කුරුලෑ නිසා මුහුණ එපා වෙලාද?

නොවැම්බර් 15, 2024

මුහුණේ කුරුලෑ ඇතිවීම සහ කුරුලෑ ආශ්‍රිත වෙනත් රෝගාබාධයන් ඇතිවීමෙන් ලෝක ජනගහනයෙන් 20.5% පමණ පීඩා විඳීන බව නවතම සොයාගැනීම් දක්වා තිබෙනවා. මුහුණේ අනවශ්‍ය පරිදි කුරුලෑ හට ගැනීම ගැහැණු පිරිමි භේදයකින් තොරව ඔබගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය අඩු කිරීමටත් සමාජයෙන් ඔබව මදක් ඈත් කර තැබීමටත් හේතුවනවා ඇති.

මෙය බොහෝ දෙනෙකුට මානසික ප්‍රශ්නයක් වෙනවා මෙන්ම කුමන අන්දමේ ප්‍රතිකාර කළද සමහර අවස්ථාවලදී පූර්ණ සුවයක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. මෑතකදී කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ පර්යේෂණයක් මඟින් යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ගෙන් 91%ට වැඩි ප්‍රමාණයක් කල්ගත වූ කුරුලෑ තත්ත්වය හෙවත් Acne Valguris නම් රෝගයෙන් පීඩා විඳීන බව සොයාගෙන තිබෙනවා. මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අනවශ්‍ය පරිදි නිෂ්පාදන සමෙහි භාවිත කිරීම ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ Acne Valguris රෝග තත්වයේදී මුහුණෙහි, පිටෙහි සහ කොන්දේ පවතින රෝම කූප ආසාදනයකට ලක්වීම සිදුවනවා.

රෝගය ඇතිවීමට හේතු

අනවශ්‍ය පරිදි තද වූ හිස් පළඳනා, හිස් වැසුම්, කන්නාඩි, ඇඳුම් සහ ගමන් මලු පැල¼දීම.

අනවශ්‍ය පරිදි නැවත නැවත සබන් සහ ඩිටර්ජන්ට් වර්ග සමේ සහ මුහුණේ ඇතිල්ලීම.

අධික සීනි සහිත ආහාර සහ සමහර අවස්ථාවලදී එළ කිරි පරිභෝජනය කිරීමද කුරුලෑ ඇති වීමට හේතු වේ.

ජානමය බලපෑම මතද කුරුලෑ ඇතිවිය හැකිය.

රෝම කූප තද වීමට හේතුවන රූපලාවණ්‍ය ආලේපන, මොයිස්චරයිසර්ස් සහ සන් ක්‍රීම් වර්ග භාවිත කිරීම.

කෝටිකෝස්ටෙරොයිඩ්, ඇනබොලික් ස්ටෙරොයිඩ් සහ වලිප්පුව සඳහා ලබාදෙන ඖෂධ භාවිත කිරීම .

නව යොවුන් වියට පැමිණීම, ගර්භිණී භාවය, දරුවන් ප්‍රසූත කිරීම, ඔසප් වීම සහ උපත් පාලන ඖෂධ වැනි හේතු නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතා.

රෝම කූපවල ඇතිවන බැක්ටීරියා අසාදන

සමෙහි තෙල් ස්වභාවය වැඩි වීම.

කුරුලෑ ප්‍රභේද වර්ග

මේ රෝගී තත්ත්වයේදී ඇතිවන කුරුලෑ සහ තුවාල ප්‍රධාන ප්‍රභේද දෙකකට වෙන්කර දක්වන්නට පුළුවන්. ඒ ප්‍රදාහයික සහ ප්‍රදාහයික නොවන ලෙසයි.

ප්‍රදාහයික නොවන ආකාරය සැලකීමේදී ගැටිති ඇතිවීම සිදුවන අතර මේ ගැටිති Black Heads    සහ White Heads ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර දක්වන්නටද පුළුවන්.Black Heads නම් ගැටිති ඇතිවීම සිදුවන්නේ සමෙහි පවතින අනවශ්‍ය තෙල් මැරුණු සෛල රෝම කූප අවහිර කිරීමෙනි. මෙය සුළු කුරුලෑ තත්ත්වයක් ලෙස සලකන අතර මුහුණේ, බෙල්ලේ, අත්වල, පපුවේ සහ උරහිස්වල ඇතිවීමේ හැකියාව පවතිනවා. මේවා ඇතිවීමේදී සම විවෘතව පවතින නිසා ඉක්මනින්ම ප්‍රතිකාර කිරීම සහ ඉවත් කිරීම සිදු කරන්නට පුළුවන්.White Heads ලෙස හඳුන්වන අනෙක් ප්‍රදාහයික නොවන කුරුලෑ තත්ත්වයේදී සමෙහි පවතින අනවශ්‍ය මේදය, මැරුණු සෛල සහ සමහර අවස්ථාවලදී බැක්ටීරියා වැනි විෂබීජ රෝම කූප සම්බන්ධ වී තිබෙන කුහරය සිරකිරීම සිදුවෙනවා. එමෙන්ම මේවා සමෙන් ආවරණය වී පවතිනවා. මේවා ද ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකි නමුත් මුහුණ, නිකට සහ නාසය ආශ්‍රිතව වැඩි වශයෙන් ඇතිවන්නට පුළුවන්.

ප්‍රදාහයික කුරුලෑ තත්ත්වය අනු කොටස් හතරකට වෙන්කොට දක්වන්නට පුළුවන් .

