ලෙඩ රෝගවලින් වැළකී ශක්තිය ඇතිකර ගැනීමට ගත යුතු සමබල ආහාර

මාර්තු 26, 2021

අද සමාජයේ බොහෝ දෙනෙකුට සමබල ආහාර වේලක ඇති ගුණාත්මකභාවය ගැන නිසි අවබෝධයක් නැති බව පෙනී යයි. මේ නිසා බොහෝ දෙනා දිනපතා එකම විදියේ ආහාර පාන පිළියෙල කිරීමට පුරුදුව සිටිති. ලෙහෙසියටත් පහසුවටත් ඔවුන් කරන්නේ තෙල් බැදුම් හා උෂ්ණාධික ආහාරවලට වැඩි කැමැත්තක් දක්වා ඒවා පිළියෙල කිරීමයි.

 

නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යෑමට නම් ආහාර හා පෝෂණය ඉතා වැදගත් වේ. සෑම ආහාරයක්ම ප්‍රබල ඖෂධයක් බව ආයුර්වේදය මගින් පෙන්වා දී ඇත. ඒ අනුව ප්‍රධාන කොට සැළකිය යුතු වන්නේ ආහාරවල ඇති පෝෂණ ගුණය විනාශ නොවන අයුරින් පිළියෙල කර ගැනීමයි. නිසි පෝෂණයෙන් යුත් ආහාර ගැනීමෙන් ලෙඩ රෝගවලින් වැළකීමේ ඇති කරගත හැකි ය. පෝෂණය ගැන කතා කිරීමේ දී එය කොටස් කීපයකට වෙන්කර ගත හැකි ය. ඉන් ප්‍රධාන වන්නේ අධි පෝෂණය හා මන්ද පෝෂණයයි.

මෙහිදී වඩාත්ම සැලකිය යුතු වන්නේ යකඩ අයඩින් විටමින් හා ප්‍රෝටීන ඌනතාවයක් පිළිබඳව ය. මේ නිසා සමබල වේලක් සකස්කර ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත් ය. කාබොහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ, විටමින් නිසි පරිදි අඩංගු එළවළු, පලා වර්ග, ධාන්‍ය වර්ග හා පලතුරු තෝරාගත යුතු ය. පෝෂ්‍යදායී ආහාර වේල ගැන සඳහන් කිරීමේ දී එහි මස්, මාළු ගැනම සිතා සිටිය යුතු නැත. මස්, මාළු අනුභව නොකරන්නේ නම් එම අඩුව පිරිමසා ගැනීමට මුං ඇට, පරිප්පු, කඩල, උඳු වැනි ධාන්‍ය වර්ග මෙන්ම බඩඉරිඟු, කුරක්කන්, තිරිඟු වැනි ධාන්‍ය ද උපයෝගිකරගත හැකි ය. එමෙන්ම බෝංචි, මෑකරල්, දඹල වැනි එළවළු ද වැඩිපුර ආහාරයට එක්කර ගත හැකි ය. වැඩිහිටි අයට නම් සමබල ආහාර වේලක් ගැනීමේ වගකීම ඉතාම වැදගත් ය.

එම ආහාර වේලට ධාන්‍ය වර්ග එක්කර ගැනීමෙන් ප්‍රෝටීන, ඛනිජ හා බී විටමින් බෙහෙවින් ලබාදෙයි. එපමණක් නොව සහල්වල, කුරක්කන්වල තන්තු අඩංගුව පවතී. ඒ මඟින් ලේවල කොලෙස්ටරෝල් ප්‍රමාණය පවා අඩු කෙරේ. මළබද්ධයට ද එය ඖෂධයකි. බොහෝ දෙනෙකු වැඩි කැමැත්තක් නොදක්වන කුරක්කන්වල අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හා කැල්සියම් බහුලව ඇත. කොළ පැහැති පලාවර්ග ඉතාම ගුණදායක ආහාරයකි. එහි විටමින් ඩී සෑහෙන ප්‍රමාණයක් ඇති අතර කහ පැහැති එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් පිළිකා වැනි භයානක රෝග පවා වළකාලයි. ආහාරවල ඇති යකඩ ශරීරයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයකි. ආහාරවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම සඳහා විටමන් සී අඩංගු දෙහි එක්කර ගැනීම ද වැදගත් වේ. බොහෝ නිවෙස්වල රාත්‍රී ආහාරයට සූදානම් කරන බත් ඉතිරි වූ විට උදේට විසි කරන පුරුද්දක් ද පවතී.

එසේ ඉතිරිවන බත්වලට වතුර දමා තබා පසුදා උදෑසන වතුර බේරා එයට රතුලූණු ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් හා පොල්කිරි ස්වල්පයක් එක්කර දියබත් සාදා උදෑසනට බීමෙන් හෝ කෑමෙන් බඩේ ඇතිවන දැවිල්ල හට නොගනී. අලුත්, එළවළු හා පලාවර්ග ආහාරයට එක්කර ගැනීමෙන් විටමින් වර්ග ලැබෙන අතර ලේ පිරිසුදු වේ. තෙලෙන් බදින ලද එළවළු වැනි ආහාර සමඟ සුදුලූනු කෑමෙන් කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යෑම වළක්වා ගත හැකි ය. ශරීරයේ බර සීමාකර ගැනීම ද නිරෝගීතාවයට හේතුවකි. ශරීරයේ බර වැඩිබව දැනෙන්නේ නම් පිෂ්ඨමය ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය. බත්, ආප්ප, ඉඳි ආප්ප, රොටි, පාන්, අලවර්ග, නූඩ්ල්ස්, තෝසේ ගැනීමෙන් ස්ථුලතාවය වර්ධනය වී රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු වේ. ඒ නිසා අධික රුධිර පීඩනය නිදිමත ගතිය වැඩිවීම දෙපාවල නහර ගැට ගැසීම, පිත්තාශයේ ගල් හට ගැනීම, සම මතුපිට දිලීර හට ගැනීම ද ඇති වේ. අධිරුධිර පීඩනය ඇත්නම් ආහාර වේලට ගන්නා සියලු ආහාරවල ලුණු අඩු කළ යුතු ය.

