වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
විෂ ද්‍රව්‍යයක් වුවද ශෝධනයෙන් පසු බොහෝ රෝග නසන සෙංකොට්ටං
දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද ඖෂධ සඳහා ගනු ලබන සියලුම දේ ශාක, සත්ත්ව සහ පාර්ථිව යන කොටස් 3 ට අයත් ය.මේවායින් බොහොමයක් සාමාන්‍ය තත්ත්වයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි වන අතර සුළු ප්‍රමාණයක යම් විෂ තත්ත්වයක් අඩංගු වන නිසා ඒවා ශෝධනය කර ඖෂධ සඳහා ගත යුතුය.
මෙසේ ශෝධනය කර විෂ ඉවත් කර ගනු ලබන ද්‍රව්‍යයන් අතර පාර්ථිව සහ ශාක ද්‍රව්‍ය බහුල ලෙස පවතින අතර රස, උපරස, මහාරස, සාධාරණ රස විෂ සහ උප විෂ, ද්‍රව්‍යයන් මෙයට අඩංගු වේ. රසදිය ප්‍රධාන අනෙකුත් පාර්ථිව ද්‍රව්‍ය, සහ මහා විෂ සහ උප විෂ ද්‍රව්‍යය මෙහිදී ශෝධනය කර ගනු ලබයි. මෙසේ ශෝධනය කර ගනු ලබන විෂ ද්‍රව්‍යයක් ලෙස සෙංකොට්ටං හැඳීන්විය හැකිය.
මෙහි විෂ තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ දී සෙංකොට්ටං කිරි ශරීරයේ ස්පර්ශ වුවහොත් තියුණු ද්‍රාහ ශෝථ ව්‍රණ ආදිය ඇති විය හැකි අතර එම කිරි මුඛයේ ස්පර්ශ වුවහොත් එයින් ද තියුණු ද්‍රාහ සහිත ශෝථ විසර්ප ආදිය පහළ කරනු ලබයි. මේ නිසා මෙම විෂ තත්ත්වය ඉවත් කිරීම සඳහා කරනු ලබන ශෝධනය ද ඉතා ආරක්ෂාකාරී ලෙස කළ යුතුය.
මෙසේ ඖෂධීය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් සෙංකොට්ටං පිළිබඳව සලකා බැලීමේ දී මෙය වැවෙන ප්‍රදේශ ලෙස ඉන්දියාවේ හිමාල නිම්න ප්‍රදේශ එනම්, බිහාර්, උරිස්සා, ඇසැම් ඇතුළු සමස්ථ ඉන්දියාවේම මෙය වැවෙන බව දක්වා ඇත. මෙම ශාකය බොහෝ විට ශී‍්‍ර ලංකාවේ දක්නට නොලැබෙන අතර මෙරට වෛද්‍යවරු බොහෝ විට සෙංකොට්ටං වෙනුවට බදුල්ල ඇට යොදනු ලැබේ. මෙම බදුල්ල සහ සෙංකොට්ටං එකම උද්භිද කුලයේ (Anacardiaceae) වෘක්ෂ වන අතර ස්වරූපයෙන් ද, ගුණයෙන් ද, ප්‍රයෝග යොදන ආකාරයෙන් ද සමානකම් දක්වයි.
සෙංකොට්ටංවලට විවිධ භාෂාවල හඳුන්වන නාමයන් පිළිබඳව සලකා බැලීමේ දී සංස්කෘත භාෂාවෙන්
ශෛලබීජ, තෛල බීජ, වීරතරු, භල්ලානත, අරුෂ්කර, තපන, භල්ලාන, පෘථග්බීජ, ධනුර්බීජ, වාතාරී, ව්‍රණකාත්, කෘමිස්ණ, අග්නික, අග්නිමුඛ සහ අග්නි යනාදි වශයෙන් පර්යාය නාම යෙදෙයි. මෙයින් අරුෂ්කර යනු ස්පර්ශයෙන් බිබිළි මතු වී ව්‍රණ ඇති කරන නිසා යෙදෙන නාමයක් වන අතර උෂ්ණ නිසා ගින්නෙන් මෙන් ද්‍රාහය ඇති කරන නිසා ද, ගෙඩියේ මූණත, ගින්න හා සමාන, රක්ත වර්ණ නිසාත් ‘අග්නි මුඛ’ නම් ද වෙයි. එසේම දූෂිත දෝෂ හා මල බිඳහෙළීම සඳහා ඊයක් (භල්ල නම් අවිය) මෙන් සිරුරේ ගමන් කරන නිසා ‘භල්ලාතක’ නමද යෙදිණි.
