ඔසප් චක්‍රය අක්‍රමවත් වීම රෝගයක ලක්ෂණයක්

දෙසැම්බර් 20, 2024

ගැහැනු දරුවෙකු වයසෙන් වර්ධනය වීමත් සමඟ ගර්භාෂයේ දරුවෙකු දැරීමේ හැකියාව සහ ඩිම්බ මෝචනය යන ක්‍රියාවලි සඳහා ශරීරය පරිණත වීමෙන් පසුව ඔසප් චක්‍රය ආරම්භ වීම සිදුවනවා. පළමු වරට සිදුවන ඔසප් වීම මල්වර වීම ලෙසද හඳුන්වනවා.එතැන් සිට ආරම්භ වන ඔසප් වීම සෑම දින 27-30කට වරක්ම ආර්ථවහරණය සිදුවන තෙක්ම ස්ත්‍රියකට සිදුවනවා.

සමහර විටකදී ඔසප් වීමේ ක්‍රියාවලිය අදාළ දිනයන්ට සිදු නොවීමට හැකියාව පවතින අතර මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නට පුළුවන්. එහෙත් එක දිගට ඔසප් චක්‍ර තුනකට හෝ හතරකට වැඩි ප්‍රමාණයක් අක්‍රමවත්ව සිදුවීම ගැටලුවක් ලෙස සලකන්නට පුළුවන්.

ක්‍රමවත් ඔසප් චක්‍රයක් සිදුවීම මඟින් ස්ත්‍රියකගේ ශරීරය ක්‍රියාකාරීත්වය පිළිබඳව පහත සඳහන් කරුණු අවධාරණය කරගන්නට පුළුවන්

සිරුරේ හෝමෝන මට්ටම නිවැරදිව පැවතීම.

ගර්භාෂයේ දරුවන් දැරීමේ හැකියාව නිවැරදිව පැවතීම.

නිවැරදිව ඩිම්බ මෝචනය සිදුවීම සහ ඩිම්බ පරිණත වීම.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් තොර වීම.

ඔසප් චක්‍රය වෙනස් වීම ආකාර කිහිපයක් පවතිනවා

ඒAmenorrhea හෙවත් මාස කිහිපයක් එක දිගට ඔසප් නොවීම. බොහෝ විට තරබාරු බව, වැරදි ආහාර රටාව සහ හෝමෝන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු නිසා මේ තත්ත්වය ඇති වන්නට පුළුවන් .

Oligomenorreha   හෙවත් දින 35කට වඩා වැඩි කාලයකින් පසුව ඔසප් වීම. මේ සඳහා සිරුරේ හෝමෝන අසමතුලිතතා සහ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග හේතු වනවා.

Menorrhagia  හෙවත් ඔසප් වීමේදී විශාල වශයෙන් රුධිරය පිට වීම. ගර්භාශයේ ඇතිවන Fibroid  තත්ත්වය, තයිරොක්සින් හෝමෝනය සහ අනෙකුත් හෝමෝන අසමතුලිතතා, රුධිර කැටිගැසීමේ ගැටලු, අක්මාව සහ වකුගඩු ආශ්‍රිත ගැටලු හේතු වන්නට පුළුවන්. ඊට අමතරව ආසාදන තත්ත්වද මේ සඳහා හේතු වෙනවා.

Dysmenorrhea  හෙවත් ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාව සහ Muscle Spasms නිසා ඇතිවන බඩ කොර වීමේ ස්වභාවය. මෙය වඩාත්ම සුලබ ඔසප් අක්‍රමිකතාවක් ලෙස සලකන්නට පුළුවන් .වෙනත් රෝග තත්වයක් නිසා හෝ කිසිදු රෝගයක් නොමැතිව වුවද මෙය ඇතිවනවා.

Premenstrual Syndrome (PMS)  හෙවත් ඔසප් වීමට සති දෙකකට පමණ කලින් සිට ඇතිවන කායික සහ මානසික අපහසුතාවය. මෙය කිසි හේතුවක් නොමැතිව සිදුවන තත්ත්වයක් .

Premenstrual Dystrophic Disorder (PMDD) ඉහතින් සඳහන් කරන ලද PMS තත්ත්වය වඩා උග්‍රවන අතර මෙය මානසික දුබලතාවක් ලෙස සලකනව.

Metrorrhagia හෙවත් ඔසප් චක්‍ර දෙකක් අතරදී ඇතිවන අමතර රුධිර වහනයන් සිදු වීම. මෙය බොහෝ විට ගර්භාශයේ රෝග නිසා ඇති වෙන්නට පුළුවන් .

Hypomenorrhea හෙවත් අඩු හෝ සුළු වශයෙන් ඔසප් වීම.

ලොව පුරා සිටින කාන්තාවන් සැලකීමේදී ඔසප් චක්‍රයේ ගැටලුට වර්තමානය වන විට වැඩි වශයෙන් පැතිරීමක් සිදුවනවා. දරුවන් සෑදිය හැකි වයසේ පසුවන කාන්තාවන්ගෙන් 30-70% අතර ප්‍රමාණයක් ලෝක ජනගහනය ඔසප් චක්‍රයේ ගැටලුවෙන් පීඩා විඳීනවා. ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාව හෙවත් Dysmenorrhea  තත්ත්වයෙන් කාන්තාවන් 50% ප්‍රමාණයක් පීඩා විදින අතර නව යොවුන් වියේ සහ තරුණ වියේ පසුවන ගැහැනු දරුවන්ගෙන් 90% පමණ මේ තත්වයෙන් පීඩා විඳීනවා. ලෝක ජනගහනයෙන් කාන්තාවන් 19% ආසන්න ප්‍රමාණයක් ඔසප් වීමේදී අධික වශයෙන් රුධිර වහනය වීමෙන් පීඩාවට පත්ව තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන් සැලකීමේදී 9% කට ආසන්න ප්‍රමාණයක් Premenstrual Syndrome  තත්ත්වයෙන් පීඩා විඳීනවා.ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇතිවන මේ ගැටලුවලට බලපාන හේතු ලෙස,

