කොරෝනා නැසුමට දුම් ඇල්ලීමට මෙන්ම කැඳ හා කෂාය සඳහා යොදන අගනා ඔසුව යකිනාරං

දෙසැම්බර් 4, 2020

වර්තමානයේ අප රටේ මෙන්ම ලොව පුරා පැතිරී යන භයානක ‘කොරෝනා’ රෝගය මැඬලීමට දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද ප්‍රතිකාර රාශියක් යොදා ගනු ලබයි.

මේ අතුරින් මෙම වයිරසය මැඬලීමට මූලිකවම කරනු ලබන වේදු පෑම (දුම් ඇල්ලීම) ට සහ මෙම රෝගීන්ගේ සුවය සඳහා දෙනු ලබන දේශීය කෂාය යෝග සඳහා මෙන්ම කැඳ සඳහා ගනු ලබන වටිනා අගනා ඖෂධ ද්‍රව්‍යයක් ලෙස ‘යකිනාරං’ හැඳීන්විය හැකිය. යකිනාරං කොල ඇතුළු පංචාංගය සහ අනෙකුත් දෙහි,දොඩම් ඇතුළු පැඟිරි කුලයේ ශාකයන්ගේ කොළ, පාවට්ටා, නික, කොහොඹ ආදී වූ කොළ වර්ග රැසක් යොදා තම්බා එහි දුම් ආඝ්‍රාහණය කිරීම කොරෝනා වයිරසය අඩපණ කිරීමට බෙහෙවින් ඉවහල් වන බවට පැහැදිලි මතයකි.

 

එසේම යකිනාරං කොළ, කොත්තමල්ලි, දෙහි කොළ, අමු ඉඟුරු, ගම්මිරිස් ආදිය යොදා සකස් කළ කෂාය බීමෙන් ඉතා ඉක්මනින් කොරෝනා රෝගීන් සුව වන බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි. එසේම යකිනාරං කොළ කැඳ දීම ද මේ සඳහා ඉතා ගුණදායක බව සනාථ වී ඇත.

මේ ආදී වශයෙන් වර්තමාන මෙම භයානක ‘කොරෝනා’ උවදුර මැඬලීමට අනගි මෙහෙයක් ඉටු කරනු ලබන යකිනාරං තවත් ප්‍රයෝජන රාශියක් ලබාදෙයි.

එනම් දේශීය වෛද්‍ය ක්‍රමයේ දලු අනුපාතයක් වශයෙන්ද ප්‍රකට ‘යකිනාරං’ වල ගෙඩි සහ කොළ අතු දේශීය බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරු හරුකම් ආදියේදී ද යොදා ගනු ලබයි.

මේ අතර ‘යකිනාරං’ හැර වෙනත් සැර පැඟිරි සුවඳකින් යුතු ශාකයක් නැති බව ද බොහෝ අයගේ මතයකි.

යකිනාරං වැවෙන ප්‍රදේශ :

විදේශීය වශයෙන් :-

ඉන්දියාවේ උණුසුම් ප්‍රදේශවල සුලබව දක්නට ලැබේ.

දේශීය වශයෙන් :-

ශී‍්‍ර ලංකාවේ පහතරට ප්‍රදේශවල සාමාන්‍යයෙන් සුලබ වන අතර විශේෂයෙන් කොළඹ, කළුතර, පුත්තලම, කැකිරාව, බිබිලේ ආදී ප්‍රදේශ ආශි‍්‍රතව බහුලව දක්නට ලැබේ.

යකිනාරං ශාකයේ ස්වරූපය :