මේ ආකාරයෙන් සංස්කෘත බසින් විවිධ නාම රාශියක් යෙදෙන අතර
හින්දි බසින් ‘හිලාවා’ යනුවෙන් යෙදේ.
වංග බසින් සෙංකොට්ටං සඳහා ‘භේලා’ යනුවෙන් යෙදෙන අතර දෙමළ බසින් සෙංකොට්ටායි යනුවෙන් යෙදෙයි.
ඉංගී‍්‍රසි බසින් Marking Nut Tree යනුවෙන් යෙදෙන අතර සෙංකොට්ටං වල උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ SemecarpusAnacardium Linnx.
මෙහි කුලය ඒ nacardiaceae හෙවත් ආමු කුලයයි. ඖෂධ සඳහා ගනු ලබන අංග සෙංකොට්ටං වල ගෙඩි, මල්, ඵල වෘත්ත, මැලියම් සහ බීජ වල තෛලය ඖෂධ සඳහා ගනු ලබයි.
සෙංකොට්ටං වල අඩංගු රසායනික උපාදාන
ගෙඩියේ එක්තරා ස්ඵොට ජනක තෛල පදාර්ථයක් අන්තර්ගත වන අතර ගෙඩියේ මදයේ අල්පමාත්‍රයක් මධුර තෛල අන්තර්ගත වේ. මෙසේ රසායනික සංඝටකවලින් පිරිපුන් සෙංකොට්ටං ඖෂධ සඳහා ගැනීමේ දී ගසේ ඉදී වැටුණු ගෙඩි ඖෂධ සඳහා යෝග්‍ය වන අතර දියෙහි දැමූ විට ගිලෙන සුළු බර ගෙඩි යෝග්‍ය වේ. එසේම දියෙහි දැමූ විට පාවෙන ගෙඩි ඖෂධ පිණිස සුදුසු නොවේ.
විෂ ඉවත් කිරීම
එසේම සෙංකොට්ටං ඖෂධ සඳහා ගැනීමේ දී විෂ ඉවත් කිරීම සඳහා ශෝධනය කර ගත යුතුය. මේ සඳහා සෙංකොට්ටං ගෙඩි මූනත කපා දමා ගඩොල් කුඩු සමඟ සතියක් දැඩිසේ තද කර තබා ඉක්බිති සිවුපොටක් වූ රෙදි පොට්ටනිය බැඳ ගෙන උණු දියෙන් සෝදා හල යුතුය. මෙම කි‍්‍රයා සිදු කිරීමට පෙර දෙඅත් වල පොල්තෙල් ගා ගත යුතුය. මෙසේ උණු දියෙන් සෝදා ගෙන ඉන් පසු එලකිරෙන් දෝලා යන්ත්‍රයේ ස්වේද දී ගත යුතුය. තවද සෙංකොට්ටං ගෙඩි තම්බා ගෙන ශීතල වතුරින් සෝදා ගැනීමෙන්ද ශෝධනය වේ. මෙසේ ශෝධනය කර ගෙන එයට පසු සුදුසු ලෙස ඖෂධ සඳහා යොදා ගනු ලබයි.
සෙංකොට්ටංවල ඖෂධීය ගුණ
රසයෙන් මධුර සහ කෂාය රස වන අතර ගුණයෙන් ලඝු සනිග්ධ හා රූක්ෂ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් මධුර වෙයි.
