රස්නය වැඩියි පරෙස්සම් වන්න!

මාර්තු 15, 2024

 

එය 2015 වසරේ ගිනි ගහන මධ්‍යාහ්නයකි. මම කොළඹ නුවර පාර ඔස්සේ ගම්පහ බලා යමින් සිටියෙමි. කිරිල්ලවල ආසන්නයේදී, ලංගම බස් රථයක් මා පැදවූ වාහනයේ ගාවා ගෙන ඉස්සර කිරීම නිසා වාහන දෙකම ගිනි අව්වේ නවත්වා ගන්නට සිදු විය. එකී ගිනි අව්වේ කර කුට්ටම් වෙමින් තීන්දුවකට ඒම සඳහා සුපුරුදු පරිදි පැයක් පමණ වාද විවාද කළෙමි.

ත්‍රිකුණාමල ඩිපෝවට අයත් බස් රථයේ සිංහල නොදන්නා සේවකයන් දෙදෙනා සහ ඔවුන්ගේ පැත්තට කතා කළ මගීන් සමඟ ද තනිවම කට ගසා ගත්තෙමි. ඒ හේතුකොටගෙන මානසිකව ද, ගිනි අව්වේ පිච්චීමෙන් කායිකවද හෙම්බත් වූවෙමි. අවසානයේදී මම කඩවත පොලිසිය වෙත යන්නට මෝටර් රථයට ගොඩ වුණෙමි. පැයක් පමණ උණුසුම් තාර පාර මැද්දේ ගිණි අව්වේ තිබූ රථය පිටතට වඩා කීප ගුණයකින් උණුසුම්ව තිබූ අතර මා එය කඩවත පොලිසිය වෙත පදවාගෙන ආවේ දැඩි අපහසුවෙනි.

ඉක්බිති එහි ට්‍රැෆික් පොලිස් නිලධාරි මහතා අසල තවත් පැයකට ආසන්න කාලයක් හිටිවනම බලා සිටියේ හරි හමන් සිහියක් පතක් ඇතිව නොවේ. තවත් මොහොතකින් බිම ඇද වැටුණු මා සුවසැරිය ගිලන් රියකින් රාගම රෝහලට ඇතුළත් කරන ලදුව ආපසු යාමට හැකි වූයේ දින දෙකකට පසුවය.

ඉන් අට වසරකට පසු පසුගිය දිනක ආර්යුවේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා සමඟ මේ දරාගත නොහැකි පෑවිල්ල ගැන කතා කිරීමේදී ඒ මහතා පෙන්වා දුන්නේ මා තාප ආඝාතයට ගොදුරු වන්නට ඇති බවය. ඔහු පෙන්වා දෙන පරිදි මේ අයුරින් තාපයට නිරාවරණය වීම නිසා හෝ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා ඇතිවිය හැකි බරපතළම තත්ත්වය නම් පුද්ගලයා තාප ආඝාත (HEAT STROKE )  තත්ත්වයට පත්වීමය. ඒ පිළිබඳ වෛද්‍යවරයන්ගෙන් පැවැසු කරුණු සුබසෙත පාඨක සුවසෙත සඳහා මෙසේ ගෙනහැර දක්වමි.

මේ තාප ආඝාත තත්ත්වයේ ස්වභාවය කොයි ආකාරද?

තාප විඩාව සහ තාප ආඝාතය ඇතිවන්නේ සිරුර අධික ලෙස තාපයට නිරාවරණවීම නිසා. එය දැන ගත හැකි ක්‍රම කීපයක් තිබෙනවා. ඉන් එකක් වන්නේ එවැනි තැනැත්තෙකුගේ ගුද මාර්ගයෙහි තබන ලද උෂ්ණත්වමානයකින් ගන්නා ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104 හෝ ඊට වැඩිවී තිබීමයි. එමෙන්ම මිරිඟුව පෙනීම වැනි මායා දර්ශන දකින බව පැවසීමත්, එම පුද්ගලයා ව්‍යාකූල ස්වභාවයකින් කටයුතු කිරීමත්, අපට දැක ගන්නට ලැබෙනවා. මේ හැරුණු කල ඇවිදීමට, සහ යමක් අල්ලා ගැනීමට ඇති අපහසු බව අපට දක්නට ලැබෙනවා. සම මත අධික උණුසුමක් දැනෙන අතර, එහි රතු පැහැය වැඩි වෙනවා. වමනය සහ පාචනයත් සමඟ, මාංශ පේශිවල වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. පොදු ලක්ෂණයක් ලෙස දැඩි හිස රුදාවක් ඇති විය හැකියි. මේ සියල්ලටම පළමු රෝගී ස්වභාවයට ලක්වන පුද්ගලයා ක්ලාන්තවීමට ලක්වන්නට පුළුවන්. ඒ වගේම, හෘද ස්පන්ධන වේගය වැඩිවීම, සහ වේගවත් ලෙස හුස්ම ගැනීම යන සාධකද මේ තාප ආඝාත තත්ත්වය තුළ දැකිය හැකියි.

මේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයකු අරබයා කටයුතු කළ යුතු ආකාරය කෙසේද?

මෙම රෝග ලක්ෂණ තිබේ නම් එය උග්‍ර වීමෙන් මොළයට සහ අනෙක් ඉන්ද්‍රියන්ට හානි වීමට ඇති ඉඩ කඩ වැඩියි. එබැවින් ඒ පුද්ගලයා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි කළ යුතු වන්නේ.

මෙවැනි තත්වයක් ඇතිවීමෙන් වැළකීමට, එනම් මේ පෑවිල්ලට මුහුණ දීමට අප මූලික වශයෙන් අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියා මාර්ගයක්ද?

ඒ පිළිබඳව මූළික වශයෙන් අනුගමනය කළ යුතු ප්‍රධාන කාරණා දහයක් පමණ තිබෙනවා. ඒ උපදෙස් නිවැරදිව අනුගමනය කරන්නේ නම් අපට මේ රස්නය ජය ගැනීම එතරම් අභියෝගයක් නොවන බවයි මගේ පෞද්ගලික අදහස වන්නේ. ඒ අතරින් අපගේ අවධානය යොමු විය යුතු ඊළඟ වැදගත් කාරණය වන්නේ අධික පරිසර උෂ්ණත්වය හේතුකොටගෙන පොදුවේ මිනිස් සංහතියේම මානසික ආවේගවලට කරනු ලබන බලපෑමයි.

එය කොයි ආකාර බලපෑමක්ද?

එය අද වන විට මුළු ලෝකයේම ජීවවිද්‍යාඥයන් සහ මනෝවිද්‍යාඥයන් විසින් අවධානය යොමු කොට ඇති කරුණක්. අධික උණුසුම නිසා ශාරීරික ඉන්ද්‍රියන්ගේ පමණක් නොව මානසික ආවේගවලද බරපතළ වෙනස්කම් ඇතිවිය හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. මේ තත්ත්වය මිනිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට මෙන්ම, මාරක රිය අනතුරුවලට හේතුවක් වන බවත් වාර්තා වී තිබෙනවා. උණුසුම් කාල පරාසයන් තුළ මෙන්ම ලෝකයේ උණුසුම් කලාපයන් තුළ ද සාමාන්‍යයෙන් අපරාධ වැඩි බව පෙනෙන්නට ඇති කාරණයක්. පළිගැනීම, කෝපය, වැනි ද්වේෂකාරී සිතුවිලි ඇතිවිය හැකි අතර, ස්වභාවයෙන්ම එවැනි මානසික තත්ත්වයන්ගෙන් පසුවන්නන් තුළ මේ හැඟීම්වල සීඝ්‍ර වර්ධනයක් ඇතිවිය හැකියි.

දැඩි උණුසුම විසින් ඇති කරනු ලබන මෙවැනි මානසික ආවේගයන් සමනය කර ගැනීමට ඔබ යෝජනා කරන්නේ කවර ක්‍රියා මාර්ගයක්ද?

වර්තමානයේ ඇති වී තිබෙන සමාජ සංස්කෘතික ගැටලු හමුවේ මෙය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. නමුත් අපට උපතින්ම ආගමික වශයෙන් හිමිවී ඇති හික්මීම සහ ඒවා තුළ අඩංගු කරුණාව මෛත්‍රිය වැනි හදවතට සිසිලසක් දෙන කාරණා වඩාත් ජීවිතයට සමීප කර ගැනීමෙන් මේ තත්ත්වය මැනවින් කළමනාකරණය කර ගත හැකි යයි මා සිතනවා.

