ඖෂධීය ගුණයෙන් පිරුණු මල්

පෙබරවාරි 11, 2022

 

රණවරා (Cassia auriculata)

තැඹිලි හෝ කහ පැහැති මල් පොකුරු වශයෙන් හටගනී. මල් පෙති එක සමාන නැත. ඒවා ඉක්මනින් හැලී යයි. පෙබරවාරි හා මාර්තු මාසවලදී මල් පිපේ. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ වියළි කලාපයේ රණවරා සුලබව වැවේ. රණවරා මල් හා මුල් අංකුර වියළා තේ මෙන් සාදා ගන්නා පානය දියවැඩියා රෝගීන්ට සුදුසුය. රණවරා මල් තම්බා පානය කිරීමෙන් ශරීර දාහය දුරුවේ.

 

නා (Mesua ferrea)

සුදු පැහැති සිනිඳු මල් පෙති හතරකින් යුත් මලකි. එහි රේණු කහ පැහැතිය. මල් පිපෙන්නේ අප්‍රේල් සිට ජූනි මාසය දක්වා කාලයේදීය. විවිධ ද්‍රව්‍ය සුවඳවත් කිරීමට නාමල් රේණු භාවිත කෙරේ.

නාමල් රේණු යොදා සකස් කළ කෂාය සමේ රෝග, ලේ අපිරිසිදු වීමෙන් ඇතිවෙන රෝග, වමනය, පණු රෝග යන සියල්ලකටම ගුණදායකය.

 

වද (Hibiscustrosa)

විවිධ වර්ණයන්ගෙන් යුත් වද මල් වර්ග රාශියකි. ඒ අතරින් ඖෂධීය වශයෙන් වඩාත් වැදගත් වන්නේ පොකුරු වද ලෙස හඳුන්වන දීප්තිමත් රතු පාටකින් යුත් වද මල් වර්ගයයි. මෙම වද මල් පෙති උණු වතුරින් තම්බා පානය කිරීමෙන් සමේ ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි, රත ගෙඩි සුවවේ. ශරීරය සිසිල් කෙරේ. ලේ පිරිසිදු කරවයි

පිච්ච (Jasminum rattleranum)

කුඩා නටු මත හට ගන්නා ඉතා සුවඳ මල් වර්ගයකි. ගැටපිච්ච නමින්ද හැඳීන්වේ. වසර පුරාම මල් හටගනී. මල සුදු පැහැතිය. පිච්ච මල් දැමූ වතුර පානය කිරීමෙන් ශරීරය සිසිල් කරයි. ඇස් රෝගවලට ගුණදායකය. කුෂ්ඨ රෝග හා ලේ විෂවීමෙන් ඇතිවන සමේ රෝග සුවපත් කරයි.

සපු (Michelio champaca)
 

අලංකාර මලකි. මණිපත්‍ර හා මල් පෙති පෙනුමින් එක සමානය. මල් පෙති 15 කට වැඩිය තිබේ. මල තද කහ හෝ තැඹිලි පාටය. රේණු රාශියකි. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී මල් පිපේ. සපු මල් තම්බා පානය කිරීමෙන් ශරීරගත විෂ දුරුවේ. සෙම් රෝග, වාත රෝග, සමනය කරයි. පණු රෝගවලටද ගුණදායකය.

 

නිල් මානෙල් (Nymphaea nouchali)
 

ජලයේ වැඩෙන ඉතා සුවඳ මලකි. ලා දම් හා නිල් පැහැතිය. මල් පෙති 9 - 16 ක් පමණ තිබේ. මල් රේණු ලා කහ පාටය. අවුරුද්ද පුරාම මල් හටගනී. ඉතා සිත් ගන්නා සුළු මලක් වන බැවින් නිවෙස්වල හා උද්‍යානවල වවයි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පයද වේ. පුරාණ කාලයේ සිටම දේශීය වෛද්‍ය ක්‍රමවලදී නිල් මානෙල් ඖෂධයක් වශයෙන් භාවිතයට ගෙන ඇත. මානෙල් මල් තැම්බූ වතුර කැස්සට ගුණදායකය. මුත්‍ර දාහය සමනය කරයි. වමනයත්, ආහාර උගුරට ඒමත් මෙමඟින් වළකාලයි.

නෙළුම් (Nelumba nucifera)
 

සුදු නෙළුම් හා රතු නෙළුම් වශයෙන් නෙළුම් මල් වර්ග දෙකකි. ජලයේ වැඩෙන පැළෑටියකි තනි මලක් ලෙස හටගනී. මල් පෙති 15 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය හැකිය. නෙළුම් පෙති, පැණි, රේණු, යන සියලුම කොටස් ඖෂධ වශයෙන් භාවිත කරයි. නෙළුම් මල් රේණු රැයක් පින්නේ පෙඟෙන්නට තබා පානය කිරීමෙන් ශරීර දාහය, පිපාසය දුරුවේ. සමේ විෂ බිබිලි, තුවාල ආදිය නැසේ.