දෝෂ අනුව සැලකීමේදී
උෂ්ණ සහ තීක්ෂණ නිසා සෙම් වාත සමන ගුණයෙන් යුක්ත අතර පිත්ත සංශෝධක ගුණ ඇත. එනිසා සෙම් වාත රෝග වලට යෙදෙන අතර පිත්තජ රෝගවලදී පිත නිර්භරණය උදෙසා යොදනු ලබයි.
ව්‍යුහාගත කි‍්‍රයා සැලකීමේ දී
බාහිර වශයෙන්
ස්වේද ජනක, ශීත ප්‍රශ්මණ සහ විෂ නසන ගුණ යුක්ත අතර සර්ප දෂ්ඨයේ දී ශාස්ත්‍රයෙන් ඉරා ආලේප යොදනු ලබයි. එසේම අර්ශස් ගෙඩි සඳහා සෙංකොට්ටං ඇට හෝ ලෙලී දවා දුම ඇල්ලීමෙන් ගෙඩි වියළී ගැලවී යයි.
ඉන්ද්‍රලුප්ත හෙවත් උඳුගොව්වා කෑමේ දී සෙංකොට්ටං ගෙඩි යුෂ මී පැණි සමඟ ආලේප කරනු ලබයි.
අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේදී
මේධය සහ නාඩි බලකාරක වන අතර මොලයේ දුර්වලතා, සුනායු දුර්වලතා, අපස්මාර, ග්‍රැධ්‍රසි, පක්ෂාඝාත ආදී රෝගාබාධ සඳහා උපයෝගී කරනු ලබන අතර ආමවාතයේ දී ද සුදුසුය.
ආහාර පරිපචන ව්‍යුහාවේදී
උෂ්ණ සහ තීක්ෂණ නිසා දීපන පාචන භේදන යකෘත් උත්තේජක සහ කෘමිස්න ගුණ යුක්ත නිසා අග්නි මාන්දිය පැසවීමේ විකෘතිතා, මලබද්ධ, ආනාහ, ගුල්ම, උදර, ග්‍රහණි, අර්ශස්, කෘමි ආදී අවස්ථා වලට ගුණදායක වන අතර ශුෂ්ක අර්ශස් සඳහා ශුද්ධ සෙංකොට්ටං හා තල සමව කොටා අඹරා ගත් කල්කය ඉතා ගුණදායක වේ.එමඟින් අක්මාවේ රුධිර සංවහන යථා පරිදි ඉටු කරන අතර ගුද මාර්ගයේ ශිරාවල රැදුණු රක්තය උරා ගැනීමෙන් අර්ශස් ගෙඩි වියළී යයි. එසේම කළු ගුල්මයට සෙංකොට්ටං කෂාය හා කල්කය යොදා කළ සෘතය සූකිරි සමඟ ගැනීමෙන් සුවය ළඟා කර දෙයි.
රුධිර සංසරණ ව්‍යුහාවේදී
හෘදය උත්තේජනය කරන අතර ශ්වේතානු වර්ධනය කරයි. ශෝථ දුරු කරයි. මෙනිසා හෘද දුබලතා වලට යොදන අතර ග්‍රන්ථ ශෝථ හා වෙනත් ශෝථ දුරු කරයි.
ශ්වසන ව්‍යුහාවේදී
නිස්සාරක ගුණ ඇති අතර සෙම සහ වාත නසන ගුණ නිසා කාස හා ශ්වාස සඳහා හිතකාරීය.
මුත්‍රණ ව්‍යුහාවේදී
සෙම් වාත සමන ගුණ සහ බලකාරී ගුණ නිසා ප්‍රමේහ රෝග සඳහා යොදයි.