අප දැඩි උණුසුමින් ගත පමණක් නිවා දමන ක්‍රමවේදවලින් නොනැවතී සිත නිවා දමන ක්‍රමවේදයන් කරාද යොමු විය යුතුයි. එසේ නොකළහොත් අප තුළ වූ මානසික නුරුස්නා ස්වභාවය, නොඉවසිලිමත්භාවය සහ නොසන්සුන්කම වඩාත් තීව්‍රර විය හැකියි. එබැවින් ආවේගකාරී සිතුවිලි වර්ධනය විය හැකි කාරණාවලින් හැකිතාක් ඈත් වීය යුතුයි. එපමණක් නොවෙයි එවැනි හැඟීම්වලට අනුබල දෙන චිත්‍රපට, ටෙලි නාට්‍යය ආදිය නැරඹීමෙන්ද වැළකිය යුතු බවයි අපගේ අදහස වන්නේ.

ජීව විද්‍යාත්මක වශයෙන් මෙහි හානිය පටන් ගන්නේ කොහොමද?

අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරේ තරල සහ ජලීය පදාර්ථ ස්වාභාවය අඩුවීමෙන් මේ සෞඛ්‍ය හානිවීම පටන් ගන්නවා. ඒ වගේම අපි වැඩි දෙනෙකු දන්නා පරිදි හිරු එළියේ ඇති පාර ජම්බුලකිරණවලට නිරාවරණට වීමේ අවදානමද අඩුවෙන් තක්සේරු කරන්නට බැහැ. නමුත් මෙවැනි උණුසුම් පාරිසරික තත්ත්වයන්ට මුහුණදීම සඳහා වැඩියෙන් දහදිය දමා සිරුර තුළ උණුසුම පාලනය කිරීමේ ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක් සිරුර තුළ ක්‍රියාත්මක වෙනවා.

පොදුවේ අප කළ යුත්තේ කුමක්ද?

පිපාසය තිබුණත් නැතත් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි. නමුත් මේ සඳහා කෘතිම පානවලින් වැළකී ජලය හෝ කුරුම්බා, තැඹිලි, මෝරු ආදිය පානය කිරීමත්, කොමඩු, පිපිඤ්ඤා වැනිදෑ ආහාරයට ගැනීමත් ඉතා සුදුසු බවයි කිව යුතු වන්නේ. දිනකට කීප වතාවක් ස්නානය කිරීමත් සුදුසුයි. නමුත් මුහුදේ නෑමේදී වැඩි වේලාවක් සිටීම සිරුරට අහිතකරයි. එමෙන්ම ගන්නා ආහාර හැකිතාක් සිසිල් ගුණ සහිත ඒවා විය යුතුයි. එවැනි ආහාර මෙන්ම පළතුරුද මේ සඳහා ප්‍රධාන වන නමුත් ලුණු ඇඹුල් අධික කටුක රසයෙන් යුත් ආහාරවලින් වැළකීම වැදගත්.

මේ තත්වයට මුහුණ දීම සඳහා ලොව පුරා විද්‍යාඥයින් විසින් නිර්දේශ කරන ලද කරුණු කීපයක් පිළිබඳව ඔබ සිහිපත් කළා. ඒ මොනවාද?

ඇත්තෙන්ම මේවා බොහෝ දුරට දියුණු රටවල සංස්කෘතියට ගැළපෙන අයුරින් නිර්දේශිත කරුණු. නමුත්, අප රටෙහි ජීවන ක්‍රමයට ගැළපෙන ආකාරයට ඒවා අනුගමනය කිරීම අසීරු කරුණක් නොවන බව පැහැදිලියි. අපට ඒවා මේ ආකාරයට එකින් එක පෙන්වා දෙන්න පුළුවන්.

