ඉදිමුම්ගතිය අඩුකරයි.

 

අළුකෙසෙල්

අර්ශස් රෝගීන්ට වඩාත්ම ගුණදායකය. බඩේ දැවිල්ලට, වේදනාවට, විෂ ශරීරගත වූවන්ට මහඟු ඖෂධයකි. දියවැඩියා රෝගීන්ට මෙන්ම ප්‍රදර රෝගීන්ටද ගුණදායකය. දැවිල්ල හා රත් පිත් රෝගී අවස්ථා සංසිඳුවයි. ශීත ගුණයෙන් යුක්ත වේ. අළුකෙසෙල් ශරීර ශක්තිය වඩවන අතර පුෂ්ටිමත් කෙරේ.

තාත්තා- දුවේ, දියර එළවළුවල ඖෂධීය ගුණය ගැන දැන් දුවට හොඳ අවබෝධයක් ඇති වෙන්න ඇතිනේ. දුව- ඒක නම් ඇත්තයි තාත්තේ.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.