ප්‍රජනන ව්‍යුහාවේදී
මධුර නිසා වෘෂ්‍ය ගුණ යුක්ත අතර ශිෂ්ණ ගත නාඩි උත්තේජනයෙන් කාම උත්තේජනය ඇති කරන අතර වාජීකරණ කි‍්‍රයාව වැඩි කරයි. එසේම ගර්භාෂ උත්තේජකයයි. මේ නිසා ශුක්‍ර ද්බලතා ඕවජභංග, කෂ්ඨරජස් සඳහා ප්‍රශස්ත වන අතර ශුද්ධ සෙංකොට්ටං ඇට 4ක් එළකිරි සමඟ කෂාය කර පානයෙන් වාජීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි. එසේම කුෂ්ඨ, ශ්විත්‍ර සහ වාත රක්ත සඳහා ගුණදායක වන අතර ජ්වර සඳහා ද හිතයි. අක්මා පිලා ආදියේ ඉදිමුම් ද සමනය කරයි. එසේම රසායනික සහ වාජීකරණ ගුණ ශෝධිත සෙංකොට්ටං වල ඇති නිසා ඇට වල තෙල, එල කිරි සමඟ මාසයක් පානයෙන් ආයුෂ වර්ෂ සියයක් වන බව දක්වා ඇත.
මෙසේ ශාරීරික ව්‍යුහා ආශි‍්‍රතව ඉතා හොඳින් කි‍්‍රයාකාරී වන ශුද්ධ සෙංකොට්ටං අධිකව ගැනීමෙන් උන්මාද සහ ව්‍රණ ඇති කරන අතර තල තෙල්, ගිතෙල් සහ සේවනයෙන් එම තත්ත්වය සමනය වන බවත් දක්වයි. තවද ශුද්ධ සෙංකොට්ටං ළදරු, ගැබිණි, මහලු සහ පිත්ත ප්‍රකෘතිකයන්ට අහිතකර වන අතර උෂ්ණ කටක, අම්ල ලවණ ගිනි සහ අව් සේවනය අත් හල යුතුයි. එසේම රසදිය සේවීන්ට අපත්‍ය වන ද්‍රව්‍ය ගණයක් වන කකාරාජටකය අහිතකරය.
තවද ශුද්ධ නොකළ සෙංකොට්ටං හා ශුද්ධ සෙංකොට්ටං අධික මාත්‍රාවෙන් ගැනීමෙන් ගුදය සහ ශිෂ්ණ අග්‍රය කැසීම ඇති කරන අතර අධික ඩහදිය සහ පිපාසය ඇති කරයි. එසේම මුත්‍ර අල්ප බව සහ දුඹුරු හෝ රතු පැහැවීමද ඇති කරයි. තවද හමේ කැසිල්ල, දැවිල්ල හා ශෝථය ද ඇති වෙයි. මේ සඳහා තලතෙල්, ගිතෙල් හෝ පොල් තෙල් ලේප ලෙස යොදනු ලබන අතර දින 3 – 4 ක් පමණ කල් ගතවීමෙන් සුවය ලැබේ.
මේ ආදී වශයෙන් මාත්‍රාණුකූලව ශෝධිත සෙංකොට්ටංවල විවිධ අංග යෙදීමෙන් කුෂ්ඨ, අර්ශස්, ග්‍රහණි ඇතුළු රෝග රාශියකට සුවය ළඟාවන අතර එසේ නොමැතිව ශෝධනය නොකිරීමෙන් හා මාත්‍රාණුකූලව නොයෙදීමෙන් රෝග නිවාරණය වෙනුවට රෝග වර්ධනය සිදුවෙයි.
මේ අතර සෙංකොට්ටං අඩංගු ඖෂධ යෝගයෝද කිහිපයක්ම වෙයි. භල්ලානක වටී හා භල්ලානක ක්ෂාරය මේ අතුරින් ප්‍රධාන වන අතර ප්ලීභා, ග්‍රහණි, ගුල්ම පාණ්ඩු, අර්ශස් ආදී රෝග රාශියකට ගුණ දෙයි.මේ නිසා බාහිර සහ අභ්‍යන්තර වශයෙන් බොහෝ සෙයින් ක්‍රියාකාරී සෙංකොට්ටං පිළිබඳ නිවැරදි අවබෝධය ලබා තිබීම රෝග නිවාරණයට ඉතා වැදගත් වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන