කුරහන්වලින් හැදූ කෑම රස වගේම ගුණයි

මාර්තු 18, 2022

 

කුරක්කන් යනු අතීත ලක් වැසියන්ගේ ප්‍රධානතම සාම්ප්‍රදායික ආහාරයකි. එහෙත් අද අපේ ආහාර රටාවේ කුරක්කන් යනු බොහෝ දුරට කලාතුරකින් භාවිතා වන ආගන්තුක ආහාරයකි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති බොහෝ නවීන පවුල් අද කුරක්කන් ආහාරවලට ප්‍රමුඛතාවයක් ලබාදෙයි. විශේෂයෙන්ම වර්තමානයේ වැඩි පිරිසක් දියවැඩියාව රෝගයෙන් හා අධික ස්ථූලතාවයෙන් පෙළීම ඊට ප්‍රමුඛතම හේතුවයි.

 

කෙඳී බහුලයි

තුන්වේලටම බත් හෝ පිෂ්ටය අධිකව අඩංගු තිරිඟු පිටි (පාන් පිටි) ආහාර වෙනුවට කුරක්කන් පිටිවලින් නිපදවන කුරක්කන් පිට්ටු, කුරක්කන් ඉඳී ආප්ප, කුරහන් තලප, කුරක්කන් ආප්ප, කුරක්කන් රොටී බොහෝ පවුල්වල අද බහුලව භාවිතා වේ. මෙලෙස වර්තමානයේ කුරක්කන් අපේ රටේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වූයේ එහි ඇති ඉහළ පෝෂණීය ගුණාංග නිසාය. විශේෂයෙන්ම කුරක්කන්වල විශාල වශයෙන් තන්තු සංයුතියක් පවතියි. මේ නිසා ලේ වල සීනි තත්වය පාලනයට සුවසෙත සදමින් අන්ත්‍රවල ආසාදන තත්ත්වයන් ඇති නොකරමින් ආහාර ජීර්ණයට අමිල සහයක් ද ලබා දෙයි.

දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණයි

රුධිරයේ සීනි, මැනවින් පාලනය කිරීමට කුරක්කන්වලට ඇති හැකියාව ඉතා විශාලය. මේ නිසාම දියවැඩියා රෝගීන් අතර කුරක්කන් ආහාර බෙහෙවින්ම ජනප්‍රියය. මේ හැරුණු විට රුධිරයේ කොලෙස්ටරෝල් සංයුතිය අඩු කිරීමට හා ආහාර ජීර්ණයේ ක්‍රමාකුංචන ක්‍රියාවලිය සුසර කිරීමට කුරක්කන්වලට ඇති හැකියාව ද ඉහළය. එහෙත් අද බොහෝ දෙනෙක් භාවිත කරන වෙළඳපොළෙන් මිලදී ගත් කුරක්කන් පිටිවලට රතු කැකුළු සහල් කුඩු හා වී මෝල්වලින් අපද්‍රව්‍ය ලෙස ඉවත් කෙරෙන කුඩු සේම විවිධ ඩයි වර්ග ද මිශ්‍ර කරන බව වරින් වර සිදුකරන ලද විවිධ පරීක්ෂණ මගින් සනාථ වී ඇත.

කුරහන් ගලකින් නිවසේදී අඹරාගත් පිරිසිදු කුරහන් පිටි භාවිතය තුළ සෞඛ්‍ය සම්පන්න බව ඉතාම ඉහළය. සමීක්ෂණ වාර්තාවලට අනුව දියවැඩියාව අද අපේ රටේ සුලබම හා ප්‍රබලම සෞඛ්‍ය ගැටලුව වී ඇත. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් 8 .7%ක් පමණ පිරිසක් දියවැඩියාවට බඳුන් වී ඇති බවත්, නාගරික ජනගහනයෙන් එමෙන් දෙගුණයක් පමණ එනම් 16.4 %ක් පමණ පිරිසක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් 2019 වසරේ පෝෂණවේදී සමීක්ෂණ වාර්තා තුළින් හෙළි වේ.