මීටර් 2 ක් පමණ උසට වැවෙන පඳුරකි. බොහෝ සෙයින් අතු බෙදී ගොස් ඇති අතර කඳේ සහ අතුවල ඉතා තියුණු කටු පිහිටා ඇත. කඳේ පොත්ත දුඹුරු පැහැයක් ගනු ලබයි. එසේම ළාබාල අතු රිකිලි ආදියේ අළු පැහැති බූවක් ඇත. පත්‍ර සමූහයක් පිහිටා ඇත. පත්‍ර සරල වන අතර ඒකාන්තරයි. පත්වල මුල රවුම් වන අතර අග්‍ර තීව්‍රරයි. මෙහි මල් හටගනු ලබන්නේ මාර්තු සිට අගෝස්තු දක්වා කාල සීමාවේදී ය. මල් සුදු පැහැවන අතර සුවඳවත්ය. පොකුරු වශයෙන් හට ගනු ලබයි. මෙහි හටගනු ලබන ගෙඩි ගෝලාකාර හෝ ඕවලාකාර වේ. එසේම මාංසල ස්වරූපයෙන් යුතුවේ. මෙහි ඇතුළත් යුෂ සහිත රේණු පිරී පවතියි. මෙම රේණු අතර බීජ රාශියක් පවතී. ගෙඩි ඉදුණු විට කහ පැහැයක් ගනු ලබයි. මෙම ගෙඩි තෙරපූ විට සුවඳවත් දියර අම්ලයක් විසිරෙයි.

යකිනාරං පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් :

පොදු සිංහල නාමය : යකිනාරං වන අතර

සංස්කෘත භාෂාවෙන් : අප්‍රකට බව දක්වා ඇති නමුත් සමහර තැන්වල ‘අටවි ජම්බීර’යනුවෙන් දක්වා ඇත.

දෙමළ භාෂාවෙන්: පෙයිකුරුන්ඩු නම් වේ.

හින්දි බසින් : ජංග්ලි නම්බු නම් වන අතර

වංග භාෂාවෙන් : ආතපි ජම්බීර යනුවෙන් හඳුන්වයි.

යකිනාරංවල උද්භිත විද්‍යාත්මක නාම :

 

Atlantia zelanica Linn Arn
Rissoa zelanica Arn
Sclerastylis zelanica wight
Sclerastylis arnotiana wight
Limonia monophylta Linn

ආදී නාමයන් රාශියක් වේ.

මෙහි කුලය RUTACEAE හෙවත් ජම්බීර කුලය වෙයි.

යකිනාරං ප්‍රභේද:

1.අටවි ජම්බීර

2.ගල් මොරටු වශයෙන් ප්‍රභේද 2 කි.

යකිනාරං වල ඖෂධීය අංග : කොළ, පොතු, මුල් ආදිය

යකිනාරංවල අඩංගු රසායනික උපාදාන :

යකිනාරං ශාකයේ පත්‍ර, ගෙඩි ආදී ඹෟෂධීය වශයෙන් යොදා ගන්නා කොටස් රසායනික විශ්ලේෂණයට පාත්‍ර කර ඇත. යකිනාරං ගෙඩිවලින් සගන්ධ තෙලක් ලැබෙන අතර එම තෙල ප්‍රති බැක්ටීරියාමය සහ ප්‍රති දිලීරමය ගුණවලින් යුතුවේ. එසේම යකිනාරං කොළ හුමාල ආසවනයට පාත්‍ර කිරීමෙන් සගන්ධ තෙලක් ගත හැක. එම සගන්ධ තෙල දුඹුරු පැහැයෙන්ද, ප්‍රසන්න සුවඳකින්ද යුතුය. යකිනාරං ශාකයෙන් ගනු ලබන යුෂ වර්ණ ගැන්වීමේ කටයුතු සඳහා යොදා ගනු ලබයි.

ඖෂධීය ගුණ කර්ම : දෝෂ අනුව සැලකීමේදී : වාතය සහ සෙම නසන ගුණ මෙහි විශේෂයෙන් පවතියි.

ප්‍රධාන කර්ම : සෙම් නසන, වාත නසන, විෂ නසන ගුණ යුතු අතර උත්තේජක සහ ආක්ෂේප නසන ගුණ යුතු වේ.

යකිනාරං අඩංගු ඖෂධ යෝග යොදන රෝග : ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම, උණ, බඩගිනි අඩුකම, අජීර්ණ, ආම අතීසාර, පක්ෂාඝාත, සන්ධිගත ඉඳීමුම්, සමේ රෝග, සර්ප විෂ, අර්දිත ආදියට අතීතයේ පටන් ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රතිශ්‍යාවට : යකිනාරං කොළ තැම්බූ වතුරින් දුම් ඇල්ලීම.

ප්‍රතිශ්‍යාවේදී සෙම් පැසවීමට : යකිනාරං කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කළ කැඳ බීම.

ආම අතීසාරයට : යකිනාරං කොළ, පොතු කොටා පුටපාක හෝ වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ බීමට දීම.

 

අර්දිත (මුඛ පක්ෂාඝාතය) රෝගයට : යකිනාරං කොළ අඹරා ගත් ප්‍රලේපය මුහුණේ ආලේපය

පක්ෂාඝාත හා අර්දිත ආදියට : යකිනාරං ගෙඩිවලින් ලබාගත් තෙල ආලේප කිරීම.

සර්ප විෂට : යකිනාරං කොළ, සහිඳලුණු සමඟ කොටා රත්කර ගත් ප්‍රලේපය දෂ්ඨ මුඛයේ ආලේපය

මේ ආදී ඖෂධ යෝග රාශියක් යකිනාරං වල ඖෂධ අංග අඩංගුව පවතී.

මේ අතර යකිනාරං කොළ යුෂ : පීනස, ශ්වාස නාල ප්‍රදාහය සහ පපුවේ ආබාධ සඳහා යොදනු ලබන ඖෂධ සඳහා ගනු ලබන අතර

යකිනාරං ගෙඩිවලින් ගන්නා සගන්ධ තෙල : අසාධ්‍ය රුමැටිසියා පක්ෂාඝාතයට ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබයි.

තවද යකිනාරං ගෙඩියේ යුෂ පිත සමනයට යෝග්‍යය වන අතර යකිනාරං කොළවලින් ගනු ලබන නිස්සාරක කැසීම් සහ වෙනත් සමේ රෝග සඳහා ගනු ලබයි.

යකිනාරං අඩංගු කෂාය යෝග :

1.යකිනාරං මුල්, තුඹුරු මුල්, පාවට්ටා මුල්, එළබටු මුල්, කුප්පමේනිය මුල්, කටුවැල්බටු කෂාය තිප්පිලි කුඩු දමා වැඩිහිටි අයගේ ඇදුම රෝගයට යොදයි.

2.යකිනාරං, පාවට්ටා, දෙහි, ඔළිඳ, කුප්පමේනිය, රණවරා මුල්, ගොටුදඬු, රතුලූනු, වලඟසාල් කෂාය තිප්පිලි කුඩු දමා ළමයින්ගේ ඇදුම රෝගයට යොදයි.

එසේම

3.අමු ඉඟුරු, කොත්තමල්ලි, ගම්මිරිස්, දෙහිකොළ, යකිනාරං කොළ ආදිය අඩංගු කෂාය යෝගය කොරෝනා රෝගීන්ට ඉක්මන් සුව ගෙන දෙන බව කියනු ලබයි.

මෙයට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදෙන දලු අනුපාත සඳහා ද යකිනාරං කොළ, පොතු ආදිය යොදා ගනියි. මෙහිදී චන්ද්‍ර කල්කය සමඟ යෙදෙන මහදලු අනුපාතයට යකිනාරං දලු අයත් වන අතර බුද්ධරාජ කල්කය සමඟ යෙදෙන “කැසිද ඇම්ම” ආදී අනුපාතයේ “යකු” සඳහා පැරණි වෛද්‍යවරු යකිනාරං යොදා ගෙන ඇත.

මෙවන්වූ ඖෂධ යෝග රාශියකට අත්‍යවශ්‍යම ඖෂධ ද්‍රව්‍යයක් ලෙස “යකිනාරං” හැඳීන්විය හැක.

එසේම දුම් ඇල්ලීමට යකිනාරං කොළ හා පංචාංගයම බෙහෙවින් යොදා ගනියි. වර්තමානයේ ‘කොරෝනා’උවදුර වැළැක්වීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යෙදෙන දුම් ඇල්ලීම් (වේදු පෑම) සඳහා ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ ‘යකිනාරං කොළ’ වෙයි. මෙමගින් එම වයිරසය අඩපන කිරීමට බෙහෙවින් උපකාරී වන බව ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.

මේ ආදී වශයෙන් ඉතා අගනා වටිනා එසේම වර්තමානයේ අතිශයින්ම ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස ‘යකිනාරං’ හැඳීන්විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.