බදින ලද අලපෙති, සෝස් වර්ග හා යොදා සකස් කරන ආහාරවලින් වැළකීමද වැදගත් වේ. අඹ, දොඩම්, පැපොල් ඉතාම ගුණදායකය. ටින් කළ එළවළු, මස්, බේකන්, ලිංගුස් මස් පෙති, ටින් කළ මාළු හා කරවල, බිස්කට්, කේක් වර්ග, පාන්, කජු, චට්නි, අච්චාරු, සෝස්, කිතුල් පැණි, මී පැණි, ක්ෂණික බීම, සිසිල් බීම, පිටි මෝල්ට් වර්ග කෑම බීම හැකිතාක් දුරට සීමා කළ යුතු ය. මින් සමහරවිට සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති කළ හැකි ය. සිරුරට නිසි පෝෂණ ඇති කර ගත හැකි වන්නේ සමබල ආහාර වේලකින් පමණකි. දිනකට ආහාර වේල් තුනක්වත් ගත යුතු ය. ඒ අතරතුර කෙටි ආහාර වේල් දෙකක් ගැනීම වරදක් නොවේ. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු පැය ගණනාවක් නිරාහාරව සිට උදෑසන ආහාර වේල ගනී. එම ආහාර වේලට බත් සමඟ ව්‍යාංජන කීපයක් සකසා ගැනීමට අපහසු නම් එළවළුවක්, බිත්තරයක්, පලාවර්ගයක්, පරිප්පු හෝ ආහාරයට එක්කර ගත යුතු ය. ඊට අමතරව කෙසෙල්ගෙඩියක් හෝ ආහාරයට එක්කර ගැනීමෙන් අවශ්‍ය පෝෂණය ලබා ගත හැකි ය.

උදෑසනට කොළකැඳ පිළියෙල කර ගන්නේ නම් එය වතුර අඩුවෙන් සාදාගත යුතු ය. කැඳ සකසා ගැනීමේදී බත්, කඩල, කවුපි, මුං ඇට වැනි ධාන්‍ය වර්ග වැඩියෙන් යොදා පිළියෙල කර ගැනීම වඩාත්ම ගුණදායකය. නිතර නිතර ටික ටික ආහාර ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර නොවේ. ආහාර ගත යුතු වන්නේ උදෑසන උදේ හතත් අටත් අතර කාලසීමාවේදී ය. උදෑසන දහයත් දහයයි තිහත් අතර කාලයේ දී තේ කෝප්පයක් සමඟ රසකැවිල්ලක් ආහාරයට ගැනීමේ වරදක් නැත. දහවල් ආහාරය සඳහා දොළහත් දොළහයි තිහත් අතර කාලය සුදුසු වේ. සවස තේ පානය සඳහා සවස හතරත් සවස පහත් අතර කාලය නියමිත ය. එහිදී තේ කෝප්පයක් සමඟ කුඩා ආහාරයක් ගැනීම සුදුසු ය. රාත්‍රී ආහාරය ගත යුතු වන්නේ රාත්‍රී හතත් අටත් අතර කාලය තුළ ය. නමුත් බොහෝ දෙනෙකු සිටින්නේ බඩගින්න ඇති වූ විට ආහාර ගැනීමටයි. එය සුදුසු නොවේ. යම් ආහාරයක් ගත් පසු එම ආහාරය ජීර්ණය වීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය යම් මට්ටමකින් අඩු වේ. මේ නිසා උදෑසනටත් දහවලටත් රාත්‍රියටත් නිසි වේලාවකදී ආහාර ගත යුතු ය.

ශරීරය වෙහෙසට පත් නොවේ නම් දහඩිය දමන කාර්යයෙහි නිරත නොවන්නේ නම් තෙල්, සීනි, වැඩිපුර දැමූ ආහාර ගැනීම සුදුසු නොවේ. රුධිරයේ සීනි වැඩි වූ විට දියවැඩියාව හට ගනී. මේදය මොළයේ නහර තුළ සිර වීමෙන් අංශභාගය ආඝාතය වැනි රෝග ඇති විය හැකි ය. කොලෙස්ටරෝල් වැඩි වීමෙන් පියයුරු පිළිකා ඇතිවේ. ශරීරයේ බර පමණට වඩා වැඩි වූ විට සන්ධි ආබාධ සහ වෙනත් රෝගී තත්ත්වයන් ඇති වේ.

දිනකට සමබර ආහාර වේල් තුන මෙන්ම ජලය වීදුරු හයක් හෝ අටක් ගැනීමට අමතක නොකළ යුතු ය. සාමාන්‍ය අයකු දිනකට ජලය ලීටර් එක හමාරක් දෙකක් පමණ පානය කළ යුතු බවට නිර්දේශ කර ඇත. වැඩිහිටියකු දිනකට විනාඩි තිහක්වත් දහඩිය පිටකරන තෙක් ව්‍යායාමයක යෙදී සිටිය යුතු ය. එමෙන් නිරෝගීතාවයට කැමති නම් දුම්වැටි හා මත්වතුර පානයෙන් ද වැළකී සිටීමද වැදගත් ය.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

මාධ්‍යවේදී

බී.ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.