වත්මන් ජීවන රටාව අනුව ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු දත්ත අනුව පැහැදිලි වේ. මේ තත්ත්වයෙන් මිදීමට නම් ස්ථීර වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් ඉතාම වැදගත් ලෙස සුරක්ෂිත ආහාර පුරුදුවලට නම්‍යශීලී විය යුතුය. මෙහිදී රුධිරයේ සීනි මනාව පාලනය කරන ආහාරමය පුරුදු වලට හැඩගැසීම මෙන්ම එදිනෙදා ආහාර පිළියෙල කිරීමේදී ද සාධනීය වෙනස්කම් ඇතිකර ගැනීම මගින් ප්‍රශස්ත ලෙස සීනි පාලනය කරගනිමින් ශරීර සෞඛ්‍යය නිරතුරුවම රැකගැනීම ද වැදගත් වේ.

ග්ලයිසමික් අගය අඩුයි

මෙහිදී ග්ලයිසමික් දර්ශකය අඩු ආහාර හා මධ්‍ය ප්‍රමාණයේ ග්ලයිසමික් දර්ශකයක් හිමි ආහාර පරිභෝජනයෙන් දියවැඩියා රෝගයෙන් ආරක්ෂා විය හැකි බව දැනටමත් පිළිගෙන හමාරය. එලෙසම ග්ලයිසමික් අගය අඩු ආහාර අනුභව කිරීම තවත් බෝ නොවන රෝග ගණනාවක් පාලනය කිරීම සඳහා ද යෝග්‍ය වේ. කුරක්කන් එවැනි එක් ආහාරයකි.

ට්තරජඥථඪජ ධ්දඤඥය හෙවත් ග්ලයිසමික් දර්ශකය යනු යම් ආහාරයක් අනුභව කිරීමෙන් පසු එහි ප්‍රතිඵලයක් වශයෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ නැංවීමට ගතවන කාලය පාදක කරගනිමින් සකස් කරන ලද මිම්මකි. ආහාරයක ග්ලයිසමික් අගය තීරණය කිරීමට එම ආහාරයේ පවතින පෝෂණ අංශුවල ප්‍රමාණය හේතු වේ.

කුරහන් නිවසේදී පිටිකර ගැනීමේ වාසි

ආහාරයේ පෝෂණ අංශුවල ප්‍රමාණයට අනුව එම ආහාරය නිසි නිෂ්පාදනයක් ලෙස සකස් කිරීමට භාවිතා කරන ක්‍රමය ද ඍජුවම බලපායි. බටහිර මෙන්ම දේශීය වෛද්‍යවරුන් දෙපිරිසම කුරක්කන්, දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයක් බව පුන පුනා ප්‍රකාශ කළ ද වර්තමානයේ කුරක්කන් පිටි බහුලව නිපදවන්නේ යාන්ත්‍රික මෝල්වල ඇඹරීම මගිනි. නවීන වෛද්‍ය පර්යේෂකයන්ට හා පෝෂණවේදීන්ට අනුව මහා පරිමාණ යාන්ත්‍රික මෝලවල අඹරනු ලබන කුරක්කන් පිටි මගින් අපේක්ෂිත ලෙස ප්‍රමිතිගතව සීනි පාලනයක් සිදු නොවේ.

කුරහන් ගලක් ඔබේ නිවසේ තිබෙනවාද?

කුරහන් ගලක් ගෙදරක තිබීමේ වැදගත්කම පැරැන්ණන්ට නම් අමුතුවෙන් පහදා දීමක් අවශ්‍ය නොවේ. යාන්ත්‍රිකව සිදුකරන කුරක්කන් පිරිපහදුව හා සාම්ප්‍රදායිකව කුරක්කන් ගලක අඹරාගත් කුරක්කන් පිරිපහදුව තුළ ග්ලයිසමික් දර්ශකයේ විශාල වෙනසක් පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. යාන්ත්‍රිකව පිරිපහදු කරන ලද කුරක්කන් අනුභවයෙන් සිදුවන සීනි පාලනයට වඩා පැහැදිලි සීනි පාලනයක් සාම්ප්‍රදායික ලෙස කුරක්කන් ගලක ඇඹරූ කුරහන්වලින් ලද හැකි බව පර්යේෂණවලදී පැහැදිලිව ඔප්පු වී ඇත.