විජලනය

පළමුවෙන් ඔබ විජලනය වීමෙන් වැළකිය යුතුයි ඔබ ව්‍යායාම කරන්නෙක් නම් හෝ ශරීරය වෙහෙසවන වැඩක යෙදී සිටින්නෙක් නම් නිරෝගී ශරීර උෂ්ණත්වයක් පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා විජලනයෙන් වැළකීම ඉතා වැදගත්. ඔබ ශරීරය වෙහෙසවන වැඩවල යෙදෙනවා නම් පෙර දින සිට ජලය හෝ ස්වාභාවික බීම වර්ග පානය කරන්න. සිරුරේ සීනි හෝ ලුනු අඩුවිය හැකි යයි සිතෙනවා නම් සීනි හෝ ලුණු අඩංගු පානයක් ළඟ තබා ගන්න. උණුසුමට පුරුදු වීමත් වැදගත් මෙය ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. වායු සමීකරණය කළ පරිසරයක ගත කරන්නෙකු හදිසියේ එළියට පැමිණ එක්වරම ඊට පුරුදු වෙන්නට බැහැ. අපේ ශරීරය එක්වරම එවැනි වෙනස් වීමකට සූදානම් නැහැ. ඔබ පළමුව සම්මත කාමර උෂ්ණත්වට එනම් සෙන්ටිග්‍රේඩ් අංශක 27 පමණ හුරු වන්න. ජනෙල් දොරවල් විවෘත කරන්න. වායු සමීකරණය නවතා විදුලි පංකාවලට හුරු වන්න. ඔබේ නිවෙසේ වායු සංවහනය වන තත්වයක් ඇති කර ගන්න සියලු ජනෙල් දොරවල් විවෘත කරන්න. ස්වභාවයෙන්ම සෑම නිවසකම ඇතුළත වායුවද යම් පමණකට රත්වෙනවා. ඒවා ඉහළ නැඟීම නිසා පිටතින් වාතය ඇතුළු වීමෙන් බොහෝ විට ඕනෑම නිවසක සංවහන ධාරාවක් ඇති වෙනවා. . පැරණි පලදෙකේ නිවෙස් තනා තිබුණේ ඒ ආකාරයට උණුසුම් වායුව ඉහළින් පිටවී සංවහන ධාරාවක් ඇතිවන අයුරින්.

වහාම තරබාරුව අඩුකර ගන්න

සිරුර මහත නම් එවැනි පුද්ගලයන්ට තාපයට මුහුණ දීම අසීරුයි. ඔවුන් තුළ තාපය ආශි‍්‍රත රෝගාබාධ වැළදීමේ අවදානම වැඩියි. එවැන්නන් ජලය පානය කිරීම ඇතුළු මෙහි සඳහන් අනිකුත් ක්‍රමවේද අනුගමනය කිරීමට අමතරව වහාම වෛද්‍යවරයා හමුවී බර අඩුකර ගැනීමේ ක්‍රියා මාර්ගයකට පිවිසිය යුතුයි.

තද පැහැ ඇඳුම් ඇ¼දීමෙන්  වළකින්න

තද පැහැති ඇඳුම් තාපය උරා ගනිමින් ඔබගේ සිරුර තව දුරටත් උණුසුම් කරනවා. ඒ නිසා කපු වැනි රෙදි වර්ගයකින් මැසූ සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීමෙන් ඔබට සිරුරට දැනෙන උණූසුම අඩු කර ගන්න පුළුවන්. හැම විටම කුඩයක් භාවිත කරන්න. නැතිනම් පුළුල් වාටියක් සහිත හිස් වැසුමක් භාවිතා කරන්න. දෙඇස්වල ආරක්ෂාව උදෙසා අව් කණ්ණාඩි පලදින්න.

ඔබේ අසනීපයෙන් නම් ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න උදාහරණයක් වශයෙන් ඔබ උණ රෝගයෙන් පෙළෙමින් සිටින්නේ නම් එළිමහනේ උණුසුම ඔබගේ ශරීර උෂ්ණත්වය තව දුරටත් ඉහළ දමන්නට මුල් වෙනු ඇති. ඒ වගේම ඔබ යම්කිසි අසනීපයකින් පසුව සුවය ලැබුවේ මෑතකදී නම් හැකි තාක් නිවසට වී කාලය ගත කරන්න. ව්‍යායාම සඳහා වෛද්‍ය උපදෙස් අනගමනය කරන්න.

