නීරෝගී දිවි පෙවෙතකට ස්වාභාවික ආහාර

මාර්තු 5, 2021

තිඹිරි ගෙදර සිට සොහොන් බිම දක්වා ගෙවන මනුෂ්‍ය ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමය. ආයුෂ කොතරම් දීර්ඝ වුවත් එය නීරෝගී නොවන්නේ නම් එයින් ඵලක් නැත.

නිරෝගී දිවි පෙවෙතකට උරුමකම් කීමට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ අපගේ ආහාර රටාවන් ය. එම ආහාර පරිභෝජනය පිළිබඳ මනා අවබෝධයක් නොමැත්තේ නම් නිරෝගී ජීවිතයක් අපට හිමි නොවේ. අද නාගරීකරණයට ලක් වී ඇති ජන සමාජය ස්වාභාවික ආහාර පරිභෝජනයෙන් ඈත් වී ක්ෂණික ආහාර කල් තබා ගත හැකි ආහාර කෙටි ආහාර ආදිය හුරුපුරුදු වී සිටිති.

ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ලෙඩ රෝගවලට ගොදුරුවී මහත් සේ දුක්පීඩා විඳිමින් තමන් උපයන මුදලින් වැඩි කොටසක් බෙහෙත් සඳහා වැය කරමින් ජීවිතයේ ආගාධයට වැටීම ගැන පසුතැවිලි වන්නෝ ද එමටය. අතීතයේ ස්වාභාවික ආහාරපානවලට හුරු පුරුදු වී සිටි ජනයා නීරෝගිමත් ජීවිතයකට හිමිකම් කීය. එපමණක් නොව ආදි හෙළයේ යෝධ ශක්තියකින් උපරිම ආයුෂත් ගතකරමින් වැව් දාගැබ් තැනුවේ ස්වාභාවික ආහාරවල බල මහිමයෙනි.

අද බහුල ලෙසට දක්නට ඇති ලෙඩ රෝග වශයෙන් නම් කළ හැකි මල බද්ධය, අර්ශස්, අම්ල පිත්ත, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු ආබාධ, අක්මා රෝග ආදියට මූලික හේතුව වන්නේ වැරදි ආහාර විහරණයන් ය. ස්වාභාවික ආහාරවලින් ඈත් වී කෘත්‍රිම ආහාරයට පුරුදු පුහුණුූ වී සිටීමය. එසේම ස්වාභාවික කොළ වර්ග, පලතුරු ආහාරයට ගැනීමට කුඩා දරුවන් යොමු නොකිරීම වැඩිහිටියන් විසින් කරන ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවකි. ස්වාභාවික පානීය වර්ග වෙනුවට කෘත්‍රිම රසකාරක වර්ණකාරක අඩංගු පාන වර්ගවලට හුරුවීමෙන් සදාකාලික රෝගීන් බවට පත්වී ඇත්තෝ බහුල ය.

මුදලට පමණක් මුල්තැන දෙන සමහර බහුජාතික සමාගම් ජනමාධ්‍ය හරහා සාමාන්‍ය මනුෂ්‍යයාගේ මනස විකෘති කර කෘත්‍රිම පාන සඳහා ගොදුරු කර ගැනීම මෙයට මූලික හේතුව වේ.

එසේම මුදල් පසුපස හඹා යන කාර්ය බහුල සමාජයක මිනිසාද යන්ත්‍ර මෙන්ම කාර්ය බහුල වී ඇති හෙයින් කෘත්‍රිම ආහාර පරිභෝජනයට හුරු වී සිටිති. ස්වාභාවික වැවෙන පලා කොළ, මැල්ලුමක්, කොස්, දෙල්, කොහිල ආදී කිසිම රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර නොවී ස්වාභාවිකව ආහාර ගන්නෝ එමට ය. වර්තමානයේ කෘත්‍රිම ආහාරපාන නීරෝගිමත් ආහාරයක් පානයක් හා ඖෂධයක් ලෙසට කොළ කැඳ හා ඔසු පැන් හැඳින්විය හැකි ය.