අතීතයේ අපේ මුතුන් මිත්තන් අනුභව කළ බොහෝ ආහාර වර්ග පිළියෙල කිරීමට කිසියම් ආයාසයක් යෙදවීමට සිදුවුවත් ඔවුන් ඒවාට ඉතාම යහපත් ලෙස අනුගත වෙමින් දෛනික ආහාර වේල සකස්කර ගත්හ. වනේ වී කොටා සහල් සකසා ගැනීම, කුරහන් ගලෙන් කුරහන් ඇඹරීම ඔවුන්ගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් තරමටම ජීවිතය හා බද්ධ වී තිබුණි. කුරහන් ගලක්, ගල් වංගෙඩියක් හෝ ලී වංගෙඩියක් නොමැති වූ නිවසක් අතීතයේ සොයාගැනීම ඉතාම දුෂ්කර කාර්යක් විය. මේ අතරින් කුරහන් ගල අපේ අතීත මුළුතැන්ගෙයි නැතිවම බැරි ආම්පන්නයක් වූයේ කුරක්කන් පමණක් නොව සහල් මුං ඇට ආදී තවත් බොහෝ ධාන්‍ය වර්ග ආහාරයට ගත හැකි ලෙස පිටි කරගැනීමට නැතිවම බැරි ඉතාම අත්‍යවශ්‍යම ආම්පන්නයක් වූ බැවිනි.

වී කෙටීම හෝ කුරහන් ඇඹරීම වැනි දෛනික පුරුදු නිරෝගී බව ඇති කිරීම වෙනුවෙන් පැරණි සමාජයේ යෝග්‍යතම ක්‍රියාකාරකම් බවට පත්වී තිබුණි. අදටත් ඔබට උවමනාව ඇත්නම් වී කොටන වංගෙඩියක් කෙසේ වෙතත් කුරහන් ගලක් මිලදී ගැනීමට මේ රටේ බොහෝ තැන් ඇති බව මතක් කළ යුතුමය. වෙළඳපොළෙන් මිලදී ගන්නා කුරහන් ඇට හොඳීන් සෝදා මද පවනේ වේලා කුරහන් ගලකින් අඹරා ගැනීම මෙන්ම ඉවත දමන බත් වේලා මද වශයෙන් කබලේ රත්කර කුරහන් ගලෙන් අඹරා ගැනීමෙන් ඉතා ගුණවත් අතුරුපසක් වන අග්ගලා පවා සකසා ගත හැකිය.

මේ ගැනත් හිතන්න

කඩ කෑම සංස්කෘතියට ඇබ්බැහිවීම මෙන්ම විවිධාකාර වෙළඳ දැන්වීම් වල බලහත්කාර පෙළඹවීමෙන් අද අපේ දරුවන් භුක්ති විඳීන රසකාරක, වර්ණකාර සුවඳකාරක හා කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය වලින් අනූන වූ වස විස පිරුණු ආහාර වර්ග වෙනුවට රසවත් අතුරුපස රැසක්ම සෑදීමට කුරහන් ගලකින් ලබාගත හැකි දායකත්වය ඉතාම ඉහළය. කුරහන් පිටි පමණක් නොව සහල් පිටි, මුං පිටි, බඩඉරිඟු පිටි ආදී දේශීය ආහාර රාශියක්ම සාදාගත හැකි අමුද්‍රව්‍ය කීපයක්ම සකස්කර ගැනීමට ඉන් ඔබට හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම නිවසේ සිටින දියවැඩියා රෝගියාගේ සීනි පාලනයට මනා දායකත්වයක් ලබාදෙන ග්ලයිසමික් අගයෙන් අඩු ගුණාත්මක කුරහන් පිටි ලබාගැනීමට ඔබට ඉන් ලැබෙන මහඟු දායකත්වය ඉතාම ඉහළය.

 

 

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.