ඔබේ වයස 70 ට වැඩිනම්

ඔබේ වයස 70 ට වැඩි නම් ඔබ තාප ආඝාතයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ඒ වාගේම ඔබ ජීවත් වන්නේ තනිවම නම් ඔබේ වැඩ කටයුතු තනිවම කර ගත නොහැකි නම් ඔබේ අවදානම වැඩි වෙන්නට පුළුවන්. එසේම ඔබට හොඳීන් ඇවිදීමට අපහසු නම් හෝ විශේෂයෙන් ඔබට සිසිලක් ලබාගත හැකි ක්‍රමයක් නැතිනම් පරිසරයේ උණුසුමට මුහුණ දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරවා ගත හැකි මිතුරෙකු හෝ නෑදෑයකු නොපමාව සොයා ගන්නට උත්සාහ ගන්න.

උණුසුම වැඩි වේලාවන්

දවසේ උණුසුම වැඩි කාල පරාසය උදේ 11- සවස 3.00 ත් අතරය. ගමන් බිමන්වලට ඒ කාලය යොදා නොගන්න. ඔබේ දෛනික වැඩ කටයුතුවලටද කාල වේලාව ගැන සැලසුමක් ඇතිකර ගන්න. උදෑසන යනු සවස් භාගයට වඩා සිසිලක් දනවන කාලයක් බව මතක තබා ගන්න. උදේ කාලයේ මෙන්ම සන්ධ්‍යා භාගයේද වැඩිපුර පැයක කාලයක් තම ගොවිපොළට හෝ වතුපිටිවලට කැප කරන ජීවන රටාවක් නිර්මාණය කර ගන්න.

ව්‍යායාම කරන වේලාව

ව්‍යායාම්වල යෙදෙන කාලය වෙනස් කර ගන්න ඒ සඳහා පාන්දර ලෙස යොදා ගැනීමට වග බලා ගන්න. සමහර වි සන්ධ්‍යා භාගය උණුසුම් විය හැකිය. එසේම දිවා කාලයේ වැඩ කටයුතු නිසා ඔබගේ සිරුරේ උණුසුම ප්‍රමාණයට වඩා වැඩි වී තිබෙන්නටද පුලුවන. පාන්දරට කාලයක් නැතිනම් නිවස තුළ ව්‍යායාමවල යෙදීම වඩා සුදුසුය.

වැරදි පුරුදු

මත්පැන් තත්ත්වය භයානක කරයි. මත්පැන් විජලනයට ප්‍රතිකාරයක් නොවෙයි. එය කොයි යම් දේශගුණයක් යටතේ වුව ඔබගේ සිදු කරන්නේ අහයපතක්. මේ අනුව එනම් උණුසුමට මුහුණදීමේ අරගලයේදී එය සිදු කරන්නේ සිරුර තුළ ඇති උණුසුම නියාමනය කිරීමේ හැකියාවට බාධාවක්. .

උණුසුම් පරිසරයක් තුළ වැඩකළ පුද්ගලයකු පැය 24 ක් තුළ මත්පැන් පානය කරනවා කියන්නේ ඔහු තමන් අරබයා තාප ආඝාතය ඇති කර ගැනීමේ අවදානම දියුණු කර ගැනීමක්.

එළිමහනේ මෝටර් රථය නවතන්න එපා

මෝටර් රථයක් සාමාන්‍ය උණුසුම යටතේ වුවද, ගිනි අව්වේ නවතා තැබීම මර උගුලක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෝටර් රථය තුළ දරුවන් දමා ගොස් ඔවුන් මිය ගිය අවස්ථා ගණනාවක් අපි ජනමාධ්‍ය තුළින් දැක තිබෙනවා. මෙවන් උණුසුම් කාල පරිච්ඡේදයකදී එය අතිශයින් භයානකයි.විද්‍යාඥයන් පවසන්නේ ගිනි අව්වේ නැවත්වූ මෝටර් රථයක් ඇතුළේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 20 කින් වැඩි වන්නට ගත වන්නේ විනාඩි 10 ක් බවයි . ඒ නිසා මෙයින් වළකින්නට තරයේ සිතට ගත යුත්තේ අද වැඩි දෙනෙකුට මෝටර් රථ ඇති නිසාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.