කාන්තා සිරුරේ හෝමෝන ක්‍රියාවලිය ආශ්‍රිතව ඇතිවන ගැටලු

අධික ලුණු සහිත, අධික කැෆේන් සහිත, සංතෘප්ත මේදය සහිත සකස් කළ ආහාර ලබා ගැනීම.

විවිධ හේතු නිසා ඇතිවන දීර්ඝ කාලීනව පවතින මානසික පීඩන තත්ත්වය. ගර්භාෂයට සහ ඩිම්භ කෝෂවලට වැලඳෙන Fibroids, Endometrosis, Ovarian cysts  සහ Polycystic Ovary Syndrome වැඩි රෝගී තත්ත්වයන්.

ආහාර රටාවේ ඇතිවන වෙනස්කම්.

පාලනය නොවන දියවැඩියා තත්වය.

තයිරොක්සින් හෝමෝනය ආශ්‍රිත ගැටලු .

වැනි කාරණා විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා.

ප්‍රතිකාර

ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලුවලදී බොහෝ විට සැනසුමක් ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස දේශීය පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය දක්වන්නට පුළුවන්. එහෙත් මෙහිදී ඔසප් චක්‍රයේ වෙනස්වීමට අදාළ වන රෝගය නිවැරදිව හඳුනාගත යුතු වෙනවා. මීට හේතු වන්නේ ඔසප් චක්‍රයේ ඉහතින් දක්වා තිබෙන අක්‍රමිකතාවයන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට වැලඳීය හැකි විවිධ ප්‍රාථමික රෝග නිසා හට ගැනීමේ හැකියාව පැවතීමයි. අදාළ රෝගය නිවැරදිව හඳුනා ගැනීම මඟින් රෝග ලක්ෂණයක් ලෙස පවතින ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවය නිවැරදි කිරීම ක්‍රියාකාරව සිදු කිරීමේ හැකියාව ලැබෙනවා. කිසිදු ප්‍රාථමික රෝගයක් හේතුකොට නොගෙන ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවලදී රෝග ලක්ෂණ පාලනය කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරනවා. මෙහිදී පාරම්පරික දේශීය ආහාර වට්ටෝරු, පාරම්පරික දේශීය කැඳ වර්ග, කසාය සහ විවිධ අරිෂ්ට සහ ආසව වර්ග ප්‍රතිකාර ලෙස භාවිත කරනවා. මීට අමතරව උදරය සහ යටිබඩ ආශ්‍රිතව ගර්භාෂයේ සහ ඩිම්බකෝෂවල සෞඛ්‍යමත්භාවය වැඩිදියුණු කිරීම සඳහා සිදුකරනු ලබන පාරම්පරික තැවුම් සහ තෛල ප්‍රතිකාරද යොදාගන්නට පුළුවන්. මේ ප්‍රතිකාර සමඟ චීන කටු වෛද්‍ය ප්‍රතිකාරයද භාවිත කිරීම මගින් වඩා ඉක්මන් සුවයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. එහෙත් ප්‍රතිකාර සිදුකරන සම්පූර්ණ කාලය තුළදීම වෛද්‍ය උපදෙස් අනුව යමින් යම් යම් ආහාර සහ පාන වර්ගවලින් වැළකීම, ප්‍රමාණවත් පරිදි නින්ද ලබා ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ව්‍යායාම සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුමයි .

ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු වළක්වා ගැනීම සඳහා පහත සෞඛ්‍ය පුරුදු භාවිත කරන්න

කෘතිම ආහාරවලින් බැහැර වූ ස්වභාවික ආහාර රටාවකට හුරුවන්න.

ස්වභාවික ආහාර රටාවත් සමඟ ශරීරයට අවශ්‍ය කාබෝ හයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන් සහ මේද නිසි ආකාරයෙන් අඩංගු වන සමබල ආහාර වේලක් ලබාගන්න.

එම ආහාර වේල මඟින් ශරීරයට අවශ්‍ය වන විටමින් සහ ඛනිජ ප්‍රමාණවත් පරිදි නොලැබෙන අවස්ථාවලදී පෝෂණ අතිරේක ලෙස හෝ ඒවා ලබා ගැනීමට උත්සාහ කරන්න.

ඔබ මානසික ආතතියෙන් පීඩා විඳීන පුද්ගලයකු නම් එය වළක්වා ගැනීමට අවශ්‍ය උපදේශන හෝ ප්‍රතිකාරවලට යොමු වන්න.

සිරුරේ බර පාලනය කරගන්න

දිනකට මිනිත්තු 30ක් පමණවත් දිනපතා ව්‍යායාම්වල යෙදෙන්න.

කය සහ මනස සන්සුන් කර ගැනීම සඳහා යෝග අභ්‍යාසවල නිරත වන්න.

ප්‍රමාණවත් පරිදි නින්දක් ලබාගන්න.

පිටි, සීනි, තෙල් සහ ලුණු අධික ආහාරවලින් හැකිතාක් ඈත් වන්න.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.