මනුෂ්‍යයාගේ පැවැත්ම සොබාදහම හා බැඳී පවතී. අප අවට වටපිටාවෙන් ලබාගන්නා ඖෂධීය කොළ වර්ගවලින් ඉතා අඩු මුදලකට වැඩි පෝෂණයක් ගෙන දෙන කොළ කැඳ පිළියෙල කර ගත හැකි ය. දිනපතා අවදිවීමත් සමඟ තේ වෙනුවට ඔසු පැන් කෝප්පයක් හෝ කොළ කැඳ පානය කිරීමට හැකි වුවහොත් නීරෝගී දිවියකට හිමිකම ඔබටත් ලැබේ.

රට අභ්‍යන්තරයේ ඇති දේශගුණික සාධකවල විවිධත්වය හේතුවෙන් ස්වාභාවික ආහාර බහුලව පවතී. දේශගුණය අනුව ඒ ඒ පළාත්වලට ආවේණික ආහාරයට ගත හැකි විවිධ දේ වගා කළ හැකි ය. දේශගුණයට අනුව වැවෙන ශාක වර්ග ඒ ඒ ප්‍රදේශවලට ඇතිවන රෝගවලට ද ප්‍රතිකාරයක් විය හැකි ය.

නමුත් අප භාවිත කරන්නේ නිවසේ ගෙවත්තේ ඇති ගොටු කොළ විකුණා වෙනත් රසායනික මිශ්‍ර එළවළු ලබා ගැනීමයි. අපට වෙළෙඳපොළට ලැබෙන එළවළු බොහෝමයක් කල් තබා ගැනීමට මෙන්ම වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරයි. එබැවින් වැඩිදෙනාට රෝගී තත්ත්වයක් ඇති විය හැකි ය.

එබැවින් ගෙවත්තේ වැවෙන ආහාරපාන පරිභෝජනය කරන්නේ නම් නිරෝගි ජීවිතයක් ගත කළ හැකි ය. අප ගෙවත්තේ වැවෙන විශේෂයෙන් ගම්බද වැවෙන කොස් ගෙඩියක පවා නිකරුනේ අපතේ යාමට ඉඩ හරී.

එහි වටිනාකම නොදනී. යමෙකු වෙළඳපොළට හෝ සති පොළට ගියත් මිලදී ගන්නේ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත එළවළු පලා වර්ග ආදියයි. විශේෂයෙන් පොළේ දී පවා ගත යුත්තේ. එම ගෙවත්තෙන් එකතු කරගත් වෙළෙන්දන්ගෙන් ගන්නා එළවළු පලා වර්ගය. නමුත් සමාජය එම ස්වාභාවික ආහාරවල වටිනාකම නොදනී. නිරෝගී බව නිසා රෝහල්වල තදබදය අඩුවේ. අතීතයේ නිරෝගිමත් ජීවිතයක් ගත කළේ ස්වාභාවික ආහාර නිසා ඒවායේ ඇති පෝෂ්‍යදායී ගුණයත් රෝග නිවාරණ ශක්තියත් ඖෂධීය ගුණයත් නිසා ය.

ස්වභාවික ආහාර ගුණදායක මෙන්ම ලාභදායකය. රුපියල් සිය ගණනක් වැය කරමින් පානය කරන රට බීමවලට වඩා ශත ගණනකින් ආයුෂ බලය හා රූපය වඩවන වැඩි පෝෂ්‍යදායක දේවල් වශයෙන් ස්වාභාවික ආහාර මෙන්ම ඔසු පැන් ද භාවිත කළ හැකි ය.

ගෙවත්තේ ඇති ස්වාභාවික ආහාර වශයෙන් ගතහැකි පලතුරු ගොටුකොළ, කොහිල, කොස්, කතුරුමුරුංගා, තිබ්බටු, නිවිති, කෙසෙල් මුව ආදියේ පෝෂ්‍ය ගුණය මෙන්ම ඔසු ගුණයක් ද ඇත. මෑතක සිට නාගරික ප්‍රදේශවල බහුලව දුරස් වී තිබූ මෙම ආහාර වර්ග “ගමේ කෑම” ආදී නම් යොදා ගෙන කෑම සඳහා නැවතත් එළියට ඒම සුබ ලකුණකි.

 

උපදෙස් වෛද්‍ය

සුමේධ ගාමිණී

වෙත්තසිංහ

 

 

වෛද්‍ය

දේශපි‍්‍රය අභයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.