 

Papules ආකාරය

බැක්ටීරියා, සමෙහි ඇති අනවශ්‍ය තෙල් සහ හෝමෝනවල අනවශ්‍ය ක්‍රියාකාරීත්වය නිසා සමයෙහි ප්‍රදාහයික තත්ත්වය ඇතිවෙනවා. මේ නිසා ඉදිමීම, රතුවීම, සමේ උෂ්ණත්වය වැඩිවීම සහ වේදනාව ඇතිවන්නට පුළුවන්. මේ වර්ගයේ කුරුලෑ සම මතුපිට පවතින කුඩා රෝස පැහැති බිබිලි ලෙස දකින්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් ඉතා කුඩා වන මේවායේ ඇතුළෙහි සැරව හෝ වෙනත් කිසිදු දියරයක් පිරී පවතින්නේ නෑ.

 

Pustules ආකාරය

ප්‍රදාහයික තත්ත්වය නිසා ඇතිවන මේ කුරුලෑ තත්ත්වය සැරව හෝ වෙනත් දියරයක් පිරී පවතින කුඩා බිබිලි ලෙස සම මතුපිට දැකගන්නට පුළුවන්. මේවා රතු පැහැති මාධ්‍යක් සහිත සුදු පැහැති බිබිලි ලෙස ශරීරයේ ඕනෑම තැනක හටගන්නට පුළුවන්. එහෙත් විශේෂයෙන්ම උරහිස, පපුව, පිට, මුහුණ, බෙල්ල, අත් යට, කලවේ සහ හිසෙහි කොණ්ඩය ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්.

 

Nodules ආකාරය

මෙය ප්‍රදාහයික කුරුලෑ තත්වවලින් මඳක් උත්සන්න වූ තත්ත්වයක් ලෙස දක්වන්නට පුළුවන්. Black Heads හෝ White Heads යන ආකාර සමඟ මෙය ඇතිවිය හැකි අතර ඒවායේ සිට සම ඇතුළතට ප්‍රදාහයික තත්ත්වය විහිදීම සිදුවනවා. එමෙන්ම Black Heads සහ White Heads ආශ්‍රිතව ඉදිමීමේ තත්ත්වයක්ද දැකගන්නට පුළුවන්.

 

Cysts ආකාරය

කුරුලෑවලින් දරුණුතම ආකාරය වන්නේ මෙයයි. තෙල් සහිත සමක් සහිත පුද්ගලයන් වයස් භේදයකින් තොරව මේ රෝගී තත්ත්වයට ගොදුරු වන්නට පුළුවන්. සුදු හෝ රතු පැහැති සැරව පිරුණු විශාල බිබිලි ලෙස මේවා දැක ගන්නට පුළුවන්. එම බිබිලිවලට යටින් සමෙහි ඇතුළටද මේවා විහිදෙනවා. වේදනාකාරී වන බිබිලි නිසා පසුකාලීනව සමයෙහි ලප කැළැල් ඇති වන්නටද පුළුවන්. මේ ලප කැළැල් කාලයත් සමඟ මැකී නොයාමේ හැකියාවද පවතිනවා. ඒවාද ශරීරයෙහි ඕනෑම තැනක පැතිරෙන්නට පුළුවන්.

 

ප්‍රතිකාර

පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් පහසුවෙන් සුවපත් කළ හැකි රෝගයක් ලෙස මේ තත්ත්වය දක්වන්නට පුළුවන්. ඔබට පීඩා ගෙන දෙන කුරුලෑ ප්‍රභේදය නිවැරැදිව හඳුනාගැනීමෙන් පසුව අප විසින් භාවිත කරන පාරම්පරික ඖෂධ සහ පෝෂණ අතිරේකත්, මුහුණේ ගල්වන ආලේපනත්, චීන කටු වෛද්‍ය ක්‍රමයත් ඒකාබද්ධ කොටගෙන සිදුකරන විශේෂ ප්‍රතිකර්ම ක්‍රමවේදය මඟින් සුව කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය තුළදී උපදෙස් ලබාදෙන පරිදි ආහාර පාලනය කිරීම, පුද්ගල පිරිසුදුභාවය තබා ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ව්‍යායාම සිදු කිරීම ඉතාම වැදගත්. මේ විශේෂ ප්‍රතිකර්ම ක්‍රමය ශ්‍රී ලංකාව තුළ පමණක් ඇති ක්‍රමවේදයක් වන අතර සමෙහි ලප කැළැල්වලින් තොරව ඕනෑම කුරුලෑ තත්වයක් වයස් භේදයකින් තොරව පාලනය කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

 

කුරුලෑ වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර

මානසික ආතතිය සහ මානසික පීඩනය අඩු කර ගැනීමට කටයුතු කරන්න.

නිවැරදිව මූණ සේදීම සහ මුහුණේ පිරිසුදුභාවය පවත්වා ගැනීමට කටයුතු කරන්න.

ඇඟිලි භාවිතයෙන් කුරුලා කැඩීම සහ පිපිරවීම වළක්වන්න.

කුරුලෑ තත්ත්වයක් හටගෙන තිබේ නම් නිතර නිතර එම ප්‍රදේශයන් ඇඟිලිවලින් ස්පර්ශ කිරීම නවත්වන්න.

සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ලබා ගැනීමට සෑම විටම උත්සාහ කරන්න.

අධික සීනි සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සිදුකරන්න.

ඔබගේ මූණට නිතර නිතර රූපලාවණ්‍ය ප්‍රතිකාර සිදුකිරීම, ආලේපන වර්ග භාවිත කිරීම සහ හිරු එළියට අනවශ්‍ය පරිදි නිරාවරණය වීම වළක්වා ගන්න.

දිනකට මිනිත්තු 30ක් වත් ව්‍යායාම කරන්න.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.