 

දෙළුම් (Punica granatum)

දෙළුම් මල් තැඹිලි පැහැයට හුරු තද රතු පාටකින් යුක්තය. රේණු රාශියකි. වසර පුරාම පාහේ මල් හටගනී. දෙළුම් ගස ශ්‍රී ලංකාවේ සෑම පළාතකම හොඳීන් වැඩේ. රතු, සුදු හා කළු මල් සහිත වල් දෙළුම් විශේෂ තුනක් ජාවා රටින් වාර්තාවී තිබේ. නාසයෙන් ලේ වහනය වන විට රත්පිත් රෝගීන්ට දෙළුම් මල් ඉස්ම නස්න කරයි.

 

කුමුදු (Nymphoides indica)
 

ජලය මත පිපේ. ඉතා අලංකාරය. මල කුඩාය. කුමුදු මල් රැයක් ඇල් ජලයේ පෙඟෙන්නට තබා පෙරා ගත් වතුර පානය කිරීමෙන් ශරීරය සිසිල් වේ. එසේම රත්පිත් රෝගවලට, නාසයෙන් හා බඩවැලෙන් ලේ ගලන රෝගවලට හා සමේ රෝගවලටද ඔසුවකි.

මලිත (Wood fordia fruticosa )
 

කුඩා මලකි. ගිනි දළු වැනි රතු පාටකින් යුක්තය. මල් හටගන්නේ පොකුරු වශයෙනි. වසරකට වරක් මාර්තු සිට මැයි මාසය දක්වා කාලය තුළ මල් පිපේ.මෙම මල්වල අඩංගුවන සීනි හා වෙනත් රසායනික ද්‍රව්‍ය පැසවීමේ ගුණයෙන් යුක්තය. මේ නිසා කෂාය, ආසව, අරිෂ්ට ආදී බෙහෙත් වර්ග නිපදවීමේදී ඒවා පැසවීමටත් කල්තබා ගැනීමටත් මලිත මල් යොදාගනී. මලිත මල් වේලා කුඩුකර මී පැණි සමඟ ගැනීම අතීසාරයට හා අර්ශස් රෝගයට ගුණදායකය. ගින්නෙන් පිළිස්සුණ විට මලිත මල් කුඩු තලතෙල් සමඟ ආලේප කිරීමෙන් සුවය ලැබේ.

 

බෙලිමල් (Aegle marmelos)
 

 

පුරාණ කාලයේ සිටම බෙලිමල් ඖෂධ වශයෙන් භාවිත කර ඇත. මෙය කොළ පාටට හුරු සුදු පාට මලකි. සුවඳය. රේණු රාශියක් තිබේ. මල් හටගන්නේ පොකුරු වශයෙනි. බෙලිමල් වියළා හොඳීන් තම්බා පානය කිරීමෙන් ඇඟ සිසිල් වේ. එසේම මළ බුරුල්ව යාම වළකී. ආහාර හොඳීන් ජීර්ණය වේ. සමේ රෝග දුරු කරයි. බඩගින්න වඩවයි. මුත්‍ර රෝගවලටද සුදුසුය.

සමන්පිච්ච (Jasminum officinale)

ඉතා සුවඳය. මල් සුදු පැහැතිය. වසරේ මැයි සිට සැප්තැම්බර් අතර කාලයේදී වැඩි වශයෙන් මල් පිපේ. ශ්‍රී ලංකාවේ ගෙවතුවල සිටුවයි. සුවඳ විලවුන් කර්මාන්තයේදී සුලබව භාවිතයට ගනී.

සමන්පිච්ච මල් රැයක් පුරා ඇල් දියෙහි පොඟවා තබා ඇස් සේදීමෙන් ඇස් රෝගත්, මල් වේලා කොට්ට සාදා හිසට තැබීමෙන් හිසේ රෝගත් සමනය වේ.

 

රෝස මල් (Rosa)
 

විවිධ වර්ණවලින් හා ප්‍රමාණවලින් යුත් රෝස මල් වර්ග රාශියකි. ඒ මල් අතරින් සුදු රෝස ඖෂධ නිෂ්පාදනයේදී බෙහෙවින් යොදාගනී. මල් අමුවෙන්ද, වියළාද ඖෂධ වශයෙන් භාවිත කරයි.

රෝස මල් රැයක් වතුර වීදුරුවක පෙඟෙන්නට තබා එම දිය පානය කිරීමෙන් සිරුර සිසිල් වේ. හෘද රෝගවලටද ගුණදායකය. කුරුළෑ සුවවේ. ලේ අපිරිසිදු වීමෙන් ඇතිවන සමේ රෝග දුරු වෙයි. ඇස් රෝග සමනය වේ.

 

කතුරුමුරුංගා (Sesbania grandiflora)

සුදු පැහැති මල දෑකැත්තක හැඩය ගනී. මල් පෙති එක සමාන නැත. දිගැති රේණු දහයකි. කහ, රතු හා නිල් පැහැති මල් ද තිබේ. කතුරු මුරුංගා මල් රසවත් ව්‍යංජනයක් ලෙසද පිළියෙල කරගත හැකිය. එයින් මළබද්ධය දුරු කරයි. කතුරු මුරුංගා මල් තැම්බූ ජලයෙන් කට සේදීමෙන් මුඛයේ ඇතිවන තුවාල සුවවේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.