කිරිපිටි අත්හරිමු ඖෂධීය කැඳ පානය කරමු

ඔක්තෝබර් 14, 2022

මේ දිනවල ආහාරපානවල මිල ගණන් අධිකයි. මේ නිසා බාල මහලු කාටත් තම පෝෂණය පිළිබඳ ගැටලු පැන නඟිනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් සෑමදාම උදෑසන කිරී වීදුරුවක් පානය කිරීමට හුරු වී සිටියත් අද වන විට කිරි වීදුරුවක් පානය කිරීමත් තරමක අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඒ කිරිපිටි මිලෙන් අධික වීමයි. එනිසා අප ගෙන් ගිලිහී යන සෞඛ්‍යය හා පෝෂණය රැක ගන්නට උදෑසන කිරීවීදුරුව වෙනුවට ඖෂධීය කැඳ කෝප්පයක් එක් කර ගැනීමෙන් හැකියාව ලැබෙනවා. සතියේ දවස් හතට එක් එක් ආකාරයට සැකසූ විවිධත්වයෙන් යුතු කැඳ කෝප්පයක් පානය කිරීමට හැකි නම් එය කෙතරම් අගනේද? එනිසා පෝෂණීය කැඳවර්ග කිහිපයක් නිවෙසේදීම සකසා ගත හැක්කේ කෙසේද යන්න දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

 

කොළ කැඳ

කොළ කැඳ සකසා ගැනීමේදී ගොටුකොළ, පොල්පලා, මොනරකුඩුම්බිය, වැල් තිබ්බටු කොළ, රණවරා, එළබටු කොළ,කුප්පමේනිය,හාතවාරිය, ඉරමුසු, මුකුණුවැන්න, වැල්පෙනෙල, කරපිංචා, පාස්ලි, නීරමුල්ලිය වැනි කොළ වර්ග භාවිතා කළ හැකියි. කොළ කැඳ පානයක් නිවෙසේ දී මේ අයුරින් සකසමු.

අවශ්‍ය ද්‍රව්‍ය-

කැමති කොළ වර්ගයක්

සුදු හෝ රතු කැකුළු හාල් මිටක්

සුදුළූණු බික් 5-6ක්

ගාගත් පොල් කෝප්ප 2

රස අනුව ලුණු

භාජනයක් ලිපතබා එයට හාල් ටික හා සුදුළූණු දමා හෙඳීන් බෙරි වෙන්නට උයා ගන්න. ඒ අතර ඔබ නෙළා ගත් කොළ ටික හො​ඳීන් සෝදන්න. කො​ළ කුඩාවට කපා ගන්න. එයට ගාගත් පොල් කෝප්ප භාගයක් එක්කර වතුර ටිකක් දමා බ්ලෙන්ඩ් කර ගන්න. හාල් තැම්බුනාම හදාගත් යු​ෂ මිරකා එයට දමන්න. ඉතිරි පොල් ටිකත් මිරිකා එම මිටිකිරි ද බත් මිශ්‍රණයට එක් කරන්න. රස අනුව ලුණු යොදන්න. හොඳීන් හැඳීගාන්න. උතුරන විට ලිපෙන් බාන්න.

 

සව් කැඳ

ඇඟ උෂ්ණය නිසා පීඩා විඳීන්නන්ට ඇඟ නිවෙන්නට කියාපු කැඳ වර්ගයක් සේම පෝෂණ ගුණයෙන් ද ඉහළ කැඳ වර්ගයකි සව් කැඳ.

අවශ්‍ය ද්‍රව්‍ය -

සව් ග්‍රෑම් 100

(අවශ්‍ය නම් හබල පෙති ද එක්කළ හැකියි)

හකුරු බෑයක්

මිටි කිරි කෝප්ප 1

දියකිරි කොප්ප 1/2

කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි

කජු ටිකක්, ප්ලම්ස්

රස අනුව ලුණු

සව්හොඳීන් සෝදා තැම්බෙන්නට ලිප තබන්න. තැම්බෙන අතර තුර සව් හොඳීන් හැඳී ගාන්න. එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු එක් කරන්න. ඒ අතර දැන් සව් ටික තැම්බී ඇත්නම් ග්‍රේට් කරගත් හකුරු ද එක්කරන්න. මේයටම හබල පෙතිද එක්කරන්න. හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳී ගාන්න. එයටම මිටිකිරි ටික එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න.

කජු ටික හා ප්ලම්ස් එකතු කර ගන්න.

 

ඕට්ස් කැඳ

ඕට්ස් කැඳ පෝෂ්‍යදායී ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.අවශ්‍ය ද්‍රව්‍ය -

ඕට්ස් ග්‍රෑම් 200

පොල්කිරි කෝප්ප 2

සුදුළූණු ටිකක්

රස අනුව ලුණු

ඕට්ස් ගෙන එයට වතුර එක්කර එයටම චොප් කරගත් සුදුළූණු දමා තැම්බෙන්නට තබන්න. ඉන්පසු පොල්කිරි දමා උතුරන විට රස අනුව ලුණු එක්කරන්න. ඉන්පසු ලිපෙන් බා හොඳීන් හැඳීගාන්න.

 

කොහිල කැඳ

අර්ශස් රෝගීන්ට මෙන්ම සාමාන්‍ය මිනිසාටද පෝෂණ ගුණයෙන් යුතු තවත් කැඳ වර්ගයක් වන්නේ කොහිල කැඳයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය- හො​ඳට පැහුණු කොහිල අලයක්

සුදු කැකුළු හාල් මිටක්

සුදුළූණු බික් 4-5

පොල්කිරි කෝප්ප 2

රස අනුව ලුණු

හාල් ලිප තබන්න. එයට කපාගත් සුදුළූණු එක්කරන්න. කොහිල ටික සිහින්ව කපා වතුර දමා බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය හාල් මිශ්‍රණයට දමා තැම්බෙන්නට තබන්න. හො​ඳීන් තැම්බුනාට පසු පොල් කිරි ටික එකතු කර රස අනුව ලුණු යොදන්න.

 

කුරක්කන් කැඳ ක්‍රම දෙකකට හදමු

 

තරුණ බව රැක දෙන කුරක්කන් කැඳ බාල මහලු කාටත් ගුණදායකයි.

1. ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් මිටක් පමණ

කුරක්කන් පිටි මේස හැඳී 6ක්

පොල්කිරි කෝප්ප 2ක්

එන්සාල් ඇට 2ක්

 

හාල් බෙරිවෙන්නට පිසගන්න. පොල්කිරි සමඟ කුරක්කන් පිටි මිශ්‍ර කර ගන්න. එනසාල් ද එයට එකතු කරන්න. උයාගත් බත් එකට පොල්කිරි යොදා හොඳීන් කලවම් කරන්න. රස අනුව ලුණු යොදන්න. උතුරන විට ලිපෙන් බාගන්න. පැණි රස අවශ්‍ය නම් සීනි ටිකක් එකතු කරගන්න.

2. ක්‍රමය

කුරක්කන් පිටි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය-

කුරක්කන් පිටි 100 ග්රෑම්

සව් හාල් 50 ග්රෑම්

ගා ගත් පොල් 50 ග්රෑම්

ලුණු 5 ග්රෑම්

වතුර අඬු කෝප්ප 6

කුරක්කන් පිටි භාජනයකට දමා පිටි කැටිගස්වන ක්‍රමයට පිට්ටු සඳහා පිටි කැටි සාදා ගන්න. පොල් 50 ග්රෑම් මිරිකා මිටි කිරි අඬු කෝප්ප 1/2ක් වෙන් කර තබන්න. ඉතිරි පොල්වලට වතුර දමා දියකිරි අඬු කෝප්පයක් මිරිකා ගන්න. දියකිරි වතුර ළිප තබා උතුරන විට එයට ලුණු මිශ්‍ර කොට පිටි කැටිති හා සව් හාල් එම නටන දියකිරට එක් කර සෙමෙන් හැඳී ගාමින් තම්බා ගන්න. තැම්බුණු පසු එයට පොල් කිරි එක්කොට ළිපෙන් බා තත්පර කිහිපයක් හැඳී ගාගන්න.

 

මුංඇට කැඳ

මුං ඇට කැඳ ද පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයකි. මුං ඇට තම්බා කන්නට අකමැති අයට මුං ඇට කැඳ රසවත් පානයකි.

අවශ්‍ය ද්‍රව්‍ය-

තම්බාගත් මුං ඇට කෝප්ප 1

පොල්කිරි කෝප්ප 2

චොප්කරගත් සුදුළූණු බික් 2

ලුණු රස අනුව

චොප්කරගත් ඉඟුරු ටිකක්

මුං ඇට භාජනයක දමා හොඳීන් තම්බා ගන්න. එය හැන්දකින් පොඩි කරගන්​න. එයට තලා ගත් සුදුළූණු හා ඉඟුරු එක්කර ලිපේ තියන්න. පසුව එයට පොල් කිරි මිශ්‍ර කර හොඳීන් හැඳී ගාමින් උතුරුවා ගන්න.රස අනුව ලුණු එකතු කර ගන්න

 

කිරි කැඳ

ඇඟ සිසිල් කරන පානයක් ලෙස කිරි කැඳ හඳුන්වන්න පුළුවන්. කිරි කැඳත් පෝෂණ ගුණයෙන් අනූන පානයක් වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හාල් මිටක් පමණ

සුදුළූණු බික් 8-10

පොල්කිරි කෝප්ප 3ක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු

හාල් සෝදා එයටම සුදුළූණු බික් දමා බත බෙරි වෙන්නට පිසගන්න. පසුව එයට පොල්කිරි එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. පොල්කිරි හොඳීන් උතුරන තෙක් හොඳීන් හැඳී ගාන්න. අවශ්‍ය නම් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස බීමට ගන්න.

 

උපදෙස් පෝෂණවේදී

එන්. එස්. එම්. හෙට්ිටිගෙදර

 

සටහන

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.